සංචාරකයින් නිසා ඇතිවන අහිතකර තත්ත්ව

රට පත්වෙලා තියෙන ආර්ථිකමය අහේනි තත්ත්වය නිසා සංචාරකයින්ගේ පැමිණීම මහත් ආශීර්වාදයක් විදිහට පේනවා. ඒත් සංචාරක කර්මාන්තය කියන්නේ සර්ව සුභවාදී අත්දැකීමක් නෙමෙයි. ඒ හරහා රටට ඩොලර් ආවත් අපිට ඒ වෙනුවෙන් කැපකරන්න වෙන දේවල් ගොඩක් තියෙනවා. අපි ඒ කිහිපයක් ගැන බලමු.

1. පරිසරයට සිදුවන හානිය

සංචාරක කර්මාන්තය එක අතකින් පරිසරයට වාසියක්. මොකද යම් තැනක් සංචාරක ස්ථානයක් වුණාට පස්සේ ඒ තැන පරිසරය ආරක්ෂා කරගන්න පිරිසක් උත්සාහ ගන්නවා. ඒත් සංචාරකයින් වැඩි වෙද්දි සංවේදි පරිසර කලාප වලට අලුතින් ඉදිකිරීම් එකතු වෙනවා. තව අලුත් අලුත් මාවත් ඇතිවෙනවා. සංචාරකයින් වැඩිපුර යද්දි සතුන්ට අපහසුතා එනවා. මෑතකදි යාලදී වුණා වගේ අලි කුලප්පු වෙලා මිනිසුන්ට ප්‍රහාර එල්ල කරනවා. මුහුදු පරිසර පද්ධති නම් බෝට්ටු සහ ඒ දේවල් නිසා වෙරළ තීරය අපවිත්‍ර වෙනවා. මුහුදේ කොරල් වලට අහිතකර තත්ත්වයන් එනවා.

2. සංස්කෘතික හානිය

සංස්කෘතිය කියන්නේ ඒ ඒ ජනකොටස් අතර තියෙන වෙනස්කම්වලට. පිටින් ඇවිත් විවිධ ක්‍රියාකාරකම්වල නිරත වෙද්දි ඒ ඒ ජනකොටස් වල තියෙන ස්වාභාවික ගතිගුණ වෙනස් වෙනවා. ගෝත්‍රිකයින් නරඹන්න සංචාරකයින් යද්දි වඩාත් ප්‍රදර්ශනාත්මකව ඒ දේවල් කරලා සල්ලි හම්බකරගන්න ඒ ගෝත්‍රිකයින් පෙළඹෙනවා. ඒ වගේම සංස්කෘතිය ස්වභාවික ආකාරයට නොව, සංචාරකයින් වෙනුවෙන් කරන සංදර්ශනයක් විදිහට නිරූපණය කරන්නට උත්සාහ ගන්නවා.

3. සංස්කෘතික ගැටළු

විදෙස් සංචාරකයින් ආවට පස්සේ ඒ පළාතේ සාමාන්‍ය ජනයාත් කෙමෙන් කෙමෙන් ඒ සංචාරකයින්ට උචිත විදිහට හැඩගැහෙන්නට උත්සාහ ගන්නවා. ඒ තුළ ඔවුන් එතෙක් ඇඳුම් පැළඳුම් ඇන්ද විදිහ, කාන්තාවන් ගැන සිතපු විදිහ, ආගන්තුක සත්කාර කළ විදිහ ආදී බොහෝ දේවල් වෙනස් වෙනවා. ඇතැම් පළාත් වල සංචාරකයින් පැමිණීමත් එක්ක ගණිකා වෘත්තිය, ලිංගික කර්මාන්ත ආදිය වැඩි වෙලා එතෙක් නොතිබුණ අලුත් සංස්කෘතික ගැටළුත් නිර්මාණය වෙනවා.

4. සේවා සංස්කෘතියට හුරු වෙනවා

මිනිස්සු අවදානමක් අරගෙන ලොකු ආයෝජනවලට යොමු වෙනවාට වඩා සංචාරකයින්ට මොනාහරි දීලා, විකුණලා, සේවාවන් සපයලා දියුණු වෙන්න හදන අලුත් පරපුරක් සංචාරක කර්මාන්තය නිසා ඇති වෙනවා. එක්කෝ වාහනයක් අරගෙන, නැතිනම් පොඩි තැනක් අටවගෙන, එහෙමත් නැතිනම් ලොකු හෝටලයක වේටර් කෙනෙක් විදිහට, චෙෆ් කෙනෙක් විදිහට ඉඳිමින් අලුත් පරම්පරාව සේවා සැපයීමටම රුචි වෙනවා. මෙය ආර්ථිකයට එක් අතකින් ඵලදායී වුණත් ඒ මතම යැපීම තුළ දිගුකාලීනව ආර්ථිකයට අයහපත් ප්‍රතිඵල උදා වන්නට පුළුවන්.

5. කාලෙකට විතරක් එන සංචාරකයින්

මේ කාලෙකට විතරක් සංචාරකයින් එන එක නිසා ඒ කලාපයේ තියෙන ශ්‍රී විභූතිය එක කාලෙකට පමණක් සීමා වෙනවා. ආගමික උත්සව නම් ඒ උත්සව කාලයට විතරයි වැඩිපුරම සංචාරකයින් එකතු වෙන්නේ. එවිට ඒ කලාපයේ ඉන්න ජනතාවට ඒ කාලයට ලොකු ආදායමක් ලැබුණත් එය දිගින් දිගටම පවත්වාගෙන යන්න බැරි නිසා ඔවුන්ට වෙනත් රස්සාවල් සොයාගන්න වෙනවා. අනෙක ආදායම වසර පුරාම ස්ථාවර නොවීම නිසා විවිධ ගැටළු ඇති වෙනවා.

6. කාන්තාවන් සහ ළමයින්ගේ තත්ත්වය

කාන්තාවන්ට ලිංගික ශ්‍රම සැපයීම ආදිය වඩාත් සුලභ වෙද්දි ඒ කරා යොමු වෙන කාන්තාවන් වැඩි වෙනවා. ඉන්පසු සාමාන්‍ය පවුල් ජීවිතවලට වඩා ලිංගික සේවා සැපයීමෙන් සහ සංචාරකයින් සතුටු කිරීමෙන් ජීවත්වෙන නව කාන්තා පරපුරක් බිහි වෙනවා. ළමුන් ගත්තා වුණත් සංචාරකයින්ට විවිධ උදව් කරලා ගාණ කපාගන්න ලෑස්ති වෙලා ඉන්න අමුතු ළමා කණ්ඩායමක් ඇතැම් සංචාරක කලාප ආශ්‍රිතව ඇති වෙනවා. එය සංචාරකයින් මගින් ඇතිවෙන නරක බලපෑමක්.

7. මත්ද්‍රව්‍ය භාවිතය වැඩි වීම

තරාතිරම නොබලා විවිධ ආකාරයේ මත් දේවල් පාවිච්චියට හුරු වුණ සංචාරකයනුත් බහුලව ඉන්නවා. හැම සංචාරකයින්ම එසේ නොවුණත් එසේ රටින් රට ගොස් විවිධ ආකාරයේ පාර්ටි සහ අවස්ථා හරහා මත් දේවල් ගන්න පෙළඹුණ අය ඉන්නවා. ඔවුන් ඒ ඒ පළාත් වල තියෙන මත්ද්‍රව්‍ය ලබා ගැනීම මෙන්ම විවිධ මත් දේවල් රටින් රටට හඳුන්වා දීමටද මූලික වෙනවා. දේශීයව මතට වඩාත් හුරු නොවූ පිරිසක්ද මතට යම් ආකාරයකට නැඹුරු කරන්නට මේ සංචාරකයින් හේතු වෙනවා.

මේ එක් එක් කරුණු සිදුවනවාය කියා සංචාරක කර්මාන්තයට පිටුපාන්නට අපිට බැහැ. මොකද අපි වගේ ණය බරින් දැඩි ලෙස මිරිකිලා ඉන්න රටකට සංචාරකයෝ කියන්නේ හොඳ ආශීර්වාදයක්. ඉතින් හොඳින් කළමනාකරණය කළොත් මේ අහිතකර බලපෑම් රැසක් අවම කරගන්න අපිට පුළුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *