විදෙස් රටවලදී පුද ලබන සර්වඥ ධාතු

බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුවලින් සහ පාරිභෝගික ධාතුවලින් වැඩිම කොටසක් වැඩ වෙසෙන්නේ අපේ ලංකාව තුළයි. බුද්ධ ශාසනය අවසානය දක්වාම පවතින්නේ ලංකාව තුළ කියන විශ්වාසයට එක හේතුවක් වෙලා තියෙන්නෙත් මේ විදිහට ශාරීරික සහ පාරිභෝගික ධාතූන්වහන්සේ වැඩි කොටසක් මෙරට තුළ දී පුද පූජා ලැබීමයි. වැඩිම ශාරීරික ධාතු ප්‍රමාණයක් එනම් ද්‍රෝණයක් පමණ ශාරීරික ධාතු ප්‍රමාණයක් රුවන්වැලි සෑය තුළ  නිධාන වී පවතිනවා. එම නිසා රුවන්වැලිසෑයට වඩා ප්‍රමාණයෙන් විශාල  දාගැබ් මෙරට තුළ සහ විදේශ රටවල පැවතුණත් “මහාසෑය” නම් පාදය යෙදෙන්නේ රුවන්වැලිසෑයට පමණයි. ලංකාවේ වැඩ වසනා සර්වඥ ධාතූන්වහන්සේ පිළිබඳව ලංකාවේ බෞද්ධයන්ට හොඳ අවබෝධයක් පවතිනවා වගේම උන්වහන්සේලාට වන්දනාමාන කිරීමට වෙනම ගාථා පවා සකස් කරගෙන තිබෙනවා. අපි අද ඔබත් සමග  බෙදාගන්න හිතුවේ ලංකාවේ බෞද්ධයෝ එතරම් නොදන්න පිටරටවල පුද පූජාවට ලක්වන සර්වඥ ධාතූ පිළිබඳව.

 

1. ඇෆ්ගනිස්ථානයේ වැඩ වසන ධාතූන්වහන්සේ 

අද වන විට සම්පූර්ණයෙන්ම ඉස්ලාම්කරණයට ලක්ව තිබුණත් ඇෆ්ගනිස්ථානය අතීතයේදී ලෝකයේ ප්‍රබල බෞද්ධ රටක් ව පැවතුණා. මෙරට සංචාරය කළ ගවේෂකයන් ඒ පිළිබඳව විස්තරාත්මක සටහන් තබා තිබෙනවා. නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ ජලාලාබාද් නගරය ආසන්නයේ පුරාණ දාගැබක නිදන් කර තිබූ බිම්රාන් කරඬුව යන නමින් හැඳින්වෙන රන්කරඬුව ඊට නිදසුනක්. එම කරඬුව තැන්පත් කර තිබූ මංජුසාවෙහි පිටත ඒ තුළ ශාරීරික ධාතු තැන්පත් ව ඇති බව සඳහන් වූවත් එම ධාතූන් වහන්සේලා නිශ්චයව හඳුනාගෙන නැහැ. 

 

2. ඇමරිකා එක්සත් ජනපදයේ වැඩවසන ධාතූන්වහන්සේ 

කැලිෆෝනියා ප්‍රාන්තයේ ඉදිකර ඇති ලූ මවුන්ටන් නම් පුදබිම බාරයේ දළදාවහන්සේ දෙනමක් සහ සම්බුද්ධ ශරීරයේ ඇඟිලි අස්ථියක කොටසක් වැඩ වසනවා. ඇමරිකාව වෙත මෙම ධාතූන් වහන්සේලා වැඩම කරවා ඇත්තේ වියට්නාමයේ සිටයි. මීට අමතරව මියන්මාරය, තායිලන්තය පමණක් නොව අපේ රටින් පවා වැඩම කරවා වදාළ  සර්වඥ ධාතුන්වහන්සේ මෙම පුදබිම තුළ පුද පූජාවට ලක් වෙනවා.

 

3. බංග්ලාදේශයේ වැඩ වසන ධාතූන්වහන්සේ 

බන්ඩරාබන් ස්වර්ණමය විහාරය ලෙස හැඳින්වෙන විහාරස්ථානය වර්තමාන බංග්ලාදේශයේ ථෙරවාද  බුදු දහමේ කේන්ද්‍රස්ථානය ලෙස සැළකෙනවා. මෙම ප්‍රදේශය ආශ්‍රිතව බෞද්ධයන් වැඩි ප්‍රමාණයක් ජීවත් වන අතර එරට බුදු දහමේ පුනර්ජීවනයට මුල් වූ ඌ. පඤ්ඤාජෝති හිමියන් විසින් මෙම පුද බිම ගොඩ නංවා තිබෙනවා. මේ විහාරයේ නිධන් කිරීම සඳහා සර්වඥ ධාතූන් වහන්සේ පූජා කොට ඇත්තේ බුරුමයේ ප්‍රධාන සංඝනායක හිමියන් විසින්.

 

4. කාම්බෝජයේ වැඩ වසන ධාතුන්වහන්සේ 

කාම්බෝජයේ දාගැබ් කීපයකම සර්වඥ ධාතූන් වහන්සේ නිධන් කොට ඇති බවට වාර්තා වන අතර කාම්බෝජ රජපවුලට ශ්‍රී ලංකාවෙන් සහ බටහිර පුරාවිද්‍යාඥයන් විසින් සර්වඥ ධාතූන් වහන්සේ විවිධ අවස්ථාවල ප්‍රදානය කොට තිබෙනවා. එක්තරා අවස්ථාවක දළදා වහන්සේ නමක් සහ කේශ ධාතූන් වහන්සේ ඇතුළු ශාරීරික ධාතූන් වහන්සේලා තැන්පත් කර තිබූ රන් කරඬුවක් සොරා ගැනීම පිළිබඳව මහත් ආන්දෝලනයක් කාම්බෝජය තුළ ඇතිවූ අතර අවසානයේදී එම ජාතික වස්තුව යළිත් සොයා ගැනීම කාම්බෝජ බෞද්ධයන්ට මහත් අස්වැසිල්ලට හේතුවක් වුණා.

 

5. චීනයේ වැඩ වසන ධාතූන් වහන්සේ

බුදුරජාණන් වහන්සේගේ කපාල ධාතූන් වහන්සේ සහ දන්ත ධාතුන් වහන්සේ නමක් චීනය තුළ වැඩ වාසය කරනවා. මෙයට අමතරව තවත් ශාරීරික ධාතූන්වහන්සේ ගණනාවක්  එරට පන්සල්වල පුද පූජාවලට ලක්වනවා. වර්තමානයේදී බීජිං නගරයේ දළදා මාලිගාවක් තනවා චීන බෞද්ධයන් විසින් දළදා වහන්සේට පුද සත්කාර කරනවා. මීට දශක කීපයකට පෙර ලංකාව වෙත ද උන්වහන්සේ වැඩම කරනු ලැබුවා.

 

6. ඉන්දියාවේ වැඩ වසන ධාතූන්වහන්සේ 

 

ඉන්දියාවේ විවිධ පුද බිම්වල ශාරීරික ධාතුන් වහන්සේ විශාල ප්‍රමාණයක් වැඩ වසන අතර නවදිල්ලි ජාතික කෞතුකාගාරයේ ද උන් වහන්සේලාගෙන් කොටසක් පුද පූජාවට ලක් වෙනවා. එම කෞතුකාගාරය තුළ උන්වහන්සේලා පොදු ප්‍රදර්ශන භාණ්ඩයකට පමණක් සීමා නොවී උන්වහන්සේව වන්දනාමාන කිරීමට අවශ්‍ය පරිසරය සකස් කර තිබීම අපේ රටේ කෞතුකාගාරවලට ද  ආදර්ශයක් සපයනවා. මීට වසර කීපයකට පෙර උන්වහන්සේ ලංකාවට වැඩම කළ අතර ලංකාව පුරා සිද්ධස්ථාන රාශියකදී උන්වහන්සේව වන්දනාමාන කිරීමේ අවස්ථාව  ලාංකික බෞද්ධයන්ට හිමිවුණා.

 

7. දකුණු කොරියාවේ වැඩ වාසය කරන ධාතූන්වහන්සේ

දකුණු කොරියාවේ විහාරස්ථාන කීපයක ධාතූන් වහන්සේ වැඩ වාසය කරන නමුත් ඒ අතරින් ප්‍රධාන ස්ථානය ටොන්ග්ඩෝසා විහාරයට හිමි වනවා. මෙම විහාරයේ ඇති එක් විශේෂත්වයක් වන්නේ එහි බුද්ධ ප්‍රතිමා නිර්මාණය කොට නොතිබීමයි. ඊට හේතුව ලෙස පැවසෙන්නේ බුදුරජාණන් වහන්සේගේ චීවර ධාතුන් වහන්සේ, පාත්‍රා ධාතූන් වහන්සේ සහ කපාල ධාතූන්වහන්සේගෙන් කොටසක් එම විහාරයේ වැඩ විසීම නිසා බවයි. එවැනි පසුබිමක බුද්ධ ප්‍රතිමාවකට වන්දනාමාන කිරීමට වඩා ශාරීරික ධාතුන් වහන්සේටම වන්දනාමාන කිරීම සුදුසු බව එරට බෞද්ධයන් විශ්වාස කරනවා.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *