ඔබේ රැකියාවට අවදානමක් ඇති කරන මේ දේවල්වලින් වළකින්න

Job risk

රැකියාවක් කියන දේ අපි කවුරුත් ලැබුනට පස්සෙ අගය නොකෙරුවත්, ලැබෙනකම් අතිශය අගය කරන දෙයක්. ඒකට හේතු ‌තියෙනවා. එයින් මූලිකම හේතුව වෙන්නෙ බොහෝ උගත් අය රැකියා නොමැතිව පසු වෙන එක. ඉතිං මේ දේවල් ගැන කොච්චර දැනුවත් බවක් තිබුනත් අපේ බොහෝදෙනෙක් මේ ගැන‌ නොසිතා කරන වැරදි නිසා ඒ අයගෙ රැකියා ජීවිතේ ලොකුවටම අනතුරට ලක්වෙලා තියෙනවා. මේ දේවල් කිසිසේත්ම රැකියාව රිස්ක් එකට තියලා කළ යුතු දේවල් නෙමෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසාමයි මේ සටහනට අපි රැකියාව අවදානමට ලක්වෙන ‌විදියේ වැරදි 7ක් ලැයිස්තු ගත කරන්නෙ.

 

1. අල්ලස්

Job risk

Image Source – newsfirst.lk

අල්ලස් කියන දේ විවිධාකාර විදියට වෙනවා. සල්ලි විදියට අල්ලස් ගන්න එක ප්‍රසිද්ධයි වගේම, භාණ්ඩ හා සේවා වගේම ලිංගික අල්ලසුත් ඔය අතරට ඇතුළත් වෙනවා. මේ කොයි දේත් ඔබේ රැකියාව නරක විදියට අවදානමේ හෙලන්නට ඉඩ තියෙනවා. මුදල් ලබාගනිද්දී හසුවීම, ලිංගික අල්ලසක් ගත් බවට සාක්ෂි සහිතව ඔප්පු වීම‌ හෝ මූල්‍යමය වටිනාකමක් ඇති භාණ්ඩ හා වෙනත් සේවාවන් අල්ලස් ලෙසින් ලබාගෙන තිබීම ඔප්පු වීමක් අපි උදාහරණයට ගනිමු. එවන් අවස්ථාවකදී රැකියා ස්ථානයට යොමුවන අවධානය සහ අපකීර්තිය මගහැරවිය හැක්කේ එය සිදුකළ තැනැත්තා රැකියාවෙන් පහ කිරීමෙන් පමණයි.

 

2. මූල්‍ය අවභාවිතා

Job risk

Image Source – totpi.com

රැකියා ස්ථානයේ මුදල් පෞද්ගලික පරිහරණයට යොදාගැනීම වරදක් බව සිතට ගත යුතුමයි. එයට යම් අයෙකු යොමු විය හැකි ආකාර කිහිපයක් තිබෙනවා. උදාහරණයකට ප්‍රධානියාගේ විශ්වාසය මත නොසිතූ ලෙසින් ආයතනික මුදල් අතගාන්නට ලැබීම මිනිසෙකුව වරදට පෙළැඹවීමට ඉඩ තිබෙනවා. ඒ වගේම හදිසි අවශ්‍යතාවයකට ආයතනික මුදල්වලින් ලබාගත් කොටස සම්බන්ධයෙන් කිසිවකුත් නොසොයන බව හැඟුණු විට මහා සොරකමක් දක්වා හිත යන්නට බෙහෙවින් ඉඩ තියෙනවා. එවැනි මූල්‍ය අවභාවිතාවක් අනිවාර්යෙන්ම රැකියා අවදානමක් ළඟා කරනවා.

 

3. වැඩ පැහැරහැරීම්

Job risk

Image Source – companiesbehavingawesomely.com

ඔබට රැකියාවක් ලැබෙන විට ඔබට ඒ ලබාගන්නා වැටුප වෙනුවෙන් සිදුකරන්නට නිශ්චිත රාජකාරි කිහිපයක් ලැබෙනවා. ඔබ ගිවිසුම් අත්සන් කිරීමෙන් අනතුරුව එම රාජකාරි පැහැර හැරීම කිසිසේත් සිදු නොකළ යුත්තක්. බොහෝදෙනෙක් ආයතනික රාජකාරි පැහැරහරින්නේ මේ සොච්චං පඩියට මෙච්චර නහින්න බෑ වගේ හේතුවක් දක්වලා වුවත්, එය වැරදි තර්කයක්. ලැබෙන පඩියට කරන වැඩ ප්‍රමාණය ඔබ සහ ආයතනය අතරේ තිබෙන ගිවිසුම ප්‍රකාරව සිදුවන්නක්. එසේම ආයතනය එයින් බැහැරව යනවා නම්, ඔබේ වටිනාකම් ඔබ විසින්ම නංවාගෙන ඇත්නම්, ආයතනය හැරයාමට ඔබට උවමනා තරම් අවස්ථාව තිබෙනවා. ඒ නිසා ආයතනික වැඩ මගහැරීම කිසිසේත්ම කළ යුතු දෙයක් නොවෙයි.

 

4. ආයතනය තුළ සිදුවන ලිංගික සම්බන්ධතා සහ අඩන්තේට්ටම්

Job risk

Image Source – apessay.com

ඕනෑම මොහොතක යම් අයෙකු සම්බන්ධයෙන් ආදරයක් හෝ ආශාවක් සිතෙහි හටගැනීම සාමාන්‍ය තත්ත්වයක්. නමුත් රාජකාරියක් වෙනුවෙන් ගිවිසුම් ප්‍රකාරව බැඳී සිටින ආයතනයකට එය කිසිසේත්ම අදාළ වන්නේ නැහැ. ආයතනික ව්‍යුහය තුළ යම් අයෙකුට ඔබ විසින් ලිංගික කටයුත්තකට බලකිරීමක් හෝ බලපෑමක් සිදුකිරීම දරුණු වරදක් ලෙසින් දකිනවා. සැබැවින්ම දෙදෙනාගේ කැමැත්ත පිට වුවත්, එය ආයතන පරිශ්‍රයෙන් බැහැරව සිදුකරනවා හැරෙන්නට ආයතනය තුළදී එවන් කටයුත්තක නියැලීම සැබැවින්ම රැකියාවට හානිදායක වේවි.

 

5. හොරෙන් හොරෙන්

Job risk

Image Source – mensjournal.com

ආයතනයට නොදන්වා නිවාඩු ගැනීමත් ඔබ මත වරදකාරී බවක් පැටවෙන වරදක්. ඕනෑම අයෙකුට හදිසි දුක් කරදර ඇතිවිය හැකියි. ලෙඩ දුක් මෙන්ම පවුලකට එක්ව මුහුණ දෙන්නට ‌වන සෝචනීය අවස්ථා සෑම දෙනෙකුටම පාහේ සුලභයි. ඒ නිසා සෑම විටම තම ප්‍රධානියා දැනුවත් කර එවැනි අවස්ථාවක් වෙනුවෙන් නිවාඩුවක් ගන්නවා විනා එය කිසිසේත්ම කිසිවකුට නොදන්වා සිදු නොකළ යුතුයි. යම් අයෙකු මෙම වරද කරන්නට හුරු වුවහොත් එය ලෙහෙසියෙන් නවත්වාගත නොහැකි තරමටම පෙළඹෙන වරදක් වනු ඇති සේම, යම් අවස්ථාවකදී එයට වරදකරු වූ විට එය සෘජුවම රැකියාවට අන්තරායකර ලෙසින් බලපානු ඇති.

 

6. පහසුකම් අවභාවිතා

Job risk

Image Source – justdial.com

ඕනෑම ආයතනයක රැකියාව කරදරයකින් තොරව සිදුකරගෙන යන්නට ලබාදෙන පහසුකම් තිබෙනවා. නමුත් රාජ්‍ය අංශයේ, පෞද්ගලික අංශයේ කියා බේදයකින් තොරව බොහෝදෙනෙකු එම සේවාවන් අවභාවිතා කරන බව රැකියාවක් සිදුකර ඇති ඕනෑම අයෙකුට දැකිය හැකියි. උදාහරණයකට ෆොටෝ කොපි, ඉන්ටනෙට් සහ ටෙලිෆෝන් ඒ අතරින් ප්‍රධාන කර දැක්විය හැකියි. ඊට අමතරව ආයතනය තුළ භාවිතා වන කඩදාසි ඇතුළු අනෙකුත් ලිපි ද්‍රව්‍ය නිවසට හෝ ආයතනයෙන් පිටතට ගෙනයාමේ පුරුද්දද විශාල වරදක්. මෙවන් දෑ ඔබව රැකියාවෙන් පහ කරන්නට හැකි සාධාරණ හේතු ලෙසින් ඕනෑම මොහොතක ඉදිරිපත්‌ වේවි.

 

7. ආයතන අවභාවිතා

Job risk

Image Source – newslocker.com

යම් ආයතනයක් ගොඩනැගෙන්නට හෝ නම කියූ පමණින් හඳුනාගන්නට බොහෝ කල් ගතවෙනවා වගේම ඒ වෙනුවෙන් ආයතනයක් ලෙසින් බොහෝ පරිශ්‍රමයක් දරන්නට සිදුවෙනවා. එසේ වූ විට ඔබ ආයතනයේ සේවකයෙකු වූ පමණින් ආයතනයේ නම විකුණා විවිධ වූ වාසි ලබාගැනීමට උත්සාහ කිරීම වරදක්. මෙය බොහෝවිට මාධ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන වරදක් ලෙසින් දැක්විය හැකියි. මාධ්‍ය ආයතනයේ නම සඳහන් කරමින් තමන්ගේ වාසි සලසා ගැනීම බොහෝවිට සිදුවන්නක්. ඒ වගේම මිනිසුන් එතරම් තරහා කරගන්නට අකමැති වෘත්තිකයන් ලෙසින් දැක්විය හැකි බැංකුකරුවන් මෙන්ම පොලිසියත් මේ ආකාරයෙන් තම රැකියා ස්ථානයේ නම් අවභාවිතාවට ලක්කරනු විවිධ අවස්ථා වලදී දැකිය හැකියි.

කාලයක් තිස්සේ මෙම වැරදි සිදුකරන පුද්ගලයින්ට මේවා අතිශය සාධාරණ තත්ත්ව ලෙසින් පෙනෙන්නට ඉඩ ඇති සේම, මෙම සටහන සහ ලියුම්කරුවා සම්බන්ධයෙන් කෝපයක් හටගැනීමත් සිදුවිය හැකියි. නමුත් දෙවරක් සිතන්න. අඩුම තරමින් ආයතනයේ අභිවෘද්ධිය පාර්ශවයෙන් සිතන්නට ඔබේ සිත ඉඩ නොදෙන්නේ නම්, ඔබේ අනාගතය සම්බන්ධයෙන් හෝ සිතන්න. මෙවැනි වරදක් හසුවී ඔබ වරදකරුවා වුවහොත් එතැනින් පසු ඔබේ වෘත්තීය ජීවිතයට එක්වන කළු පැල්ලම පිළිබඳ සිහිපත් කරන්න.

Cover Image Source – huffingtonpost.com/ cnbc .com

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *