ඔබ ලංකා සයිවර් කඩ කෑම සංගමයේ සාමාජිකයෙකු විය යුත්තේ ඇයි?

මේ දවස්වල සිරිලංකාදීපයේ මොන මොන උණුසුම් දේවල් සිද්ධ වුණත් ඒ ඔක්කොම බුකියේ සමූහයක් ඉස්සරහ පදිරි. ඒ තමයි ‘ලංකා සයිවර් කඩ කෑම සංගමය‘. බුකියේ දකින්න තියෙන අනික් බලන්න හිතෙන නොහිතෙන සමූහ අස්සේ දැක්කත් බඩ පිරෙන මේ සමූහයට ඔබත් එකතු වෙන්න මේ හේතු ටික ප්‍රමාණවත්.



1. කඩ කෑම නිසා


එකෙන් ම හේතුව වෙන්නේ මේකයි. කෑම ඉවීම සම්බන්ධයෙන් නම් ගොඩක් සමූහ තියනවා බුකියේ. ඒත් කඩවලින් කන්න තියෙන අහිංසක මල පෙරේත ආශාව සංසිඳවන්න ඒ වගේ ඉඩක් තිබ්බේ නැහැ. මේ සමූහයේ කඩ කෑම අතරින් නැගලම යන එක තමයි ගාල්ලේ මහමෝදර රතු අයියගේ දෙසිය පනහේ ෆ්‍රයිඩ් රයිස් එක. වන්දනා ගමන් යනවා වගේ තමයි සමහරු මේක හොයාගෙන යන්නේ. ඊට අමතර ව දන්නා නොදන්නා කෑම කඩ සහ ඒවයේ කෑම ගැන විස්තර හැමදාම මේ සමූහයේ තියෙනවා. නම සයිවර් වුණාට ගොඩක් තියෙන්නේ චයිනීස් කෑම ගැන තමයි.



2. වෛද්‍ය උපදෙස් නොමිලයේ ලබා ගැනීමට හැකි නිසා


එක දිගට කෑම ගැන පෝස්ටු 10ක් 12ක් වැටුණට පස්සේ මේ වැඩේ සෞඛ්‍ය පැත්ත පිළිබඳ වටිනා විස්තර කියන්න දොස්තරමහත්තුරු, වෛද්‍ය ශිෂ්‍යයෝ වගේම ඒ දෙකටම අයිති නැති නමුත් ශරීර සෞඛ්‍ය ගැන දැනුවත් අය එනවා. ඒවා දැක්කම සමහරු ට්‍රිගර් වෙනවා. සමහරු නම් කියන්නේ සමූහය දැකලා ට්‍රිගර් වෙලා එනවා කියලා. කොහොම නමුත් ඉතින් එලෝ මෙලෝ නැතුව මේ රසකාරක සහ තෙල් තියන කෑම ජාති කන්න හොඳ නැහැ තමයි. ඒ ඇයි ද කියලා යකාගේ විමානේ ඉඳන් ම තමයි කියලා දෙන්නේ.



3. කැටයම් සඳහා


දැන් මේකයි. සයිවර් කඩේ කීවාට සයිවර් නොවන දේවල් සමූහයට දාලා පොඩි කැටයම් කෑල්ලක් රඟන උදවිය කීප දෙනෙක් ඉන්නවනේ. ආන්න ඉතින් එහෙම දේවල් දැක බලාගන්න පුළුවන් නම් ඒකටත් මරු ම ඉස්ථානේ තමයි මේ. එක්කෝ සමූහයේ නම පේන්නේ නෑ ඒත් නැත්තම් දැකලා නොදන්නවා වගේ මේ දේ කරනවා. කොතනත් එහෙම උදවිය ඉන්න එකේ මෙතන විතරක් වචනේ හැටියට වැඩ කරන්න පුළුවන් අය නැහැ ඉතින්. සයිවර් නොවන කඩ කෑම සංගමය කියලා එකක් හදාගන්න පුළුවන් කම තියෙද්දී නිකාන් ඉතින් අනේ මන්දා.



4. කොමෙන්ට් කියවීම සඳහා


කොමෙන්ට් නම් කොමෙන්ට්. සයිවර් නොවන සහ සයිවර් පිල අතර කොමෙන්ට් ගැටුම එකක්. ත​ව එකක් තමයි රතු මාමගේ රයිස් එකේ දිග පළල බැලීමේ කොමෙන්ට් ගැටුම. ආය තියෙනවා කෑමක් දැම්මට පස්සේ ඕකේ අඩුවක් මොකක් ම හරි කියන්න තියන අයගේ කටේ අමාරු යවා ගැනීමේ කොමෙන්ටු කියලා වර්ගයකුත්. තව ඉන්නවා බොරු ජෝකර්ලා ටිකක්. ඇටෙන්ෂන් ගන්න තියෙන ලස්සන ම විදියක් තමයි මෙලෝ රහක් නැති විහිළු කරන එක. අන්න ඒවත් කොමෙන්ට් අස්සේ තියනවා.



5. දේශීය ව්‍යවසායකයන්ගේ දියුණුව උදෙසා


කෑම කඩ තිබ්බයි කියලා ඕවා තියෙන බව දන්නේ කීයෙන් කී දෙනා ද? ඉතින් විස්තර වදන් සහිත ව අපේ රටේ අපේ ම දියුණු වෙන්න උත්සාහ කරන මිනිස්සුන්ගේ කෑම කඩ පිළිබඳ විස්තර මේ සමූහයේ දකින්න පුළුවන්. කෑම කඩ කිව්වා ම බිත්ති හතරකින් වට වුණ ඒවා විතරක් ම නෙවේ. එළිමහනක උදේට කොළ කැඳ විකුණන අයියගේ ඉඳන් විස්තර තියෙනවා. අමුතුවෙන් ඇඩ්වර්ටයිසින් කරන්න දෙයක් නෑ. කාටත් හොඳයි.



6. රෙසිපි නැති රෙසිපියන්ස්


ඔය අතරේ තමන් ගෙදර දී අත්හදා බලන කෑම වර්ගවල පොටෝ ඒ අතට මේ අතට අඟර දඟර දාලා ගහලා සමූහයට එක් කරන පිරිසක් ඉන්නව. වැඩේ කියන්නේ ඉතින් ඉස්සෙල්ලා ම දාද්දි රෙසිපියත් එක්ක දාන්නේ නැහැ. ඒක ඉල්ලන්න ඕනි. ඉල්ලුමට තමයි සැපයුම හම්බ වෙන්නේ. සමහර විට එහෙමත් නෑ. ආන්න ඉතින් එහෙම අවස්ථාවල බම්බු ගහගන්න කියලා ආයෙත් කඩ කෑම දිහාට හැරෙන එක හිතට හොඳයි.



7. යහළුවන් කුපිත කරවීම සඳහා


මේ සමූහයේ කෑමක් නැති වෙලාවක් නෑ. ඕනි වෙලාවක තියෙනවා. ඒ දැක්කම ළඟ තියෙන ගඩොල් කෑල්ලක් හරි බඩට දා ගන්නයි හිතෙන්නේ. ඉතින් ඔබේ සමීපතමයන් මේකට එකතු කරවලා එයාලාටත් මේ වේදනාව ලබා දෙන්න පුළුවන්. ආසා හිතෙන කෑමක් තිබ්බම මෙන්ෂන් කරලා යුතුකම් ඉටු කරන්න. ඩයට් ප්ලෑන් එහෙම කැලේ ඉතින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *