අඩුකාලයකින් ඵලදාව ලබාගන්න පුළුවන් බෝග වර්ග

අපි මේ පහුකරමින් ඉන්නෙ ලෝකයටම බලපාන දරුණු කොරෝනා වසංගතයට අමතරව ලංකාවේ අපිට මුහුණ දෙන්න සිදුවෙලා තියෙන දරුණුම ආර්ථික පසුබෑමක් සහිත කාලසීමාවක්. දවසින් දවස අහස උසට වැඩිවෙන බඩුමිල නිසා රටේ බහුතරයක් ජනතාව එදිනෙදා ජීවත් වෙන්න ලොකු සටනක් කරනව. වෙළඳපලේ එළවළු මිල, වෙන කවරදාකටවත් වඩා අධික වේගයෙන් ඉහල යනවා. ඒ විතරක් නෙමෙයි ඉදිරියේදී පැමිණෙන මාස කිහිපය තුළ වැඩි මිලටවත් කන්න එළවළු, සහල් නැතිවෙන බවට දැන් දැන් අනාවැකි පළවෙමින් තියෙනවා.  මේ කතාවල ඇත්ත නැත්ත කොහොම වුණත්, මේ දේවල් සිදුවෙන්න හේතුවුණු කාරණා මොනවා වුණත් තම තමන්ගේ කුස පුරවා ගැනීම දැන් තනිකරම තමන්ගේ වගකීමක් වෙලා ඉවරයි. ඉතින් ඒකට පෙර සුදානමක් විදිහට අපි හිතුවා ඉක්මනින්ම ඒ කියන්නෙ මාස තුනක් හෝ හතරක් ඇතුළත ඵලදාව ලබාගන්න පුළුවන් බෝග වර්ග කිහිපයක් ගැන අපේ පාඨකයින්ව දැනුවත් කරන්න. 

ඉවත දමන දඬුව වුණත් දළුලා යළි පැළවෙන තරමට සරු පසක් තියෙන මේ මහපොලව උඩ බඩගින්නේ නොඉඳ මේ දේවල් වවාගෙන අපහසු කාලය ගෙවාගන්න අපි හැමෝම උත්සාහ කරමු. 

 

 

1. තක්කාලි

තක්කාලි කියන්නෙ ඕනම දේශගුණයක වැවෙන එළවළුවක්. ඒ වගේම තක්කාලි කියන්නෙ ලෝකයේ වැඩියෙන්ම වගා කරන බෝගය. ඇත්තටම තක්කාලි කියන්නෙ එළවළුවක්ද, පළතුරක්ද කියන එක ගැන බොහොම වාද විවාද තිබුණත් ගෙදරක සතියේ එළවළු මල්ලට නැතිවම බැරි දෙයක් තමයි මේ තක්කාලි කියන්නෙ. සලාද, හොදි වගේ ක්‍රම වලට පිළියෙළ කරන්නත්, උයන හුඟක් එළවළු වර්ග රස කරන්න උදව් කරගන්නත් තක්කාලි කියන්නෙ නැතුවම බැරි දෙයක්. 

වාණිජමය වශයෙන් තක්කාලි වගා කරන්න සුදුසුම කාලය මාර්තු හෝ අගෝස්තු අග වුණත් ගෙවතු වගාවට මෙය එතරම් බලපෑමක් ඇතිකරන්නේ නැහැ. පැළ ඉන්දවලා මාස දෙකහමාරක් තුනක් වගේ කාලයකින් අස්වනු ලබාගන්න පුළුවන්. විශේෂයෙන්ම චෙරි තක්කාලි  කියන තක්කාලි ප්‍රභේදය ඉතා ඉක්මනින් ඵලදාව ලබාදෙන ප්‍රභේදයක්. ගෙදර භාවිතයට ගේන තක්කාලි වලින්ම පහසුවෙන් බීජ ලබාගන්නත් පුළුවන්.

 

 

2. ළූණු කොළ

ළූණු කොළ කියල කියන්නෙ මාසයක් වගේ සුළු කාලයක් ඇතුළත ඉක්මනින් ඵලදාව ලබාගන්න පුළුවන් එළවළුවක්. ඒ වගේම ඉතාම රසවත් එළවළුවක්. වෙනම එළවළුවක් විදිහට වගේම වෙනත් කෑම රස කරන්නත් යොදාගන්න පුළුවන් ගෙදරක නැතුවම බැරි එළවළුවක්. ඉතින් මේ බෝගය වවාගන්නත් හරිම පහසුයි. ගෙදර භාවිතයට ගේන ළූණු ගස් වල මුල කොටස ටිකක් උඩට වෙන්න කපාගෙන ඒවාම පැළ කරලා අස්වැන්න ලබාගන්න පුළුවන්. එහෙම නැත්තම් රතු ළූණු ගෙඩි දවසක් හෝ දෙකක් වතුරේ තියල මුල් ඇදුණහම පැළ කරගන්නත් පුළුවන්.

 

 

3. රාබු

රාබු කියන්නෙත් රසවත් වගේම ඉතා ගුණදායක එළවළුවක්. විශේෂයෙන්ම ගෙදරදීම වවාගත්තම වස විසත් නැහැනේ. රාබු පැළකරන්නනම් බීජ පිටතින් ලබාගන්න අවශ්‍යයි. නිසි විදිහට පාත්ති සකස් කරලා පැළ කරෝතින් මාස 4ක් වගේ කාලයකින් අස්වනු නෙලාගන්න පුළුවන්. අතරමැද කාලයේදී නැවත වගාවක් කිරීමෙන් දිගටම අස්වැන්න නෙලාගන්න පුළුවන්. 

 

 

4. නිවිති

නිවිති කියන්නෙ කොළ වර්ගයක් වුණත් ඒක වැඩි වශයෙන්ම භාවිතා වෙන්නෙ එළවළුවක් විදිහට. ඒ වගේම තමා නිවිති කියන්නෙ අධික ගුණදායක ආහාරයක්. ඉතාම පහසුවෙන් වැවෙන මේ නිවිති වැලකින් මාසයක් ඇතුළත කොළ කඩාගන්න පුළුවන්. ගෙදර භාවිතයට ගේන නිවිති වල මෝරපු දඬු මඟින් හෝ නිවිති බීජ මඟින් පැළ ලබාගන්න හරිම පහසුයි. ඒ වගේම කිහිප වතාවක්ම කොළ කඩාගෙන භාවිතයට ගන්න පුළුවන් බෝගයක් තමයි නිවිති කියන්නෙ.

 

 

5. බණ්ඩක්කා

බණ්ඩක්කා කියන්නෙ රසවත් එළවළුවක් වුණාට අද වෙළඳපලේ බණ්ඩක්කා මිල දැක්කමනම් රස ගැන හිතන්න අමාරුයි. ඒත් අපි නොහිතුවාට බණ්ඩක්කා කියන්නෙ ඕනම දේශගුණයක පහසුවෙන් වැවෙන, ඉක්මනින් ඵලදාව ලබාදෙන බෝග වර්ගයක්. වියලාගත් හොඳින් මේරූ බණ්ඩක්කා කරලින් ලබාගන්න බීජ සිටුවා දින 50ක් ඒ කියන්නෙ මාස 3කට අඩු කාලයකින් ඵලදාව ලබාගැනීම ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම මාස 5ක් වගේ දක්වා කිහිප වතාවක් අස්වනු නෙලාගන්නත් පුළුවන්. 

 

 

6. මෑ කරල්

මෑ කරල් කියන්නෙත් අද වෙද්දී අහස උසට මිල ඉහළ යමින් තියෙන බෝගයක්. හැබැයි හුඟක් දෙනා කන්න කැමති විශේෂ රසයකින් යුක්ත බෝගයක්. මේ මෑ කරල් කියන්නෙත් ඕනම දේශගුණික තත්ත්වයක වගාකළ හැකි බෝගයක්. බණ්ඩක්කා වගේම හොඳින් මේරූ මෑ කරලකින් තමයි බීජ ලබාගන්න අවශ්‍ය. අස්වැන්න ලබාගන්න පුළුවන් කාලය විවිධ මෑ ප්‍රභේද අනුව වෙනස් වුණත් සියළුම ප්‍රභේද මාස එකහමාරේ ඉඳලා තුන අතර කාලය තුළ අස්වැන්න ලබාදෙන්න පටන් ගන්නවා. 

 

 

7. කංකුන් සහ ගොටුකොළ 

කංකුන් සහ ගොටුකොළ කියන්නෙ පොදුවේ පළා වර්ග විදිහට භාවිතා කරන බෝගයන් නේ. මේ දෙවර්ගයම ඉතාම පහසුවෙන් ඕනම දේශගුණික තත්ත්වයක වගා කරන්න පුළුවන් වගේම මාසයක් වගේ කෙටි කාලයක් ඇතුළත අස්වැන්න නෙලාගන්න පුළුවන් බෝග වර්ග. ගෙදර භාවිතයට ගේන මේරූ කන්කුන් දඬු සහ ගොටුකොළ මුල් මඟින් පහසුවෙන්ම පැළ කරගන්න පුළුවන් වගේම මාසයකින් පසුව වරින් වර දිගු කාලයක් අස්වැන්න ලබාගන්නත් පුළුවන්.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *