පොතක් ලියලා ප්‍රකාශ කරන්න ආස කෙනෙක්ට උපදෙස් කීපයක්!

දැන් කාලේ පොත් කියවන පුරුද්ද සමාජෙන් තුරන් වෙලා ගිහින් කියලා ගොඩක් අය කියනවනේ. හැබැයි එහෙම හිතුවට ඇත්තටම නම් තාමත් සැළකිය යුතු පිරිසක් පොත් කියවනවා. ඉතින් එහෙම පොත් කියවන අය ඉන්න නිසා, ග්‍රන්ථ ප්‍රකාශනය කියන කර්මාන්තයටත් තාමත් හොඳ මාකට් එකක් තියෙනවා.

ඒ වගේම තවත් කාරණයක් තමයි, පොතක් ලියලා පළ කරන්නත් බොහෝ දෙනෙක් ආශා කරන බව. සමහරු වෘත්තීය ලේඛකයෝ/පරිවර්තකයෝ වෙන්න ආශාවෙන් ඉන්න අතරේ, තවත් සමහරු ආසාව නිසාම ජීවිතේ එක පොතක් හරි පළ කරන්නත් ආස කරනවා. ඉතින් මේ විදියේ හැමෝම පොත් ප්‍රකාශන කර්මාන්තයට හෝ ලේඛන කලාවට ආධුනික නම්, ඒ අයට යම් කිසි මගපෙන්වීමක් වුවමනා කරනවා.

ඔන්න ඔය කාරණාව නිසා අපි හිතුවා, පොතක් ප්‍රකාශයට පත් කිරීමේදී තියෙන වැඩ කටයුතු සහ, කෙනෙක්ට පොතක් ප්‍රකාශයට පත් කරන්න පුළුවන් කොහොමද කියන දේවල් ගැන අතිශයින්ම මූලික කරුණු කාරණා ටිකක් ඉදිරිපත් කරන්න.

 

1. අවසර එක්ක, හරියට ලියමු

පොතක් ලියන්න අවසර ගන්න ඕනෙද? කොහෙත්ම නෑ. තමන්ගේ ඔළුවෙ තියෙන කතාවක් ලියන්න කාගෙන්වත් අවසර මොකටද? හැබැයි අපි පරිවර්තන ගැන සළකා බැලුවොත්, ආන්න එතනදී අපිට අවසර ගන්න වෙනවා, ප්‍රකාශන අයිතිය වෙන කෙනෙක්ට තියෙන පොතක් පරිවර්තනය කරන්න. ඒක එක්කෝ ලේඛකයෙක් නැතිනම් ප්‍රකාශන සමාගමක් වෙන්න පුළුවන්. කරන්න තියෙන්නේ, තමන්ට පරිවර්තනය කරන්න ඕන පොතේ ප්‍රකාශන අයිතිය තියෙන සමාගම මුලින් හොයාගන්න එක. ඒක ඉන්ටර්නෙට් එකෙන් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒ අයට ඊමේල් එකක් එහෙම දාලා, අවසර ගන්න ප්‍රොසෙස් එක පටන් ගන්න පුළුවන්. හැබැයි ඒකට සල්ලි ගෙවන්න වෙනවා ගොඩක් දුරට. අන්න ඒ නිසා පරිවර්තනයක් නම්, තමන් ප්‍රකාශය කරන්නෙත් නැතිනම් මුලින්ම ප්‍රකාශකයෙක් ඔස්සේ තමයි යන්න වෙන්නේ. 

ඒ ඇරෙන්න ස්වතන්ත්‍ර නිර්මාණයකදී වුණත් මෙහෙම දෙයක් තියෙනවා. දැන් හිතමු අපි ලියන්නේ මොකක් හරි ජනප්‍රිය කතාවක ෆෑන් ෆික්ෂන් එකක් හරි, ඒකේ චරිතයක් හෝ චරිත පාදක කරගෙන හරි දෙයක් කියලා. ආන්න එතකොට නම් අවසර ගන්න සිද්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔය හැරී පොටර් වගේ බ්‍රෑන්ඩ් එකක් වෙලා තියෙන පොතක චරිතයක් වුණත් හිතුමතේ තමන්ගේ පොතකට ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්න බෑ.

 

2. කොහොමද ප්‍රකාශකයෙක් හොයාගන්නේ?

ප්‍රකාශකයෝ හොයාගන්න එක දැන් ඉස්සරටත් වඩා ලේසි දෙයක් බවට පත් වෙලා තියෙනවා. පොතේ හැටියට නං, ප්‍රකාශකයෙක් හොයාගන්න පුළුවන් පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලයේම පරිශ්‍රයේම තියෙන ජාතික ලේඛනාරක්ෂක මණ්ඩලයට ගිහින් හරි කතා කරලා හරි ඒ අය එක්ක ලියාපදිංචි වෙලා ඉන්න ප්‍රකාශකයන් ලැයිස්තුවෙන්. එහෙම නැතිනම් මේ වෙනකොට සෑහෙන්න ප්‍රකාශකයෝ ඉන්නවා, ඒ අයව තෝරගන්න පුළුවන් ඒ අයගේ ප්‍රසිද්ධියෙන්. එහෙම නැතිනම් යාළුවෙක්ට හරි අපිට විශ්වාසවන්ත කෙනෙක්ට හරි ෂුවර් ප්‍රකාශකයෙක් ඉන්නවා නම්, ඒ අය ඒ තරම් ප්‍රසිද්ධ නැති ප්‍රකාශන ආයතනයක් වුණත් අපිට තෝරගන්න පුළුවන්.

හැබැයි අපි ප්‍රකාශකයව තෝරගත්තට විතරක් මදි. ප්‍රකාශකයා අපිව තෝරගන්නත් ඕන. ඒ කියන්නේ, අපේ පොත පබ්ලිෂ් කරන්න කැමති වෙන්න ඕන. ඒකට ඉතින් ප්‍රකාශකයට ඒක කියවන්න දෙන්න වෙනවා.

 

3. ප්‍රකාශකයාගේ වැඩ ටික මොනවද?

ප්‍රධාන වශයෙන් පොත ලියලා දුන්නට පස්සේ එඩිට් කරනවා නම් එඩිට් කරන වැඩ, සෝදුපත් බලන වැඩ, ලේඅවුට් හදන එක, කවරය හදන එක වගේ වැඩ ඔක්කොම ප්‍රකාශක විසින් සිදුකරනවා. එතකොට පරිවර්තනයක් නම්, මුල් ප්‍රකාශන හිමිකරුවන්ගෙන් ඒ නිසි අවසර මුදල් ගෙවලා හෝ නැතිව හෝ ලබාගන්න එකත් ප්‍රකාශකගේ වැඩක් වෙනවා ගොඩක් දුරට. මේ වෙනකල් දේවල් වලට කර්තෘ හෝ පරිවර්තකටත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක ඇත්තටම ප්‍රකාශකයා සහ කර්තෘ අතර සම්බන්ධයත් එක්ක සිද්ධ වෙන දෙයක්. ඊට පස්සේ පොත මුද්‍රණය කිරීම, බෙදා හැරීම, වෙළඳ ප්‍රචාරණ කටයුතු සහ අලෙවිය සම්බන්ධ සියළුම කරුණු කාරණාත් ප්‍රකාශකයාගේ වගකීම යටතට ගැනෙනවා. ඊට පස්සේ කර්තෘට මුදල් ගෙවන්නෙත් ප්‍රකාශක විසින්ම තමයි.

 

4. තමන්ට ප්‍රකාශය කරන්න බැරිද?

කර්තෘ ප්‍රකාශන කියන්නේ ඒකට. ඒකත් කරන්න පුළුවන් දෙයක්. හැබැයි ඒකේ යම් යම් රිස්ක් තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, කර්තෘ ප්‍රකාශනයකදී අර උඩ කියපු ප්‍රකාශකයාගේ වැඩ හැම එකක්ම කරගන්න වෙන්නේ කර්තෘට තමයි. ඒ ඒ වැඩවලට විශේෂීකරණය වුණු ආයතන වල සහ පුද්ගලයින්ගේ සේවාව ලබාගන්න පුළුවන්. හැබැයි ඉතින් දුවලා පැනලා කරගන්න වෙනවාඒ වගේම ප්‍රකාශකයන්ට මේ ක්ෂේත්‍රය ගැන තියෙන පරිණතභාවය සහ දැනුම අපිට නැති නිසා, ඒකට එක්කෝ දන්න අයගෙන් ගුරුහරුකම් ගන්න හෝ හොඳ රිසර්ච් එකක් කරලා පටන් ගන්න සිද්ධ වෙනවා. ඔය ඔක්කොමත් හරි,අලෙවිය සහ බෙදාහැරීම තමයි මෙතන සෑහෙන්න සීරියස් වැඩේ. තනිකරම තමන්ට සම්බන්ධතා ඇති කරගනිමින්, දුවලා පැනලා තමයි කරගන්න වෙන්නේ. හැබැයි ඉතින් ඔය ඔක්කොම කරනවට පාඩු නෑ. පොතේ ආදායමෙන් 100% ම තමන්ට තමයි!

ඕන නම් බෙදාහැරීමට විතරක් ප්‍රකාශන ආයතනයකට භාරදෙන්නත් පුළුවන්.

 

5. කවර සැකැස්ම?

කවරේ කියන්නෙත් පොතේ අන්තර්ගතය වගේම සෑහෙන්න අවධානය යොමු කරන්න ඕන කාරණයක්. සාමාන්‍යයෙන් පොතේ කවරය නිර්මාණය කරන එකත් ප්‍රකාශකයාගේ වගකීමට අයත් වෙන්නේ. එතකොට එක්කෝ ප්‍රකාශකයා යටතේ වැඩ කරන ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙක් කවරේ හදන්න පුළුවන්. එහෙම නැතිනම් වෙනම කවර නිර්මාණ ශිල්පියෙක්ට භාර දීලා කවරේ නිර්මාණය කරගන්න පුළුවන්. ඇත්තටම කිවුවොත් එහෙම කංචුක නිර්මාණ ශිල්පියෝ ඉන්නවා. ඒක වෙනම වෘත්තියක් විදියට සැලකෙනවා. එතනදී ඇත්තටම සහයෝගී වැඩක් සිද්ධ වෙන තරමට අවුට්පුට් එක නියමයි. ඒ කියන්නේ ලේඛකයා, ප්‍රකාශකයා සහ කවර නිර්මාණ ශිල්පියා කියන තුන්දෙනාම හවුල් වෙලා, කතා බහ කරලා හොඳම නිර්මාණයක් කරන එක තමයි බලාපොරොත්තු වෙන්නේ.

 

6. ISBN අංකේ

ISBN කියලා කියන්නේ ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩර්ඩ් බුක් නම්බර් කියන එක තමයි. සාමාන්‍යයෙන් මේක දෙන්නේ ජාත්‍යන්තරව පොතක් විදියට පිළිගැනෙන ප්‍රකාශනයකට කියලා තමයි දන්න අය කියන්නේ. ඒ කියන්නේ කිසියම් ග්‍රන්ථයක ග්‍රන්ථ නාම පිටුව, පෙරවදන, පටුන, පිදුම ආදිය ඇතුළත්ව අන්තර්ගත පිටු 42 ක් ඇති ප්‍රකාශනයක් අන්තර්ජාතික වශයෙන් පොතක් ලෙස පිළිගෙන තියෙනවලු. දැන් පැහැදිලියිනේ. මේක ඉන්ටර්නැෂනල් ලෙවල් එකෙන්ම තමන්ගේ පොත ලියාපදිංචි කිරීමක් වගේ දෙයක්. ඒ වගේම ඉන්ටර්නැෂනල් ලෙවල් එකෙන් තමන්ගේ පොතට ලැබෙන ප්‍රමිති සහතිකයක්. පොත සම්බන්ධ නෛතික කරුණු කාරණා වලදිත් පොතකට ISBN අංකයක් තියෙන එක ඉතාමත්ම වැදගත්. ලංකාවේ ඒක සම්බන්ධව වැඩ කරන්නේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය විසින් තමයි. මේ ISBN අංකේ ලබාගන්න සම්පූර්ණ පොත ලියලා ඉවර කරන්නත් අවශ්‍ය නැහැ. ගොඩක් දුරට පොතේ ISBN අංක ලබාගන්න කාර්යය සිද්ධ කරන්නෙත් ප්‍රකාශකයා විසින්ම තමයි.

 

7. පොත එඩිට් කළොත් හොඳයිද?

අනිවාර්යයෙන්ම පොතක් එඩිට් කරන්න ඕන. තමන්ම පොත එඩිට් කිරීම අනිවාර්යයයි. ඒ ඇරෙන්න එඩිටර් කෙනෙක් සම්බන්ධ කරගෙන එඩිට් කළොත් ඉතාම හොඳයි. ඇත්තටම සිංහල පොත් වල නම් එහෙම ලොකුවට වෙනම එඩිටර් කෙනෙක්ගේ, ඒ කියන්නේ සංස්කාරකවරයෙක්ගේ සේවය ලබාගැනීමක් දකින්න ලැබෙන්නෙ නෑ. ගොඩක් වෙලාවට එක්කෝ ප්‍රකාශකවරයා හෝ සෝදුපත් බලන්නා එහෙම නැතිනම් සබ්එඩිටර්ම තමයි එඩිටින් ගැනත් බලන්නේ. හැබැයි එතකොට අර වෘත්තීය මට්ටමින් එඩිට් වීමක් සිද්ධ වෙන්නෙ නෑ. හැබැයි එහෙම නැතුව ඔය ඉන්ටර්නැෂනල් ලෙවල් එකේදී සිද්ධ වෙන විදියට තමන්ගේ පොත ලිව්වට පස්සේ, වෙනම සංස්කාරකවරයෙක් එක්ක වැඩ කරලා පොතක් එඩිට් කරලා ඉදිරිපත් කරන්න පුළුවන් නම්, ඒකෙන් පොතට ලැබෙන්නේ හොඳම කොලිටියක්. ගොඩක් වෙලාවට ඔය සංස්කාරකවරයෙක්ව හයර් කරන වැඩෙත් ප්‍රකාශකට තමයි පැවරෙන්නේ.

 

8. මාකටින්?

මාකටින් කියන්නෙත් ඉතින් පොතක් විකුණාගන්න කරන්න ඕන ප්‍රබලම වැඩකොටසක්. දැන් ඔය මාකටින් වලට, පොත් කඩේක ඇතුළේ මේ පොත ගැන දර්ශනය කරන පොඩි බෝඩ් කෑල්ලක ඉඳලා, ඔන්ලයින් සහ සෝෂල් මීඩියා ඔස්සේ කරන පොතේ ප්‍රචාරණ වැඩකටයුතු දක්වා, එතකොට පත්තරේක පොත ගැන යන ආටිකල් එකක ඉඳලා බුක් සයිනින් ඉවෙන්ට් එකක් නැතිනම් පැනල් ඩිස්කෂන් එකක් දක්වා කරුණු කාරණා ගණනාවක් විහිදෙනවා. මේකත් හරි විදියට නම් ප්‍රකාශකයා යටතේ තියෙන වගකීමක්. රචකයාගේ වගකීම වෙන්නේ ප්‍රකාශකයා කියන විදියට ඉන්ටර්වීව් ලබාදීම, ඉන්ටර්වීව්, බුක් සයිනින්, පැනල් ඩිස්කෂන් වගේ එව්වට පෙනී සිටීම වගේ දේවල්. ඒ ඇරෙන්න ඉතින් රචකයාගේ පැත්තෙනුත් ඔය මාකටින් වැඩ තමන්ගේ ලෙවල් එකෙන් සිද්ධ වෙනවා. තමන්ගේ පොතනේ.

