දැන් ඔය ලෝබකම කියන එක කොයි තරම් නරකද කියන එක ගැන පොදු අදහසක් අපිට පුංචි කාලේ ඉඳලම තියෙනවනේ. ලෝබයෙක් වෙන්න එපා කියන එක අපි ඕන තරම් අහල ඇති. හැබැයි ඒක දැනගෙන හිටියට, ඇත්තටම අපිත් නොදැනම අපි කුණු ලෝබයෙක් වෙන්න පුළුවන් නේද? ඒ කියන්නේ සත පහක් හොල්ලන්න අකමැති, පුළුවන් තරම් වෙන කෙනෙක්ගෙන් වියදම් කරවගන්න බලන, තමන්ගේ දෙයක් වෙන කෙනෙක් අල්ලනවටවත් අකමැති මිනිස්සු ගැන තමයි අපි මේ කියන්නේ. හැබැයි ප්‍රශ්නේ මේකයි. ගොඩක් වෙලාවට කුණු ලෝබයෙක් වුණු මනුස්සයෙක් ඇත්තටම දන්නෙ නැහැ තමන් එහෙම කුණු ලෝබයෙක් කියලා. හැබැයි ලෝබයෙක්ගේ ගතිලක්ෂණ මෙහෙමයි කියලා දැනගත්තොත්, සමහර විට ඒ ලෝබ ගති නැති කරගන්නත් පුළුවන් වෙයි නේද?
අන්න ඒ නිසා අපි හිතුවා තමන් හරි, තමන්ගේ පාට්නර් හරි කුණු ලෝබයෙක් ද කියලා දැනගන්න පුළුවන් ගතිලක්ෂණ ටිකක් ලියලා තියන්න!
1. ලෝන් එකක්?
සාමාන්‍යයෙන් බැංකුවකින් ලෝන් එකක් ගන්න ගියහම කොයි තරම් ලිපිලේඛන සහ පසුබිම් පරීක්ෂා කිරීම් සිද්ධ වෙනවද? ඒකට හේතුවක් තියෙනවා. ලෝන් එකක් දෙන මනුස්සයාට ෂුවර් එකක් තියෙන්න ඕන ඒ ලෝන් එක ආයෙමත් අය කරගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ඉතින් යාළුවෙක්ගෙන් එහෙම හදිසියට අතමාරුවක් කරගන්න කොට ඔව්වා ඕන වෙන්නෙ නෑ. ඒත් ඉතින් ඕනම සල්ලි ඉල්ලන යාළුවෙක්ට අතමාරුවක් දෙන්න පුළුවන්ද අපිට? ඇත්ත.
හැබැයි අපිට ෂුවර්, බොක්කේ ෆිට් යාළුවෙක්ට වත් හදිසියකට අපෙන් ලෝන් එකක් දාගන්න බැරි නම්? අපිට සමහර වෙලාවට ඇත්තටම ඒ වෙලාවේ අතේ සල්ලි නැතිවෙන්න පුළුවන්. හැබැයි එහෙම නැතුව හදිසියකට අතමාරුවක් කරගන්න ගියහම දහසක් හේතු කියනවා නං, ඒ මනුස්සයා ගොඩක් දුරට ලෝබයෙක්!
2. ඩ්‍රින්ක්ස් ඔන් යූ!
සාමාන්‍යයෙන් අපි යාළුවෝ සෙට් වෙනවා නං, ඒ කියන්නේ බීමකට සෙට් වෙනවා නං, කොහොමද වියදම පියවන්නේ? අපි හැමෝම වියදම බෙදාහදාගන්න එක තමයි ක්‍රමේ. එක්කෝ සමානව බෙදලා එකිනෙකා සමාන ගාණක් දාන්න පුළුවන්. එහෙම නැතිනම් තම තමන් ගන්න දේවල් වලට තම තමන්ට වැය වෙන ගාණ විතරක් දාන්න පුළුවන්. ඔය ක්‍රම දෙකම අවුලක් නෑ. හැබැයි ඔය අතරේ සමහරු ඉන්නවා මළාට සෙට් වීමකදී වියදම් කරන්නෙ නෑ. පුළුවන් තරම් අනික් අයගෙන් පිනට බොන්නම තමයි බලන්නේ. එතකොට තව සමහරු ඉන්නවා අත දිග ඇරලා බයිට් වලට එහෙමත් වැඩේ දීලා, ඊට පස්සේ ඩ්‍රින්ක් එකට විතරක් ගාණ දාලා ෂේප් වෙනවා. අපි කියමු මේ වගේ දෙයක් කලාතුරකින් වෙලාවක නෙවෙයි, හැමදාමත් වෙනවා කියලා. ආන්න ඒ කියන්නේ මේ දෙකම ලෝබ කුණෙක්ගේ ලක්ෂණ තමයි.
3. චීප්!
ඇත්තටම මේක නම් ලෝබ මනුස්සයෙක් කරන සුලභ වැරැද්දක්. හැබැයි අනික් අතට පහසුවෙන්ම ලෝබ මනුස්සයෙක්ව හොයා ගන්න පුළුවන් විදියක්. සරලවම කියනවා නං, ලෝබයෙක්ගේ හැම දෙයක්ම වගේ චීප්. ඒ කියන්නේ ඇඳුමක් පැළඳුමක් වුණත් බොහොම චීප්. දැන් අපි කියමු සල්ලි අමාරුවකින් ඉන්න මනුස්සයෙක් කියලා. එතකොට ඒ මනුස්සයට චීප් ඇඳුමක් පැළඳුමක් කරනවා ඇරෙන්න වෙන විකල්පයක් නැති වෙන්න පුළුවන්. හැබැයි අපි කියන්නේ වියදම් කරන්න සල්ලි තියෙනවා කියලා අපි හොඳටම දන්න මිනිස්සු ගැන. එහෙම මනුස්සයෙක් අතිශයින්ම චීප් විදියට නම් තමන් වෙනුවෙන් වියදම් කරන්නේ, ඒ කියන්නේ මනුස්සයා ලෝබ කුණෙක් කියන එක තමයි.
4. කර අරින වගකීම්!
අපි හැමෝටම යම් යම් වගකීම් තියෙනවනේ. උදාහරණයක් විදියට ගත්තොත්, අපි රස්සාවකුත් කරනවා නං, ගෙදර වියදමට අපි දායක වෙනවා කියන එක යම් කිසි වගකීමක්. ඒ වගේම, අපේ නැති බැරි කවුරුහරි නෑදෑයෙක් එහෙම ඉන්නවා නම්, ඒ අයට යම් කිසි උපකාරයක් කරන එකත් අපේ වගකීමක්. හැබැයි අපිට ඔය වගකීම් හරියටම ඉෂ්ට කරන්න පුළුවන් වෙනවද බැරි වෙනවද කියන එක තීරණය වෙන්නේ අපේ ආර්ථික මට්ටම උඩ. හැබැයි කවුරුහරි මනුස්සයෙක්ට තමන්ගේ උඩ කියපු විදියේ වගකීම් ඉෂ්ට කරන්න පුළුවන් ආර්ථික ශක්තියකුත් තිබිලා, හැබැයි මළාට ඒ වගකීම් ඉෂ්ට කරන්නෙ නැතුව පැහැර හරිනවා නම්, ඒ කියන්නේ ඒ මනුස්සයා ලෝබයෙක් කියන එක. ඇත්තටම ඔය දේවල් වලින් සමහර ඒවා වගකීම් නෙවෙයි, යුතුකම්. උදාහරණයක් විදියට කිවුවොත්, ගෙදර වියදමට දායක වෙන එක වගකීමක් වුණාට, අමාරුවෙන් ඉන්න නෑදෑයෙක්ට උදව්වක් කරන එක යුතුකමක්. හැබැයි ලෝබ කුණෙක් යුතුකම් තියා වගකීම් වත් ඉෂ්ට කරන්නෙ නෑ!
5. සම්මාදං වානා!
දැන් ඔය අපිට එක එක සම්මාදං වලට සම්බන්ධ වෙන්න සිද්ධ වෙනවනේ. ගමේ අවුරුදු උත්සවේට, වෙසක් එකේ කැරකෙන කූඩුවට, ඔෆිස් එකේ ඇනුවල් ට්‍රිප් එකට, ඔෆිස් එකේ යාළුවෙක් අයින් වෙනකොට තෑග්ගක් දෙන්න, කසාද බඳින යාළුවට බැචුලර්ස් පාටියක් දාන්න වගේ නානාවිධ සීන් වලට සම්මාදං සෙට් වෙනවා. ඔය ඇරෙන්න ඉතින් හදවතේ හිලක් තියෙන ළමයෙක්ට හදවතක් දාන්න වගේ පොදු සම්මාදං සීන් එහෙමත් අනන්ත සෙට් වෙනවා. හැබැයි එහෙම පොදු සම්මාදං වලට නම් හරියට හොයා නොබලා සල්ලි දෙන්න ඕන නෑ. මොකද එව්වා වැඩිහරියක් බිස්නස්. හැබැයි අර තමන් ඉන්න සමාජයේ රියල් වැඩවලට සම්මාදං කරනකොට අපි හැමෝම පුළුපුළුවන් විදියට සම්මාදම් කරනවනේ. හැබැයි ඉතින් අර ලෝබ කුණා ටයිප් එකේ මිනිස්සු හැම තිස්සෙම ඔය සම්මාදං මග අරිනවා. උදාහරණයක් විදියට ගත්තොත්, තමන්ගේ බර්ත්ඩේ එකට ඔෆිස් එකේ යාළුවෝ සල්ලි කලෙක්ෂන් එකක් දාලා කේක් එකක් දුන්නොත් ඉත සිතින් පිළිගන්න ලෝබ කුණෙක්, වෙන යාළුවෙක්ගේ බර්ත්ඩේ එකට කේක් එකක් ගන්න කලෙක්ෂන් ආවහම පර්ස් එක දාලා ඇවිත් කියලා හරි මග අරිනවා. මෙන්න මේ විදියට පුරුද්දක් විදියටම තමන්ගේ යුතුකමක් වෙන කිසිම කලෙක්ෂන් එකකට හවුල් නොවීමත් ලෝබයෙක්ගේ ලක්ෂණ තමයි!
6. පුළුවන් නං හැම දේම ෆ්‍රී!
දැන් අපිට මුදලක් ගෙවලා ලබාගන්න සිද්ධ වෙන යම් යම් දේවල් තියෙනවනේ ජීවිතේ. හැබැයි ඔය ලෝබ කුණා ටයිප් මිනිස්සු ට්‍රයි කරන්නේ හැම තිස්සෙම අනුන්ගේ පානෙන් එළිය බලන්න තමයි. උදාහරණයක් විදියට ගත්තොත්, හවුලේ ත්‍රීවිල් එකක එහෙම නැගලා ගියොත්, ලෝබ කුණා ටයිප් හාදයෙක් ෂේප් එකේ ටටා කියලා යන්න යනවා. ත්‍රීවිල් එකේ ගාණෙන් තමන්ගේ කොටස දෙන්න අවශ්‍යයි කියලවත් හිතන්නෙ නෑ. එතකොට ඔෆිස් එකේ කට්ටිය මොනවා හරි කෑමක් එහෙම සල්ලි දාලා ගන්න යනකොට, ලෝබ කුණා ටයිප් කෙනා කරන්නේ ඒකට සල්ලි දෙන එක මගෑරලා, එහෙම නැතිනම් පස්සෙ දෙන්නම් කියලා, කෑම එකටත් සෙට් වෙලා හොඳට කාලා, ඊට පස්සේ ඒකට සල්ලි දෙන එක අමතක කරලා දාන එක. මෙහෙම මිනිස්සු මොකක් හරි වැඩක් කරවගන්න ඕන වුණහමත් එහෙමයි. උදාහරණයක් විදියට වෙබ් ඩිසයින් එකක් කරවගන්න ඕන වුණා කියමු. එතකොට කරන්නේ වෙබ් ඩිසයිනින් කරන යාළුවෙක් කවුද ඉන්නෙ කියලා බලලා, යාළු ෆිට් එකට වැඩේ නොමිලේ කරවගන්න හදන එක!
7. සතේට ගණං!
සාමාන්‍යයෙන් අපිට මේ තියෙන ඉකොනොමියේ විදියට අත දිගෑරලා වියදම් කරන්න බෑ. ඒක ඇත්ත. හැබැයි අපිට ජීවිතේ සමහර අවස්ථා එනවා, එහෙම අත දිගෑරලා වියදම් නොකළත්, අන්තිම සතේට හෙට්ටු නොකරන්න ඕන වෙන අවස්ථා. එතකොට සතේට ගණන් බලන්න හොඳ නැති අවස්ථා. උදාහරණයක් විදියට කිවුවොත්, පොළට එළවලු ගන්න ගිහින්, දුප්පත් එළවලු අම්මා කෙනෙක්ගෙන් ගොටුකොළ මිටියක් පුළුවන් නම් ඒ මනුස්සයාට ලාභයක් නැති තැනටම හෙට්ටු කරලා ගන්න හදන එක කැතයි. සමහර විට බඩු ටික හවස් වෙනකොට කොහොම හරි විකුණගන්න ඕන නිසා එළවලු අම්මා ගොටුකොළ මිටිය අන්තිමට කියන ගාණටම දීලා දායි. හැබැයි ඒවා ලෝබ කුණු කමේ ලක්ෂණ. එතකොට කොහේ හරි කඩේකට ගිහින් කෑම කෑවට පස්සේ, අපිට හොඳ සේවයක් සපයපු වේටර් මහත්තයට ටිප් එකක් තියලා එන එක තමයි හරි විදිය. හැබැයි ලෝබ කුණෙක් කවදාවත් ටිප් දෙන්න යන්නෙ නෑ. ඔය කැබ් එකකට නැගලා ගමන ගියාට පස්සේ “කීප් ද චේන්ජ්” කියලා අපි කියනවනේ. ලෝබ කුණෙක් ගෙන් එව්වා නං බලාපොරොත්තු වෙන්න බෑ!
ඔන්න ඔය උඩ කියපු ගතිලක්ෂණ ඔබටත් තියෙනවා නම් ෂුවර් එකටම ඔබ ලෝබ කුණෙක්. හැබැයි තව දෙයක්. සමහර මිනිස්සු ඉන්නවා හරි සකසුරුවම්. ඒ කියන්නේ දේවල් අරපරිස්සමෙන් පාවිච්චි කරන, නාස්තියෙන් තොර මිනිස්සු. අන්න ඒ සකසුරුවම්, අරපරිස්සම්, නාස්තියෙන් තොර මිනිස්සු කුණු ලෝබයෝ කියලා වරදවා වටහා ගන්නත් එපා!
Leave a Reply