රට රටවලට ආවේණික විවිධ සටන් කලාවන් ගැන අපි කතා කළා. යම් රටකට ආවේණික සටන් ශිල්ප ක්‍රමයක් කියන්නෙ යුධ ජයග්රහණයන්ට භාවිතා කරපු සටන් ක්‍රමයක් වගේම ආයුධ භාවිතා කරලා යුද්ධ කරන අද වගේ කාලෙක උනත් ඒ ඒ රටවල අනන්‍යතාවය ලෝකය ඉදිරියේ විදහා දක්වන එක අංගයක්. ඉතින් එහෙම තවත් රටක අනන්‍යතාවය විදහා දක්වන සටන් ශිල්ප ක්‍රමයක් ගැන තමයි මේ අදත් කතා කරන්න යන්නෙ. ඒ ඉන්දියානු කාලාරිපායට්ටු සටන් කලාව ගැනයි. මේ සටන් කලාව කාලාරි කියලත් හැඳින්වෙනවා. ඉන්දියානු ජනසමාජය ආශ්‍රිතව ගොඩක් සටන් ක්‍රම තිබුණත් පැරණි සහ ජනප්‍රියම සටන් කලාව විදිහට සැලකෙන්නෙ මේ කාලාරි සටන් කලාව. අද වෙද්දි ලෝකේ පුරාමත් ජනප්‍රිය සටන් කලාවක් තමයි කාලාරිපායට්ටු කියන්නෙ. ඉතින් මේ සටන් ශිල්ප ක්‍රමය ගැනත් ටිකක් වැඩිදුර විස්තර කියවල බලමුකෝ.
1. ආරම්භය
මේ සටන් කලාවේ ඉතිහාසය ඉතාම ඈත අතීතයට දිවෙන එකක්. මේ සටන් කලාව ආරම්භ වෙන්නෙ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය ආශ්‍රිතව. ඒ ක්‍රිස්තු පූර්ව තුන්වෙනි සියවස තරම් ඈත අතීතයේ. ඒ නිසාම මේ සටන් කලාව ඉන්දියාවේ පැරණිම සටන් කලාව විදිහටත්, ඉන්දියාවෙන් පිටත දැනට පවතින පැරණිම සටන් කලාව විදිහටත් සැලකෙනවා.
කලාරිපායට්ටු කියන නම හැදෙන්නෙ වචන දෙකක එකතුවකින්. කලාරි කියන්නෙ යුධපිටිය කියන එකයි. පායට්ටු කියන්නේ සටන් ක්‍රමය කියන එකයි. එතකොට මේ කලාරිපායට්ටු කියන්නේ යුධ පිටියේ කෙරෙන සටන් කලාව කියන අදහස ඇතිවෙන වචනයක්.
2. පැතිරයාම
ඉන්දියාවේ කේරල ප්‍රාන්තය ආශ්‍රිතව බිහිවුණ මේ කාලාරි සටන් ක්‍රමය ආසියාව පුරා ව්‍යාප්ත වෙන්නෙ බෝධිධර්ම කියන සංචාරක භික්ෂුව හරහා. මේ භික්ෂුව කාලාරි සටන් ක්‍රමය මනාව පුහුණු කරපු භික්ෂූන් වහන්සේ නමක්. ඔහු චීනයේ ෂැවොලින් ආශ්‍රමයන්ට ගිය ගමනකදී එහි සිටින මිතුරු භික්ෂූන්ට මේ සටන් ක්‍රම උගන්වනවා. ඒ හරහා තමයි ආසියාවේ අනෙක් සටන් කලාවන්ට අඩිතාලම වැටුණ කියල සඳහන් වෙන්නෙ. දැනට පවතින ප්‍රසිද්ධ ෂැවොලින් කුංෆු සහ කරාතේ කියන සටන් ක්‍රම මේ කාලාරි ආභාෂයෙන් බිහිවුන සටන් ක්‍රම කියල තමයි සැලකෙන්නේ.
3. ආභාෂය
මේ කාලාරි සටන් ක්‍රමයට ආභාෂය ලැබෙන්නෙ, ඒ කියන්නෙ ඒ සටන් ක්රමයේ විශේෂ චලනයන් සහ ශිල්ප ක්‍රම සකස් කෙරෙන්නේ රණශූර සතුන් අටදෙනෙක් නිරීක්ෂණය කිරීමෙන්. ඒ තමයි සිංහයා, ඌරා, නාගයා, අලියා, කොටියා, අශ්වයා, කුකුළා සහ මී හරකා කියන සත්තු අටදෙනා. මේ සත්තුන්ගේ විවිධ ඉරියව් සහ ඔවුන් සටනට ප්රවේශවන සහ සටන් කරන ක්‍රම ඉතා සූක්ෂමව නිරීක්ෂණය කරලා තමයි මේ ඉපැරණි සටන් කලාව නිර්මාණය කරල තියෙන්නෙ.
4. අන්තර්ගතය
ඒ වගේම මේ සටන් කලාව නිකන්ම ගහමරාගන්න ක්‍රමයක්ම විතරක් නෙමෙයි. මේ කාලාරි සටන් වල එකිනෙකට සම්බන්ධ ඉගැන්වීම් පහක් ඇතුළත් වෙනවා. ඒ තමයි සටන්, ආයුර්වේදය (සුවපත් කිරීමේ ශාස්ත්‍රය), යෝග, ජ්‍යෝතිෂ ශාස්ත්‍රය සහ අධ්‍යාත්මික පුහුණුව. මේ සියලුම දේවල් වලින් නිකන්ම සටන් කාරයෙකු නොවී මේ සටන් ක්‍රමය ප්‍රගුණ කරන පුද්ගලයාගේ පරිපූර්ණ පුද්ගල සංවර්ධනයක් කිරීම අරමුණු කරගන්නවා. අතීතයේ, ඒ කියන්නේ ආසියාවේ පැතිර යන්න කලින් මේ සටන් ක්‍රමය කේරල ප්‍රාන්තයේ නායාර්වරුන්ගේ ශාරීරික විනය, නිරායුධ සහ සන්නද්ධ සටන්, හුස්ම ගැනීම, භාවනා කිරීම සහ ආයුර්වේද ප්‍රතිකාර මඟින් සුව කිරීමේ ප්‍රතිකාර කියන හැමදේම උගන්වපු රහසිගත සටන් කලාවක් විදිහට තමයි පැවතුණේ.
5. විවිධ ශෛලීන්
සාම්ප්‍රදායික කාලාරිපායට්ටු සටන් කලාවේ ප්‍රධාන ශෛලීන් දෙකක් දකින්න පුළුවන්. ඒ උතුරු හෙවත් වඩක්කන් කාලාරි සහ දකුණු හෙවත් තෙක්කන් කාලාරි කියන ශෛලීන් දෙකයි.
- වඩක්කන් කාලාරි – මේක තමයි කාලාරි සටන් ක්රමයේ නියම ශෛලිය විදිහට අදටත් හැඳින්වෙන්නේ. මේ ශෛලියේදී ගොඩක් වෙලාවට පුහුණු කෙරෙන්නේ ශරීරයේ නම්‍යශීලීභාවය. ප්‍රධාන කොටස් හතරක් යටතේ තමයි පුහුණු කිරීම් සිදුකෙරෙන්නේ. මෙයිපායට්ටු හෙවත් ඉරියව් පුහුණුව, කොල්තාරි හෙවත් ලී ආයුධ සමඟ පුහුණුව, අන්ගතාරි හෙවත් ලෝහමය ආයුධ සමඟ පුහුණුව සහ වේරුම් කායි හෙවත් හිස් අතින් ඒ කියන්නෙ අතපය භාවිතා කරලා කරන සටන්.
- තෙක්කන් කාලාරි – කලින් කියපු සැබෑ කලාරි සටන් ක්‍රමය පොඩි පොඩි වෙනස්කම් වලට භාජනය වෙලා සකස් කෙරුණු ක්‍රමවේදයක් තමයි මේක. මේ දකුණු සටන් ක්රමයේ බොහෝ පුහුණුවීම් සම්ප්‍රදායික උතුරු ක්‍රමයට සමාන උනත් ඊට වඩා ටිකක් කලහකාරී සහ රණකාමී ලක්ෂණ පෙන්නුම් කරනවා.
6. ඉගැන්වීම
මේ කාලාරිපායට්ටු සටන් ක්‍රමයත් ඉගැන්වීම කරන්නෙ සාම්ප්‍රදායික ගුරුවරුන් විසින්. අපි කලින් කතා කරපු ලංකාවේ අංගම්පොර සටන් වගේම මේ සටන් කලාවත් ආවාට ගියාට ඉගැන්වීම් කරන්නේ නැහැ. සටන් කලාවේ අයුතු ප්‍රයෝජන ගන්න අය අතට මේ සටන් යන එක වළක්වන්න පියවර ගැනීම හුඟක් සාම්ප්‍රදායික සටන් ක්‍රමවල ලක්ෂණයක්. ඉතින් මේ කාලාරිපායට්ටු සටන් කලාවේත් ආත්ම ආරක්ෂාව සහ සුවය කියන අරමුණු දෙක ඇරුනහම වෙන පටු අරමුණු මුදුන්පමුණුවා ගැනීම වළක්වන්න මුල ඉඳලම විනය ආරක්ෂා කරන්න ඉගැන්වීම් කරනවා. ඒ විනය ඉගැන්වීම් වලදී චරිතය, හැසිරීම සහ චේතනාවන් පරික්ෂා කරලා තමයි මාරාන්තික ශිල්පක්රම ඉගැන්වීම කරන්නෙ.
7. වර්තමානය
කලිනුත් කිව්ව වගේ ලෝකෙ පුරාම අද වෙද්දීත් තවමත් පවතින පැරැණිම සටන් ක්‍රමය මේ කාලාරි සටන් ක්‍රමයයි. නමුත් දැන් යුධ භූමි වල කෙරෙන සටන් නැති නිසාම මේ සටන් ක්‍රම හුදෙක් ක්‍රීඩාවන්, ආත්මාරක්ෂක ශිල්පක්රම සහ ශාරීරික, මානසික සුවතාවය වෙනුවෙන් පමණක්ම පුහුණු කරන සටන්ක්රම, විනෝදාංශ බවට පත්වෙලා.
දැනට ඉන්දියාවේ සංගම් කිහිපයක් මඟින් මේ කාලාරිපායට්ටු සටන් ක්‍රම ඉගැන්වීම සහ ප්‍රචලිත කිරීම සිදුකෙරෙනවා.
Leave a Reply