 

කොහොම කළත්, සමහර ප්‍රකාශකයෝ ඉන්නවා මාකටින් කියලා සතපහක දෙයක් නොකරන. එතකොට එක්කෝ ලේඛකයාට වෙනවා පොඩ්ඩක් ප්‍රකාශකයගේ පස්සෙන් ඉඳන් ඒ පැත්තේ වැඩ ටිකට තල්ලු කරන්න. එහෙම නැතිනම් තමන් තනියෙන් ඒ මාකටින් බර ඇදගෙන යන්න වෙනවා.

 

9. ප්‍රකාශකයා එක්ක ඊලඟට?

ඔව්. පොත ගැහුවට පස්සේ, ගහලා බෙදාහැරලා අලෙවිය සිදුවෙන්න පටන් ගත්තට පස්සේ ඉතින් ඔය මුදල් හදල් කතන්දර එනවා. සාමාන්‍යයෙන් කර්තෘට ලැබෙන්නේ පොතේ ප්‍රකාශන මිලෙන් 10% යි. ප්‍රවීණ ලේඛකයෙක් වෙනකොට ඔය ගාණ 12% හෝ 15% දක්වාත් යන්න පුළුවන්. එහෙම නැතිනම් දැන් ක්‍රමයක් තියෙනවා කෙළින්ම පොතේ ගාණෙන් 20% ක් හෝ 25% ක් පිටපත් දාහකට වගේ හරියන්න එක පාර ගෙවනවා. හැබැයි ඊට පස්සේ මුද්‍රණ කීයක් කළත් ඒවාට සල්ලි හම්බෙන්නෙ නැති තරම්.

 

ඉතින් මේ ගැන කියනකොට ආයෙමත් මුලට යන්න ඕන. දැන් ප්‍රකාශකයෙක්ව හොයාගන්නවනේ. ඊට පස්සේ ප්‍රකාශකයා එක්ක කතා කරගන්න ඕන සියළුම තොරතුරු, කොන්දේසි හැමදෙයක්ම. ආන්න ඊට පස්සේ පුළුවන් ගිවිසුමකට යන්න. මෙන්න මේකත් අනිවාර්යයි. වෙන ඕනම වෘත්තීය මට්ටමේ කාරණයකදී වගේ මෙතනදීත් ගිවිසුම් ගහලා වැඩ පටන් ගන්න ඕන.

 

දැන් ඔහොම ගිහින් පොත අලෙවි වෙනවනේ. එතකොට පොඩ්ඩක් ඒ සම්බන්ධ කාරණා හොයලා බලන එක, ප්‍රකාශක එක්ක සම්බන්ධය පවත්වා ගන්න එක හොඳයි.

 

දැන් පැහැදිළියිනේ කොහොමද වැඩේ කරගන්න වුවමනා වෙන්නේ කියලා? හැබැයි ඊට කලින් එක දෙයක් ගැන අනිවාර්යයෙන්ම හිතන්න ඕන. ඒ තමයි ඇත්තටම දෙයක් ලිවීම හෝ පරිවර්තනය කිරීම. එහෙම නැතුව පොතක් ලියන්න තියෙන ආසාව නිසා මේවා හෙව්වට වැඩක් නෑ, ඇත්තටම ලියන්නේ නැතුව. අන්න ඒ නිසා මුලින්ම ඔබ තුළ ඉන්න ලේඛකයාව අවදි කරවාගන්න. ඊට පස්සේ එන්න මෙතනට.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *