දශකයක් සපිරෙන තැන 2010 ජීවිතය දිහා හැරිලා බලමු

දැන් මේ පොඩ්ඩක් රිද්දගන්නයි ලෑස්තිය. අලුත් දේවල්වලට නොපෙනෙන හෙට දවසට හරි ආසා හිතෙනවා තමයි. ඒත් අතීතය හැමදාටම ඔය හැමදේටම වඩා සුන්දරයි. ඉතින් දැන් මේ දාහක් ප්‍රශ්න එක්ක ජීවත් වෙන ඔබත් එක්ක මේ සූදානම ආතල් එකේ ජීවිතේ ගෙවපු 2010 පැත්තට ගිහින් එන්න.

 


1. ෆෝන් භාවිතය


මේ වෙනකොටත් ගොඩක් දෙනා අත රැඳුණේ ගලේ ගැහුවත් නොකැඩෙන නොකියා ෆෝන්. ඒ අස්සේ පොඩ්ඩක් ඇඩ්වාන්ස් මට්ටමේ ඒවත් සමහරු ගාව තිවුණා. එරික්සන් එකක් තිබ්බා කියන්නේ ඉතින් ඒ ෆෝන් එක විවිධ අවශ්‍යතා සඳහා අතිනත යනවා. ඔය මොක වුණත් ටච් පෝන් එච්චරම ප්‍රචලිත නෑ. ඉතින් අර කීපෑඩ් එක උඩ නැගගෙන ටයිප් කරන්නේ. දැන් වගෙ මැසේජ් කරන්න ඇප්ලිකේෂන් තිබුණේ නෑ. මෑසේජ් සීන් ද කියන්න දන්නේ නෑ. ටෙක්ස්ට් මැසේජ් එකයි මිස් කෝල් එකයි සරලයි. අදට වඩා පොඩ්ඩක් විතර ආදරණීයයි.



2. සංගීතය


අපේ රටේ තරුණ පරම්පරාවට හොඳම ඒවායෙන් සංගීත අත්හදා බැලීම් වුණ කාලයක් මේක. ඒ කිව්වේ එකම විදියේ ගීත නෙවෙයි විවිධත්වයක් ඇතුව අහන්න වුණ සින්දු එමට තිබුණා. ඒකටම හරියන්න නව පරපුර නියෝජනය කරගන්න එෆ් එම් රේඩියෝ චැනල් තිබුණා. ටීවීවල මියුසික් චාර්ට් ෂෝ තිබුණා. ඇත්තටම බලන්න අහන්න පුළුවන් සංගීතයක් තිබුණ නිසා මිනිස්සු මේවට ආකර්ෂණය වුණා. 



3. කැෆේ, ඉන්ටර්නෙට්


ඉන්ටර්නෙට් කැෆේ කියන්නේ ඒ දවස්වල හොඳ ආදායම් මාර්ගයක්. කොයි වෙලේ බැලුවත් කොල්ලෝ කුරුට්ටෝ පිරිලා එව්වයේ. සමහරු පැය භාගෙට ගේම් ගහනවා. සින්දු සීඩී රයිට් කරගන්නවා. හිමීට ඩවුන්ලෝඩ් කරගන්නවා. හෙන ආතල්. ක්ලාස් ගියපු කොල්ලෝ ක්ලාස්වල හොයාගන්න නෑ මේවයේ ඉඳලා තමයි අහු වෙන්නේ.



4. ටීවි සීරිස්


ඒ කාලේ ලෝක ප්‍රසිද්ධ ටීවී සීරිස්වලින් හොඳම ඒවා රූපවාහිනි නාලිකාවල ගියා නොව. දැන් තමයි ඕනෑ එකක් ඩවුන්ලෝඩ් කරගන්න පහසුකම් තියෙන්නේ. ඒත් හැබැයි සමහර චැනල්වලින් කරපු උපසිරැසි සහ හඬකැවීම් හොයාගන්න අමාරුයි අන්තර්ජාලෙන්වත්. පවුල් පිටින් බලන්න සෙට් වෙන්නේ. ආයෙ නිකන් නෙවෙයි මේවත් තේ වෙලාව අල්ලලා යන නිසා මාරි බිස්කට් තේ එකේ පොඟවන් කකා තමයි බලන්නේ. 



5. ලෝක විනාසේ 


2012 ලෝක විනාස කතන්දරේ ඒ දශකය පටන් ගත්ත දා ඉඳන් තිවුණා. ඉරවල් එකකට වඩා පායලා අපි ඔක්කොම පිච්චිලා අළුවෙලා යන කතන්දර නම් දෙයියෝ නේද? මේක ඇත්තටම තදේට විශ්වාස කරපු කට්ටියකුත් හිටියා අනෙක් පහුවදා නැගිටලා මොකද්ද කරන්නේ කියලා හිතාගන්න බැරුව හිටපු. මායන් කැලැන්ඩරයක් කරපු හදියක්.



6. ෆේස්බුක් 


සමාජ ජාලා වෙබ්අඩවිවල ඒ දවස්වල ඉඳන්ම අපිට ළං වෙලා හිටියේ ෆේස්බුක්. ඒකත් චැට් කිරීම සහ අද කරන දහසකුත් එකක් සන්නිපාත වැඩවලට වඩා බාන් බඩී වගේ ගේමක් ගහගෙන ආතල් එකේ ඉන්නයි අපි මේක පාවිච්චි කරේ. ඊට අමතරව මෙලෝ රහක් නැති පට්ට ලෝ කොලිටි කැම්වලින් අමුතු සත්තු වගෙ ඉන්න අපේ ෆොටෝස් අරන් බුකියට දැම්මා. දැන් ඔය මළ මිනී ගොඩ දානවා වගේ මතුවෙන්නේ ඒ කාලේ කරපු ඒවා තමයි.



7. සෞඛ්‍ය


ඒ දවස්වල නම් අපේ සෞඛ්‍ය පොඩ්ඩක් හරි අස්පට් වුණේ වඩේ අන්කල්ගේ වැඩ නිසා තමයි. ඒකට අද තියන තරමක් තියන ක්ෂණික ආහාර සහ පැටව් ගහලා වගේ ඉන්න අවන්හල් එක්ක තනිකර ලෙඩ වාට්ටු වෙලා. ඒ වගේ ම ඒ කාලේ අදට වඩා සාපේක්ෂව ඇවිද්දා, කය වෙහෙසලා වැඩ කරා. අද අපි ඉන්න තැනටම කෑම ගෙන්නගන්න පුළුවන්. ත්‍රීවිලරයල් ගෙන්වා ගන්න පුළුවන්. එදාට වඩා අපි අද ලෙඩ්ඩු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *