ලංකාවෙ අපි ටිකක් අමුතු කොට්ඨාසයක්. ඉස්සර කාලේ පෙරදිග ධාන්‍යාගාරය හදලා දකුණු ආසියාවටත් ඇටෑක් කරන්න තරම් හයියක් තිබුණාට දැන් බටහිර ගැති වෙලා පරණ හණමිටි අදහස්නුත් එක්ක ගැටෙමින් එක තැන පල් වෙනවා මිසක් ස්වාධීනව අනාගතය හදාගන්න අපිට කිසි ඕනෑ කමක් නැහැ. මෙන්න මෙහෙම ඉන්න අතරේ හදවතින්ම ශ්‍රී ලාංකිකව අපි දෙන ලොජික් ටිකක් තමයි මේ.
1. ගාණ වැඩියි කියන්නේ හොඳට ඇති
ගමේ කඩේ කොච්චර හොඳට උළුඳු වඩේ හදලා තිබුණත් හෝටලේක ඒවාට අයිසිං දාලා පැණිරහට ඇස් උඩ යන ගාණකුත් එක්ක “ඩෝනට්” කියලා පොෂ් නමකුත් එක්ක පෙන්නුවාම අපිට මාර ආතල්. ඉතින් දහඅතේ ණය වෙලා ඒකකුත් අරන් පොටෝ සීයක් විතර ගහලා, මාළුපාන් බිලේත් පොටෝ එකක් ගහලා සෝසල් මීඩියා දානවා. ඒක වෙනම ආතල් එකක්.
2. කෙල්ල කැම්පස් ගියාම බඳින්න පරක්කු වෙනවා
අපේ හැම මගුලම හොයන කපු ඇන්ටිලාගේ අංක එකේ ලොජික් එකක් තමයි වැඩිදුර අධ්‍යාපනයට යනවා කියන්නේ බඳින්න පරක්කු වෙනවා කියන එක. විශේෂයෙන් කෙල්ලන්ට වැඩි බලපෑමක් තියෙන මේ කතාවෙන් එයාලා බලන්නේ කොහෙන් හරි එකක් පංගරාත්තු කරලා කසාදයක් කරලා දෙන්නටයි. ගොඩක් වෙලාවට ඒ ගෙදර අම්මා තාත්තාටවත් නැති ඉත්තෑවො තමයි මේ ඇන්ටිලාගේ දුවන්නේ. අධ්‍යාපනය කියන්නේ හැම කෙනෙක්ටම අත්‍යාවශ්‍ය දෙයක්. ආර්ථිකය අමාරු කාලයක දෙන්නාම රස්සාවක් කරන එක දෙන්නාටම පහසුවක් වෙනවා. ඉගෙන ගන්නැතුව කලින් බැන්දා කියලා අල කන්නද?
3. ඉංග්‍රීසි වැරදුණාම මෝඩයි, සිංහල වැරදුණාම කියුට්
සෝෂල් මීඩියාවල වගේම ඔෆිස්වල එහෙම ඉන්න වෙන්ඩ-පොෂ් අයට සිංහල කියන්නේ “මට ඕවා අන්ඩස්ටෑන්ඩ් නෑ ඩියර්” ජාතියෙ දෙයක්. මෙයාලාගෙ අම්මා-මුත්තා ඉඳලාම කටේ බුලත් කෙළත් එක්ක කුඹුරු කොටලා අමු සිංහලෙන් කතා කළාට මොකද මේ උඩින් පහළ වෙච්ච කෙනාට සිංහල නම් බෑ ම තමයි. අමාරුවෙන් ගැට ගහගෙන ඉංග්‍රීස් කතා කරන කෙනෙක්ට වටවෙලා හිනා වෙන්න අපේ අය බලාගෙන හිටියත් මේ පොෂ් ඩෑල් වරද්ද වරද්ද ඉංග්‍රීසි කතා කරන එක, ටයිප් කරන එක “මාර කියුට් අනේ” ය.
4. පිට්පොකට් කාරයාට මල් වඩම්, දේශපාලකයාට මල් මාලා
පොඩි වරදක් කරලා මාට්ටු වුණාම ගස් බැඳලා ගහලා, එකේක ඒවා ඔළුවට හලලා, තට්ටේ ගාලා ෆොටෝ අරගෙන, ෆේස්බුක් ලයිව් දෙන්නත් අපේ අය බලාගෙන හිටියාට මොකද, නොදැනෙන්න අපි වියදම් කරන හැම සතේකින්ම මාටියා ගහලා මිලියන ගණන්වල මගෝඩි වැඩ කරන දේශපාලකයා ගමට ආවාම උන්දැට පයට පා වඩම්, උඩට උඩු වියන් බැඳලා මල් මාලා දාලා තමයි වඩම්ම ගන්නේ. හරියට බැලුවොත් මෙතෙන්දි වෙන්නේ, තමන්ගේ පුතාට රස්සාවක් දීලා ඇමතියා මුළු රටෙන්ම මාටියා ගැහුවාට කමක් නැහැ. ඒත් වත්තෙ පොල් ගෙඩිය කඩා ගත්ත එකාට කන්න නැති වුණත් උගෙන් අපිට වැඩක් නැති නිසා ඌට ගහන්න ඕන වගේ සීන් එකක්.
5. විභාගෙ ළං වුණාම අකවුන්ට් deactivate කරන්න ඕන
අපේ ගොඩක් විභාග ලියන කෙල්ලො කොල්ලො හිතේ ස්ට්‍රෙස් වැඩි නිසා ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් හදාගන්න ඕන කියලා ඒ සේරම හදාගන්නවා. ඊට පස්සේ ඒකට ලයික්, කමෙන්ට් වැටෙන්න අරගෙන “හායි නංගී” කියලා මැසේජ් ආවාම ඒකට වහ වැටියලා රැයක් දවාලක් නැතුව මල් කඩන්න පටන් අරගෙන ඔන්න අප්‍රේල් විතර කිට්ටු වුණාම මතක් වෙනවා යකෝ විභාගෙ නේද කියලා. ඊට පස්සෙ ඒවා සේරම deactivate කරලා කකුල් වතුරේ දාගෙන එළිවෙනකම් පාඩම් කරලා ලස්සනට විභාගෙ ඇණ ගන්නවා. මෙයාලා කලින්ම ටික ටික පාඩම් කරනවා වෙනුවට මේ deactivate කරන වැඩේ ෆැෂන් එකක් විධියට කරගෙන යනවා. සෙකන්ඩ් ෂයි එකට කරන්නෙත් මේකමයි.
6. හරක් මස් හොඳ නෑ චිකන් ශේප්
මස් කන්නෑ හැබැයි බිත්තර කනවා කියන එකේ අනිත් එක තමයි මේ. අපේ අය හරක්ට ගහ ගහා වැඩ අරගන්න එකට කැමති වුණාට අලියෙක් පෙරහරේ යන එක අවුල්. රටේ ඕනතරම් ළමයි බඩගින්නේ මැරුණත්, බල්ලෙක් දඩාවතේ යනවා දැක්කොත් ළඟට ගිහින් අත ගාලා උම්මා දීලා ෆොටෝ ගහලා රටේ නැති නාඩගම් කරනවා. සත්ත්ව හිංසනය කියන එක පොෂ් අයිටම් එකක් කරගත්ත මේ අය තුන් වේලටම චිකන් ඇදබාන අතරෙ තමයි හරක් බේරගන්නයි, අලි බේරගන්නයි, බල්ලොන්ට තොත්තු දෙන්නයි ඉදිරිපත් වෙන්නේ. මොකද, කුකුළාට වඩා ඒ සත්තු හරහා තමන්ට ප්‍රොමෝට් වෙන්න ලේසියි. ඒත්, ඌ ඊට වඩා කුකුළා!
මේ වගේ ඔබටත් අහුවුණ ලොජික් තියෙනවද?
Cover Image Source – affinitymagazine.us
Leave a Reply