අපිට ලේසියෙන් හොයාගන්න බැරි ආහාර/අමුද්‍රව්‍ය ගන්න කොළඹ යන්න පුළුවන් තැන්!

සාමාන්‍යයෙන් දැන් කාලේ ඔය දුරබැහැර තියෙන සුපිරි වෙළඳසැලක වුනත්, සුඛෝපභෝගී කියලා සැලකෙන ආහාර වර්ග/ආහාර අමුද්‍රව්‍ය පවා ගන්න තියෙනවා. උදාහරණයක් විදියට කිවුවොත්, වයින් බෝතලයක් හොයාගන්න, හොට්‍ චොකලට් හදන කුඩු ටින් එකක් හොයාගන්න, විවිධ පුඩින් මිශ්‍රණ හොයාගන්න, දුර්ලභ කුළුබඩු මිශ්‍රණයක්, බිරියානි මික්ස් එකක් හොයාගන්න වුණත් වදවෙන්න දෙයක් නෑ. හැබැයි තවත් සමහර ජාති තියෙනවා, අපිට ඒවා ලේසියෙන් වුවමනා වෙන්නෙත් නෑ. වුවමනා වුණු වෙලාවක ලඟ පාත සුපිරි වෙළඳසලකින් ගොඩක් වෙලාවට හොයාගන්නත් නෑ. ආන්න ඒ නිසා, අපි හිතුවා කොළඹ අවට ඔය අපි කියන්න යන විදියේ නිතර අවශ්‍ය නොවෙන, ලේසියෙන් හොයාගන්න බැරි දේවල් හොයාගන්න අපි යන තැන් ගැන පොඩ්ඩක් කියන්න.

 

1. විශේෂ කෝපි වර්ග

කෝපි කියන්නේ ආගන්තුක දෙයක් නෙවෙයි. හැබැයි ඉතින් කෝපි කිව්වහම තියෙන්නේ අපි හැමදාමත් දකින හරිස්චන්ද්‍ර කෝපි, අයිලන්ඩ් කෝපි සහ සුපර්මාකට් වල තියෙන නෙස්කැෆේ වගේ ඉන්ස්ටන්ට් කොෆී විතරක් නෙවෙයි. විශේෂයෙන්ම නියම කෝපි කෝප්පයක රහ විඳගන්න නම්, වඩා ඉහළ මට්ටමේ -ඒ කියන්නේ ප්‍රීමියම් කොලිටි එකේ- කෝපි ගන්න ඕන. වඩාත් හොඳයි ප්‍රීමියම් කොලිටි කෝපි ඇට අරගෙන, කෝපි එක හදන වෙලාවට විතරක් අපිම බ්ලෙන්ඩ් කරලා ගත්තොත්. එහෙම නැතිනම් ඉතින් කෝපි කුඩු ගන්න පුළුවන්. මේ ප්‍රීමියම් කොලිටි කෝපි වල විශේෂත්වයක් තමයි, ඇරබිකා ඇටද නැතිනම් රොබස්ටා ඇටද නැතිනම් ඒ වල කොයි අනුපාතෙට තියෙන මිශ්‍රණයක්ද කියලා තෝරලා ගන්න පුළුවන් වීම.

 

මේ විදියේ ප්‍රීමියම් කොලිටි කෝපි ගන්න පුළුවන් එක්කෝ ජාවා ලෝන්ජ් වගේ කොෆී ෂොප් වලින්. නැත්නම් කෙලින්ම Soul Coffee ඔන්ලයින් ඕඩර් කරන්නත් පුළුවන්. වඩා විශාල සුපර්මාකට් වලින් ගන්නත් පුළුවන්.

 

2. දුර්ලභ චීස් වර්ග

චීස් කිව්වහම ඉතින් කවුද ආස නැත්තේ. හැමෝම දන්න ක්‍රාෆ්ට් චීස් විතරක් නෙවෙයි, දැන් ලංකාවෙත් චීස් හදනවා. සාමාන්‍යයෙන් අපි නිකම් කන චීස් ස්ලයිසස්, චෙඩර් චීස් වලට අමතරව, පීසා වලට එහෙම දාන මොසරෙල්ලා චීසුත් ලේසියෙන්ම ඕනම සුපර්මාකට් එකකින් හොයාගන්න පුළුවන්. කොටේජ් චීසුත් හොයාගන්න බැරි නෑ. ඊට අමතරව ඔය විශේෂ කෑම ජාති වලට යොදාගන්න පුළුවන් ගවුඩා චීස්, පාමසන් චීස්, ෆීටා චීස් වගේ එව්වා සහ වෙනත් විශේෂ චීස් ජාති එහෙමට ලේසියෙන් හොයාගන්න බෑ. 

 

ඔය චීස් වර්ග වලින් සමහර ඒවා අලුත්  Glomark Supermarket වලත් SPAR Supermarket වලින් හොයාගන්න පුළුවන්. හැබැයි ඔය විශේෂිත ප්‍රීමියම් බ්‍රෑන්ඩ් වලින් හොයනවා නම්, කෙලින්ම චීස්ලෑන්ඩ් (0777274272) වගේ ස්පොට් එකකට තමයි කථා කළ යුත්තේ.

 

3. විශේෂ නූඩ්ල්ස්

නූඩ්ල්ස් කිව්වහම ඉතින් අපිට එකපාරටම ඔලුවට එන්නේ එක්කෝ හරිචන්ද්‍ර නූඩ්ල්ස්, නැත්තං මැගී නූඩ්ල්ස්, නැත්තං ප්‍රීමා නූඩ්ල්ස්. හැබැයි ඔය ජපන්, චීන ෆිල්ම් වල වගේ තියෙන පැතලි නූඩ්ල්ස් ජාති, ග්ලාස් නූඩ්ල්ස් ජාති එහෙම කන්න නං එක්කෝ නියම කොරියන්, ජපන්, චීන කෑම විකුණන රෙස්ටුරන්ට් එකකට යන්න ඕන. එහෙම නැතුව ගෙදර හදාගන්න ඕන නම්, ඔය විශේෂ නූඩ්ල්ස් ජාති විකුණන්න තියෙන ස්පොට් එකක් හොයාගන්න ඕන. ආන්න ඒ ගැන තමයි අපි මේ කියන්න යන්නේ. මේ විශේෂ නූඩ්ල්ස් වර්ග විතරක් නෙවෙයි, සුෂි හදන්න ඕන දේවල්, විශේෂ ජපන් ආහාර අමුද්‍රව්‍ය ගන්න නම් යන්න පුළුවන් තැනක් තමයි ජාලංකා සුපර් මාකට් කියන්නේ. බොරැල්ලේ තියෙන ජාලංකා එක පුංචි ජපන් සුපර්මාකට් එකක්.

 

ඒ ඇරෙන්න ඕන නම්, කොල්ලුපිටිය සුපර්මාකට් එකේ ඇතුළෙන් උඩ පළවෙනි තට්ටුවට නැගලා බලනකොටත් පුංචි ජපන් කඩයක් තියෙනවා. ආන්න එතනිනුත් මේ දේවල් ගන්න පුළුවන්.

 

4. කීන්වා

කීන්වා (quinoa) කියලා කියන්නේ ඔය ඩයට් කරන හාදයන්ට එහෙම මල් මසුරං කෑමක්. ඇත්තටම කීනුආ උයලා ගත්තහම බත් වගේම වුනත්, ඇත්තටම කීන්වා කියන්නේ එළවලුවක් කියන්න පුළුවන්. තවත් හරියට කියනවා නම්, මල් හටගන්න ගහක කන්න පුළුවන් මල් ඇට තමයි කීන්වා කියන්නේ. ෆ්‍රයිඩ් රයිස් වගේ එලවලු කපලා දාලා හදලා ගත්තහම පට්ට රසයි. හැබැයි ඉතින් ලංකාවේ කීන්වා සුලභ නෑ වගේම ටිකක් ගණන්. ෂුවර් පිටම කීන්වා ගන්න යන්න පුළුවන් සමහර කීල්ස් සුපර් වලටත්. Glomark Supermarket වලත් SPAR Supermarket වලත් මේවා තියෙනවා.

 

5. සිගාර්

සිගාර් කියලා ස්ටයිල් එකට කිව්වට, මේවලට කියන සිංහල නම සුරුට්ටු. හැබැයි සුරුට්ටු කියන්නේ අර පරණ අංකල්ලා එහෙම උරන ලංකාවේ ඔතන හීනි සුරුට්ටු වලට නෙවෙයි. අපි කියන්නේ ඔය හොඳ කොලිටි, ලොකු සයිස් සුරුට්ටු වලට. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. ඔය නියම කොලිටි විදේශීය සුරුට්ටු ලංකාවට ගෙන්නන්න අමාරුයි. කස්ටම් එකෙන් අල්ලනවා. ඒ නිසා එව්වා මෙහේ හොයාගන්න අමාරුයි. මෙහේ ඔය සුරුට්ටු ගන්න පුළුවන් ෂොප් වලත් තියෙන්නේ තිහාරියේ හදන තන්ෂීර්. ඒවත් අපිට සෙට් වෙන්නෙ නෑ. එතකොට ඊලඟට ඔන්න තියෙනවා ජේ.එඩ්ගාර් කෝර්ටේස් සුරුට්ටු. ආන්න එව්වා නං කැත නැතුව ඉන්ටර්නැෂනල් කොලිටියට කියලා බොන්න පුළුවන්.

 

දැන් ඔය ජේ.එඩ්ගාර් කෝර්ටේස් සුරුට්ටු ගන්න යන්න පුලුවන් ෂුවර් තැන් කීපයක් තියෙනවා. එකක් ප්‍රේමසිරි සුපර් මාකට් එක. එහෙම නැතිනම් Park Street Gourmet එක. 

 

6. විදෙස් චොකලට් වර්ග

මේ කියන්නේ කැන්ඩොස්, එඩ්නා, රිට්ස්බරි, රෙවෙල්ලෝ චොකලට් ගැන නෙවෙයි. එතකොට ඔය සුපර් මාකට් වල ගන්න තියෙන ලින්ඩ්ට්, කැඩ්බරි, ෆෙරෙරෝ රොෂර්, ටොබ්ලරෝන් ගැනත් නෙවෙයි. ඔය හැම එකක්ම දැන් ලංකාවේ සුලභයි. හැබැයි ලංකාවේ ලේසියෙන් හොයාගන්න බැරි සමහර චොකලට් වර්ග තියෙනවා. ඒවා ටිකක් මිලෙන් වැඩියි. හැබැයි ඉතින් රසෙන් සහ කොලිටියෙන් උපරිමයි. ආන්න ඒ වගේ චොකලට් වර්ග ගන්න යන්න පුළුවන් එක තැනක් තමයි හෝර්ට්න් ප්ලේස් එකේ තියෙන 24 Seven කියන්නේ. නමෙන්ම කියවෙන විදියට පැය විසිහතරම, සතියේ දවස් හතම මේක ඇරලා තියෙන්නේ. ලොකු පරිශ්‍රයක මුල්ලක තියෙන කන්ටේනර් එකක තමයි මේ ෂොප් එක තියෙන්නේ. ආයෙ ඕනම විදියේ චොකලට් එකක් මෙතන ඇති.

 

ඔය ලේසියෙන් හොයන්න බැරි චොකලට් ජාති අඩුවට ගන්න නම් ටක්කෙටම හරියන තව තැනක් තමයි කොටුව. ඔව්, කොටුවේ ප්‍රධාන වීථියේ වරාය පැත්තේ තියෙනවා වීදුරු වලින් පේන්න තියෙන, ඉස්සරහා පළතුරු කූඩ එල්ලලා තියෙන පොඩි කඩ. ඒවා දැක්ක ගමන් වෙනස් ගතියක් පේනවා. මෙන්න මේ තැන් වල තියෙනවා විදෙස් චොකලට් අඩු මිලට. ඕන නම් රට ඉඳන් එනකොට කට්ටියට චොකලට් ගේන්න අමතක වුණා නම්, මෙතනට ගියත් හරි!

 

7. ලෝ ප්‍රකට ශක්තිජනක පානයන්

දැන් ඔය ශක්තිජනක පානයන් කියන්නේ මොනවද? සරලවම කිවුවොත්, කැෆීන් අඩංගු ශක්තිය ලබාදෙන පානයන්. ජනප්‍රියම එක ඉතින් රෙඩ් බුල්නේ. ඊට පස්සේ ඉතින් වයිල්ඩ් එලිෆන්ට්, ස්ටින්ග් වගේ අඩු මිල විකල්ප තියෙනවා. හැබැයි ඉතින් අපි මේ ලෝ ප්‍රකට ශක්තිජනක පානයන් කියලා කියන්නේ මෙව්වට නෙවෙයි. Monster වගේ එව්වා ගැන අපි මේ කියන්නේ. ඉතින් එහෙම ඒවා ගණන් පොඩ්ඩක් වැඩි තමයි. හැබැයි පන්ච් එකත් ඒ විදියටම වැඩියි. මෙව්වා ගන්න හැමදාම යන සුපර් මාකට් ගිහින් බෑ. ඔය අලුතින් දාලා තියෙන Glomark Supermarket වලත් SPAR Supermarket වලත් මේවා තියෙනවා. හැබැයි ෂුවර් එකටම Monster වගේ එනර්ජි ඩ්‍රින්ක්ස් තියෙන, ඒකේ එක එක ෆ්ලේවර්ස් ඕන තරම් තියෙන, ඊට අමතරව තව ජීවිතේට අහලවත් නැති එනර්ජි ඩ්‍රින්ක්ස් එහෙමත් තියෙන තව තැනක් තියෙනවා. ඒ තමයි අපි චොකලට් ගන්න යන්න කියපු 24 Seven එක!

 

මේ දේවල් ගන්න ඔයාලා යන හොඳ තැන් තියෙනවා නම්, අමතක නොකර ඒ තැන් ගැනත් කමෙන්ට් එකක් දාගෙන යන්න.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *