අද අපි කියන්න යන්නේ බේකන් වලින් හදන්න පුළුවන් රෙසිපි ටිකක් තමයි. මේක බේකන් වලට ආස අයටමයි. නොකන අය නම් අහක බලන් ගියට කමක් නෑ. නැත්නම් ඔය චිකන් බේකන් වලින් හරි ට්‍රයි කරන්න පුළුවන්. ඒ වගේම හැමෝටම ට්‍රයි කරන්න පුළුවන් විදිහට ලේසි රෙසිපි ටිකක් තමා අද අපි ගෙනත් තියෙන්නේ. සේව් කරල තියාගත්තොත් ක්‍රිස්මස් වලටත් නියම රෙසිපි ටිකක් මේ. එහෙනම් අනිවා හදන්න ඕනෙ හොඳේ…
1. බේකන් ෆ්‍රයිඩ් රයිස් (Bacon Fried Rice)
අවශ්‍ය ද්‍රව්‍ය
- කපාගත් බේකන් කෝප්ප 1
- බිත්තර 4
- පොඩියට කපාගත් කැරට් කෝප්ප 1
- පොඩියට කපාගත් ළූණු කෝප්ප 1
- සුදුළූණු ටිකක්
- පිස ගත් බත් කෝප්ප 1
- ග්‍රින් පීස් කෝප්ප 1
- සෝයා සෝස් තේ හැඳි 2
- ඔයිස්ටර් සෝස් තේ හැඳි 2
- බටර් මේස හැඳි 1
- තල තෙල් ටිකක්
- පෑන් එකකට තෙල් දාලා රත් වෙන්න තියන්න. ඊළඟට ඒකට බේකන් දාලා හොඳින් බැදගන්න. ඊළඟට බේකන් ටික වෙනම භාජනයකට දාන්න.
- දැන් බෝල් එකක් අරගෙන ඒකට බිත්තර දාලා හොඳින් විස්ක් කරන්න. ඒ බිත්තර කලින් බේකන් බැදගත්ත පෑන් එකට දාලා බැදගන්න. බැදගත් බිත්තර ටික වෙනම බෝල් එකකට දා ගන්න.
- නැවත ඒ පෑන් එකටම තෙල් දාලා රත් වෙන්න තියලා ඒකට කැරට්, කපාගත් ළූණු, සුදුළූණු, ග්‍රින් පීස් දාලා හොඳින් කලවම් කරන්න. දැන් ඒකටම කලින් බැදගත් බේකන් හා බිත්තර එක් කර හොඳින් කලවම් කරන්න. ඒකට සෝයා සෝස්, ඔයිස්ටර්, බටර් හා තල තෙල් දාලා, හොඳින් කලවම් කරලා බත් ටික එකතු කරන් හොඳට පැතලි හැන්දකින් කලවම් කරගෙන ලිපෙන් බාගන්න.
2. එග් ඉන් බේකන් බාස්කට් (Egg in Bacon Basket)
අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර 5
- හෙවි ක්‍රීම් 200ml
- බේකන් තීරැ 24
- පාමසන් චීස් මේස හැඳි 3
- බේසිල් කොළ කිහිපයක්
- ලුණු කුඩු ටිකක්
- ගම්මිරිස් කුඩු ටිකක්
- භාජනයකට බිත්තර, හෙවි ක්‍රීම්, පාමසන් චීස් දාලා හොඳින් මික්ස් වෙනකන් බීට් කරගන්න. ඊළඟට ඒකට ලුණු කුඩු, ගම්මිරිස්කුඩු, බේසිල් කොළ එක් කරන්න. හොඳින් මික්ස් කරන්න.
- දැන් මෆින් ට්‍රේ එකක් ගන්න. ඒකට බේකන් තීරු අතුරා ගන්න. (බේකන් තීරු අතුරා ගැනීමේදී දෙකක් එකට එකක් හරස් අතට අතුරා ගන්න) ඊළඟට කලින් සදා ගත් බැටර් එක බේකන් තීරු කප් එකට පුරවගන්න. දැන් සෙල්සියස් 180°C ට විනාඩි 12 -15 ක් අතර වේලාවක් බේක් කරගන්න.
3. බේකන් එග් ටෝස්ට් (Bacon Egg Toast)
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පෙති කිහිපයක්
- බිත්තර 2
- බේකන් තීරු කිහිපයක්
- ළූණු කොළ ටිකක්
- ගම්මිරිස් කුඩු ටිකක්
- ලුණු කුඩු ටිකක්
- ග්‍රේට් කර ගත් චීස් කෝප්ප 1/2
- පෑන් එකක් ලිපේ තියලා රත් වෙන්න තියන්න. ඊළඟට ඒකට පොඩියට කපාගත් බේකන් තීරු දාලා බැදගන්න. ඒවා හොඳට දෙපැත්ත බැදුනට පස්සෙ පසු බිත්තර දාලා නැවත හොඳින් බැදගන්න.
- දැන් පාන් පෙති අරන් ඒකට කලින් සදා ගත් බේකන් එග් මික්ස් එක පාන් පෙති මත අතුරා ගන්න. ඒකට උඩින් ළූණු කොළ හා චීස් ටිකක් ඉහගන්න. ගම්මිරිස් කුඩු හා අවශ්‍ය නම් ලුණු කුඩු ද ඉහගන්න. දැන් මේක බේකින් ට්‍රේ එකක් උඩ තියා ගෙන සෙල්සියස් 180°Cට විනාඩි 5ක් විතර බේක් කරගන්න.
4. බේකන් ග්‍රිල්ඩ් චීස් සැන්ඩ්විච් (Bacon Grilled Cheese Sandwich)
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පෙති කිහිපයක්
- චීස් පෙති කිහිපයක්
- බේකන් තීරු 3
- බටර් ටිකක්
- ළූණු කොළ ටිකක්
- ගම්මිරිස් කුඩු ටිකක්
- පාන් පෙති මත බටර් ටිකක් ගාගන්න. ඒ උඩ චීස් තීරු කිහිපයක් තියාගෙන ඒ උඩින් බැදගත් බේකන් තීරු තියන්න.
- ළූණුකොළ ටිකක් ඉහගන්න. නැවත චීස් පෙති කිහිපයක් තියාගන්න. අවසානයේ දී නැවත පාන් පෙත්තක් තියා ගන්න.
- ඒ උඩින් ගම්මිරිස් කුඩු ටිකක් ඉහගන්න. පෑන් එකක් ලිපේ තියලා බටර් ටිකක් දාලා මෙල්ට් කරලා සාදාගත් සැන්ඩ්විච් එක දෙපැත්ත හරවමින් හොඳින් බැදගන්න.
5. බේකන් රැප්ඩ් අනියන් රිංග්ස් (Bacon Wrapped Onion Rings)
අවශ්‍ය ද්‍රව්‍ය
- බේකින් තීරු 16 ක් පමණ
- කපාගත් ළූණු රවුම් 16
- ළූණු රවුම් සම්පූර්ණයෙන්ම ආවරණය වන විදියට බේකන් පෙති ඔතන්න. ලුණු හා ගම්මිරිස්කුඩු ඉසගන්න.
- සෙල්සියස් 180°C ට විනාඩි 25 ක් පමණ බේක් කරගන්න. කැමති නම් තෙලේ බැදගන්නත් පුළුවන්.
6. බේකන් ඇවකාඩෝ ෆ්‍රයිස් (Bacon Avocado Fries)
අවශ්‍ය ද්‍රව්‍ය
- බේකන් තීරු 10 ක් විතර
- අලිගැටපේර ගෙඩි 5ක් විතර
- ලුණු හා ගම්මිරිස්කුඩු
- අලිගැටපේර ගෙඩිය හොඳින් පොතු ඉවත් කර දික් හැඩයට තීරු කපාගන්න. අලිගැටපේර තීරු සම්පූර්ණයෙන්ම ආවරණය වෙන්න බේකින් තීරු වලින් ඔතාගන්න.
- මේකට ලුණු හා ගම්මිරිස්කුඩු ඉසගන්න. ඊළඟට සෙල්සියස් 180°Cට විනාඩි 35 ක් විතර බේක් කරගන්න.
7. මේපල් බේකන් කැරට්ස් (Maple Bacon Carrots)
අවශ්‍ය ද්‍රව්‍ය
- කැරට් අල 12ක් පමණ
- මේපල් සිරප් කෝප්ප 1/4
- බේකන් තීරු 12
- ගම්මිරිස් කුඩු ටිකක්
- සෑම කැරට් අලයක්ම බේකන් තීරු වලින් ඔතාගන්න. මේපල් සිරප් ගාගන්න. ගම්මිරිස් කුඩු ටිකක් දමා සීසන් කරගන්න.
- සෙල්සියස් 180°Cට විනාඩි10 ක් විතර බේක් වෙන්න තියන්න. නැවත අවන් එකෙන් අරගෙන මේපල් සිරප් ගාගන්න. ආයෙ තවත් විනාඩි 15 ක් වගේ බේක් කරගන්න.
Leave a Reply