රැකියාවට යන අයගේ ජීවන රටාව අමුතුවෙන් කියලා දෙන්න ඕනෙ නෑනේ. ඒ අය හැමවෙලේම වැඩපළ ලේසියෙන් කරගන්න තමයි උත්සහ කරන්නෙත්. වෙන්න ඕනෙත් ඒකනේ. අද අපි කතා කරන්න හිතුවෙ මේ ගැන. බබාලා එක්ක ගෙවන ජීවන රටාව පොඩ්ඩක් ලේසි වෙන්නත් එක්ක මේ ටිප්ස් ටික අනුගමනය කරලා බලන්න. රැකියාවේ ස්ට්‍රෙස් එකයි ගෙදර ප්‍රශ්නයි පොඩ්ඩක් හරි සැහැල්ලු වෙයි.
1. රැකියා ජීවිතෙයි ගෙදර ජීවිතෙයි පටලගන්න එපා ඕං
මුලින්ම කියන්න ඕනේ මෙන්න මේ දේ. අපි රැකියාවක් කරන්නෙ මොකටද? සල්ලි හම්බ කරන්න. සල්ලි හම්බකරන්නෙ මොකටද? ජීවත් වෙන්න. එතකොට ජීවත් වෙන්න. ජීවත් වෙන්නෙ ඇයි..? ආන්නේකයි පොයින්ට් එක. ජීවත් වෙන්නෙ රස්සාවක් කරන්නද? නැත්තන් රස්සාව කරන්නෙ ජීවත් වෙන්නද කියන දේ අවබෝධ කරගන්න ඕනෙ කවුරු උනත්. ඒ නිසා රැකියාව රැකියාව විදියට කරන්නත් ගෙදරදොරේ කටයුතු ඒ විදියට කරන්නත් ඉගෙනගන්න ඕනේ. සමහරු ඉන්නවා ඔෆිස් එකේ වැඩත් ගෙදර ඇවිල්ලා කරන්න වෙන. කාර්‍යබහුලත්වයත් එක්ක එහෙම අවස්ථා එන්න පුළුවන් නමුත් අපි මේ කියන්නෙ පුරුද්දක් විදිහට මේක කරන අයට. තමුන් ගෙදර ඉන්න පැය කීපයේදිත් ඔෆිස් එකේ වැඩ කර කර ගෙදර අය ගැන අවධානයක් නැතුව ඉන්නවා නම් පවුල් ජීවිතේ හරියට ගෙනියන්න බෑ. ඒ වගේමයි රැකියාව කරන තැනට ගෙදර දේවල් ගෙනියන්නත් එපා. සමහරක් අය ඉන්නවා බබාගෙ හෝම් වර්ක් ඔක්කොම කරන්නෙ ඔෆිස් අරන් ගිහින්. ඔෆිස් එකේ වැඩක් කරන්නෙ නෑ. පස්සෙ ගෙදර ඇවිත් ඒවා කරන්න වෙනවා. ඒ නිසා හැමෝම මතක තියාගන්න ඕනේ කරුණක් තමා ගෙදර ගෙදරම තියලා ඔෆිස් යන්න. ඒ වගේම ඔෆිස් එක ඔෆිස් එකේම තියලා ගෙදර යන්න.
2. බබාලගේ වැඩ ටික මැනේජ් කරන හැටි
මේ කාරණේදි නම් අපි හැමදෙයක්ම ගොඩක් සැලකිල්ලෙන් කරන්න ඕනේ. ඔයාට ඉන්නෙ පොඩි බබෙක් නම් ඔයා ඔෆිස් යන කෙනෙක් විදියට බබත් එක්ක ගෙදර වැඩ කරගන්න ලොකු වෙහෙසක් දරන්න වෙනවා. බබා බලාගන්න කෙනෙක් ගත්තත්, ගෙදර කෙනෙක් බලාගත්තත් එයාට බබා බලාගන්න පහසු වෙන විදියට ඔයා වැඩ ටික ලෑස්ති කරලා යන්න එපැයි නේද? බබාට දෙන ආහාර එහෙම වෙනම කන්ටේනර්ස් වල දාලා සූදානම් කරගන්න. දවසකට එක බොක්ස් එක ගාණෙ උදෙන්ම ලෑස්ති කරලා යන්න.
ඒ වගේම සීරියල් දෙනවනම් කඩෙන් ගන්න දේවල් නැතුව ඔයාට නිවාඩු දවසෙ මාසෙකටම ඇති වෙන්න ඒ දේවල් හදාගන්න පුළුවන්. ඒ මෙහෙමයි…
ධාන්‍ය වර්ග ගෙනල්ලා හොඳට හෝදලා, අව්වේ වේලලා, කබලේ බැදලා, ග්‍රයින්ඩ් කරලා, බෝතල් වලට දාලා නම් ගහලා බබාට කෑම දෙනකොට ඒවට එකතු කරන්න පුළුවන්. මේකට කඩල, කව්පි වර්ග, ග්‍රීන් පීස්, ඉරිඟු, හාල්මැස්සො කුඩු කරලා ගන්න පුළුවන්. මේක මේ විදිහට කරලා තිබ්බොත් ඔයා බිසී කියලා බබාට අවශ්‍ය පෝෂණය නොලැබී යන්නෙ නෑ. බබා බලාගන්න අයටත් පහසුවක් ඒක. ඒ වගේම බබාගෙ ඇඳුම් ගැන බැලුවොත් දවස ගාණෙ අඳින ඇඳුම් ටික වෙන් කරලා තියලා යන්න පුළුවන්. බබාගෙ ඇඳුම්වලට අල්මාරියෙ උනත් වෙනම පැත්තක් තියාගන්න. දවසකට අවශ්‍ය ඇඳුම් ටික විතරක් වෙන් කරන්න. ඒකට නැපි 20-25ක්, ගවුම් 5-6ක් වගේම එයාව නාවන්න අවශ්‍ය දවස්වලට ඒ ඕන දේවල් එක තැනකට කරලා යන්න. පාසල් හෝ පෙරපාසල් වයසේ දරුවො ඉන්නවනම් එයාලා පාසල් ගිහින් ආවම බලාගන්න අයට කියන්න කවලා වොශ් දාලා ටිකක් නිදාගන්න දෙන්න කියලා. ඊටපස්සෙ හවස් වරුවම එයාලට හෝම්වර්ක් කරවන්න හුරුකරන්න. නැත්තන් ඔයා ඔෆිස් ඇරිලා ආපු වෙලේ ඉඳලා ගෙදර වැඩ පැත්තක තියලා ඒවා කර කර ඉන්න වෙයි. ළමයිනුත් නිදි බාගෙට. ඒ වගේමයි බබාලටත් පිළිවෙලට බඩු මුට්ටු තියන්න පුරුදු කළානම් ඔයාට තවත් පහසු වෙයි.
3. උයන පිහන දේවල් මේ විදියට කරමුද?
රැකියාවට යන කෙනෙක් මුහුණ දෙන ලොකුම ගැටළුව මේකනෙ. උදෙන්ම නැගිටලා හැමදේම කරලා, ළමයි ලෑස්ති කරලා වැඩට එන එකට සෑහෙන ගේමක් දෙන්න වෙනවනෙ. මෙන්න මේ විදියට වැඩ ටික ප්ලෑන් කරගත්තොත් ඔයාට ලේසි වෙයි ගොඩක්.
සතියකට පාරක් මාකට් එකෙන් එළවලු ගෙනාවම ඒ ටික හොඳට හෝදන්න. ඊට පස්සෙ එළවළු වෙන් කරලා වේලකට ඇති ප්‍රමාණ අරන් ඒවා කපලා, සිප්ලොක් බෑග් වල දාලා ෆ්‍රිජ් එකේ එළවළු දාන එකේ අහුරන්න. මේ සිප්ලොක් බෑග් සුපර්මාකට් වල හෝ ඕනම තැනක ගන්න තියනවා. ඒකට එළවළු දාලා සීල් කරන්න. ඒ කියන්නෙ වාතය ඔක්කොම එලියට යනකල් බෑග් එක වතුර එකක ඔබලා, කට පොඩ්ඩක් ඇරලා වාතය එලියට යවලා, ඒ සැනින් කට ඉතුරු ටික වහගන්න. ඒ වගේම මස් මාළු උනත් සතියකට වතාවක් ගේනවනම් ඒවා සෝදලා, වේල් වලට ප්‍රමාණ වෙන් කරලා, පොඩි පොඩි පෙට්ටි වල දාලා ෆ්‍රිජ් එකේ දාන්න. මේක සතියෙ එක දවසක කළොත් මුළු සතියම ඔයාට උයන එක ගේමක් නැතිවෙයි.
පොල් ගාන එකත් ප්‍රශ්නයක් නෙ. මේන් ඒකට විසඳුම. පොල් උනත් සතියටම ඇතිවෙන්න ගාලා, ෆ්‍රීසර් කරලා තියාගන්න. කිසි ප්‍රශ්නයක් නෑ. ඒ වගේම පහුවදාට ගන්න මසක් හෝ මාළුවක් තෙල් දාන එක, මිරිසට හදාගන්න එක රෑම කරලා තියාගන්න එකත් තව ඔප්ශන් එකක්.
4. ඇඳුම් පැළඳුම් ලෑස්ති කරන්න විදියක්
අම්මා තාත්තා දෙන්නම වැඩට යන පවුල් වල උදේට එකම ජරමරයයි. බබාලගෙ යුනිෆෝම්, අම්මගෙ සාරිය ඔක්කොම පටලගෙන මේස් හොයන්නයි බබාලගෙ ඉස්කෝල ටයි හොයන්නයි එකම විකාරයයි. මේකටත් අපි විසඳුමක් හොයමු නේද? ඔයා රැකියාවට යන කෙනෙක් නිසා අඳින ඇඳුම් ටික සාරි හෝ වෙන ඇඳුම් සතියකටම එකපාර අයන් කරලා අල්මාරියෙ වෙන වෙනම එල්ලලා තියන්න. ඒ වගේමයි හස්බන්ඩ් ගෙ ඇඳුම්, බබාලගෙ යුනිෆෝම්, යට ඇඳුම් ඒ ඔක්කොම එකම තැනක සතියකට ඇතිවෙන්න සූදානම් කරලා තිබ්බම උදේට අඩු ඒවා හොය හොය දඟලන්න ඕනෙ නෑ. සාරියක් නම් ඒකට අවශ්‍ය හැම ඇඳුමක්ම එකම තැනක තියන්න. බබාලගෙ යුනිෆෝම් උනත් ඒ විදිහට අහුරන්න. බබාලටත් හුරු කරවන්න ගෙදර ආවම බෑග් එක නිසි තැන තියන්නත්, ඉස්කෝල ටයි, බැජ්, මේස් දාන්න ඕන තැන් වල තියන්නත්. කිළුටු ඇඳුම් බාස්කට් එකට පවුලෙම ඇඳුම් දාන්නත් එයාලව වගේම විශේෂයෙන්ම අර ලොකු බබාව, ඔව් ඔව් මහත්තයාව තමා හුරු කරන්න ඕනේ.
5. ගේ කැළේ වෙලාද?
මේ ගැන නම් අහන්න දෙයක් නෑ ඉතින් කාර්‍යබහුල ජීවන රටාවක් ගෙවන අය වගේම පොඩි බබාලා ඉන්න අය හොඳට දන්නවා මේ ගැන. බබාලට කියලා දෙන්න ඕනෙ සෙල්ලම් කරලා ඒ බඩු පිළිවෙලකට අහුරන්න. පොඩි කාලෙ ඉඳලම එයාලට පොඩි පොඩි වැඩ දෙන්න කරන්න. දුවෙක් උනත් පුතෙක් උනත් කුස්සියෙ පොඩි පොඩි දේවල් වලට එයාලව ගන්න නිවාඩු දවසට. ඒ අයට ගෙවල් අස් කරන හැටි, මොප් කරන හැටි කියලා දෙන්න. ඒ දේවල් ආස හිතෙන විදිහට කරන්න කියලා දෙන්න. ඒ වගේම ගෙදර ඉන්න දවසට වටපිටාව ගැනත් අවධානය දෙන්න. ඔයා රැකියාවට යන කෙනෙක් කියලා ගෙදර වටේ කැළයක් කරගන්න බෑනෙ නේද? ඒ නිසා ඉඩ තියන වෙලාවට මල් පැලයක් එළවළුවක් එහෙම හිටවන්න. ඒ වෙලාවට බබාලවත් ඒ වැඩ වලට හවුල් කරගන්න. එයාලත් හුරුවෙයි පොඩිකාලෙ ඉඳලම මේ දේවල් වලට. බිසී ලයිෆ් එකක් තියන ඔයාට ඒක කවදහරි ලොකු පහසුවක් වෙනවා නොඅනුමානයි.
6. පහුවදාට කරන්න තියන වැඩ පොඩ්ඩක් ප්ලෑන් කරමුද?
මේක පුරුද්දක් කරගත්තොත් ජීවිතේටම පහසුවක් වෙයි. මේ කියන්නෙ එදිනෙදා වැඩ ප්ලෑන් කරගන්න හැටි. සරලවම කිව්වොත් හෙට දවස ප්ලෑන් කරන හැටි. දැන් මෙහෙම හිතන්න, හෙට බබාට හවස ක්ලාස් තියනවා. එතකොට එයාගෙ බෑග් ලෑස්ති කරලා හවසට අමතර කෑම එකකුත් ලෑස්ති කරන්න ඕනෙ කියන දේ ඔලුවට එන්න ඕනේ. ඒ වගේ දවසටම කරන්න තියන දේවල් කලින් දවසෙ මතක් කරලා තියාගන්න එක ලොකු පහසුවක් ඔයාට. රැකියාවෙ උනත් ස්පෙශල් මීටින්, ඩොකියුමන්ට්ස් රෙඩි කරලා තියන්න ඕන ඒවා කලින් දවසෙ ප්ලෑන් කරලා තියාගන්න පුළූවන්. ඒ වැඩ ප්‍රමුඛතාව අනුව වර්ග කරන්න පුළුවන්.
හදිස්සි සහ වැදගත් වැඩ
වැදගත් නමුත් හදිස්සි නොවන වැඩ
හදිස්සි උනත් වැදගත් නොවන වැඩ
හදිස්සි හෝ වැදගත් නොවන වැඩ
මේ විදිහේ ප්ලෑනක් දිනපතා ගහගන්න පුරුදු උනොත් දන්නෙම නැතුව ඔයාගෙ ලයිෆ් එක සුපර් ඊසි වෙලා තියෙයි.
7. බිසී ලයිෆ් එකේ ඔලුවට පොඩි නිදහසක් දෙමුද?
හැමදාම වැඩට යනවා ගෙදර එනවා විතරනේ. යමුද පොඩි පික්නික් එකක් ගෙදර කට්ටියමත් එක්ක? පොඩි චේන්ජ් එකකටත් එක්ක මාසෙකට වතාවක්වත් මෙහෙම ගමනක් යන්න දාගන්න. එක දවසක නිවාඩුවක් නම් තියෙන්නෙ වැඩිය දුර නැති බබාලාත් යන්න ආස තැනක් හෝ නාන්න හොඳ තැනක් බලලා යන්න. දිග නිවාඩුවක් තියනවනම් ලස්සන හොටෙල් එකක් බලලා පවුලම ගිහින් දවස් දෙකතුනක් ඉඳලා එන්ජෝයි කරලා එන්න. ඒ වගේම බබාලට බලන්න යන්න වැදගත් ලංකාවෙ තැන් එක්ක ගිහින් පෙන්නන්න. හවස් වෙලා කට්ටියම ෆිල්ම් එකක් බලන්න යන්න. ජීවිතේ විඳිනවා කියන්නෙ ඒකටනේ.
Leave a Reply