ප්‍රදර්ශනකාමය කියන්නේ මානසික රෝගයක්​ද?

මේ කතා කරන්න යන්නේ අපේ රටේ බොහෝම සුල​භ ලිංගිකත්වය හා සම්බන්ධ වුණු මානසික ප්‍රශ්නයක් පිළිබඳව. ඒ තමයි ප්‍රදර්ශනකාමය. කාමය සම්බන්ධ මාතෘකාවක් හින්දා වැඩි විස්තර නැතුව කෙලින්ම කතාබහටම යමු. 

 

1. ප්‍රදර්ශනකාමය කියන්නේ මොකක්ද?

ප්‍රදර්ශන කාමය කියලා සාමාන්‍යයෙන් හඳුන්වන්නේ යම්කිසි පුද්ගලයෙක් තමන්ගේ රහසිගත අවයව වෙනත් කෙනෙක්ට පෙන්වා ලිංගික තෘප්තියක් ලබාගැනීමට. මේක පිරිමි පාර්ශ්වයට වගේම කාන්තා පාර්ශවයටත් බලපාන මානසික ගැටලුවක්. උදාහරණයක් විදිහට සමහර පිරිමි තමන්ගේ ලිංගේන්ද්‍රය වෙනත් කෙනෙක්ට පෙන්වා තෘප්තියක් ලබනවා. ඇතැම් කාන්තාවන් තමන්ගේ පියයුරු සහ නිරුවත් සිරුර තවත් කෙනෙක්ට පෙන්වා ඉන් ආස්වාදයක් ලබා ගන්නවා. නමුත් තමන්ගේ සහකාරයාට හෝ සහකාරියට එසේ පෙන්වීම නම් මානසික රෝග ගණයට වැටෙන්නේ නෑ.

 

2. අතීතයේ ප්‍රදර්ශනකාමය 

අතීත සමාජය තුළත් ප්‍රදර්ශනකාමය පිළිබඳව අවබෝධයක් තිබුණු බවට සාධක රැසක් හමු වෙනවා. ස්ත්‍රී මායම් හැට හතර විදිහට වර්ගීකරණය කරන චර්යාවන් රටා දිහා බැලුවම ස්ත්‍රීන් තුළ පවතින ප්‍රදර්ශනකාමය එම චර්යා රටාවන් තුළින් කතාබහ කෙරෙනවා. ඒ වගේම ඇතැම් විදේශීය ජනප්‍රවාදවල තමන්ගේ පුන් පියවුරු පෙන්වා තරුණයන් වස​ඟ කර ගන්නා කාන්තාවන් පිළිබඳව වගේම රහසඟ පෙන්වා තරුණියන් අපහසුතාවයට පත්කරන පත් කරන පුරුෂයන් පිළිබඳව අසන්නට ලැබෙනවා.

 

3. අද වන විට ප්‍රදර්ශනකාමය 

තාක්ෂණයේ දියුණුවත් එක්කම ප්‍රදර්ශනකාමයට ලැදි පුද්ගලයන්ට තමන්ගේ ආශාවන් සන්තර්පණය කරගැනීමට ඇති තරම් අවස්ථා ලැබී තිබෙනවා. බොහෝවිට තමන්ගේ ස්මාට් ෆෝන් එක හරහා තමන්ගේ නිරුවත නොදන්නා පුද්ගලයන්ට යවන්න පෙළඹෙන්නේ මෙවැනි ආශාවන් සහිත අයයි. බොහෝ විට ඔවුන් ඒ සඳහා ෆේක් එකවුන්ට් භාවිතා කරනවා. ඇතැම් අවස්ථාවල අසභ්‍ය වෙබ් අඩවි සඳහා තමන් පමණක් පෙනී සිටින හෝ ස්වයංවින්දනය කරන ආකාරය දැක්වෙන වීඩියෝ මුදා හරින්නත් මේ අය පෙළඹෙනවා.

 

4. ප්‍රදර්ශනකාමයේ ප්‍රභේද 

මේ වෙනකොට ප්‍රදර්ශනකාමයේ විවිධ ප්‍රභේද හඳුනාගෙන තිබෙනවා. උපහාසාත්මක අරමුණකින් හෝ අනෙකාට අපහාස කිරීමේ අරමුණින් තවත් පුද්ගලයෙකුට තමන්ගේ තට්ටම් පෙන්වීමත් ප්‍රදර්ශනකාමයේ එක ප්‍රභේදයක් .ඇතැම් අය තමා ලිංගිකව එක්වන ආකාරය හෝ ස්වයංවින්දනය ලබන ආකාරය තවත් කෙනෙක්ට පෙන්වීමෙන් තෘප්තියක් ලබනවා. ඇතැම් අය  අන්තර්ජාලයට තමන්ගේ නිරුවත් සිරුර පෙනෙන නොපෙනෙන ආකාරයට ඡායාරූප එක් කරනවා. මේත් ප්‍රදර්ශනකාමයේ එක් ප්‍රභේදයක්. ඒ වගේම ක්‍රීඩා තරගවලදී පිටිය හරහා නිරුවතින් දුවන්නන් තුළත් පවතින්නේ ප්‍රදර්ශනකාමී ලක්ෂණ. සාමාන්‍ය දුරකථනයකින් ලබාගත් ඇමතුම් මගින් තවත් කෙනෙක් සමග ලිංගිකත්වයට බර කතාබහක නිරතවීමත් ඇතැම් තැනක දී ප්‍රදර්ශනකාමී ලක්ෂණයක් විදිහට සලකනවා. (ඇතැම් මනෝවෛද්‍යවරු නම් මීට එකඟ නෑ)

 

5. ප්‍රදර්ශනකාමයේ තෘප්තිය

ප්‍රදර්ශනකාමයෙන් තෘප්තිය ලබාගැනීම පිළිබඳව මතවාද කීපයක් තිබ්බත්, ඉන් ප්‍රබලතම මතවාදය වෙන්නේ ප්‍රදර්ශනකාමයෙන් පෙළෙන  පුද්ගලයෙක් ඒ ක්‍රියාකාරකම් මගින් අනෙක් පුද්ගලයා තුළ ඇතිවන විස්මය සහ කම්පනය ඇසුරෙන් තමන්ගේ ලිංගික තෘප්තිය ලබා ගන්නවා කියන එක. බැලූ බැල්මට මේක අහිංසක තෘප්තියක් විදිහට පෙනුනත් මේ මඟින් සිදු වන්නේ මානසික අපහරණයක්. ඒ වගේම ඇතැම් අවස්ථාවල ප්‍රදර්ශනකාමී පුද්ගලයන් මානසික අපහරණයෙන් නොනැවතී වින්දිතයාව ශාරීරික අපහරණයට ලක් කරපු අවස්ථා ගැනත් අහන්න ලැබෙනවා.

 

6. ප්‍රදර්ශනකාමීත්වය හඳුනාගැනීම

ප්‍රදර්ශනකාමියෙක්​ව හඳුනාගැනීම සමීපතම පුද්ගලයන්ට නම් ටිකක් අපහසු දෙයක්. ඒකට හේතුව වෙන්නෙ මේ අය බොහෝ විට තමන්ව ප්‍රදර්ශනය කරන්න තෝර ගන්නේ ආගන්තුක පුද්ගලයන් වීම. මේ නිසා යම් අයෙක් ප්‍රදර්ශනකාමී පුද්ගලයෙක් කියලා දැනගන්න ලැබෙන්නේ නීතියේ රැහැනට හසු වීමෙන් හෝ විවිධ පුද්ගලයන්ගෙන් පැමිණිලි එල්ල වීමත් එක්ක.

 

7. ප්‍රතිකාර ලබා දීම

යම්කිසි විදිහකින් ඔබට ඔබේ සමීප පුද්ගලයකු ප්‍රදර්ශනකාමී පුද්ගලයකු බවට සාක්ෂි ලැබුණොත් ඔහු සමඟ සුහද කතා බහක යෙදී මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඔහු ව යොමු කරන්න. ලංකාව තුළ මෙවැනි පුද්ගලයන් හමු වූ විට පහර දීම හෝ පොලිසියට භාර දීම සිදු කරනවා. මේ ගැන දැනගන්න ඔවුන්ගේ පවුලේ අය පවා තම පවුලේ ගෞරවයට ලැජ්ජාවක් වෙයි සිතා ඒ පිළිබඳව ඔහුට  තරවටු කිරීමෙන් පමණක් නැවතෙනවා. නමුත් මේ සඳහා කළ යුතු ප්‍රතිකාර ලබා දීම මග අරිනවා. නමුත් ඒ මගින් වෙන්නේ එවැනි ගැටළු වලට ඔහු සහ ඔහුගේ පවුලේ අය නැවත නැවතත් මුහුණ දීමයි.

 

එහෙම නම් මේ ආර්ටිකල් එක ගැන ඔබේ අදහස් පහතින් කමෙන්ට් කරන්න, ඒ වගේම ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *