එන්න එන්න වැඩි වෙන ජනගහණය එක්ක නගරබද පැති වල ගෙවල් හදන්න වෙන්නෙ ඉතා සීමිත ඉඩකඩක. මේ නිසා සීමිත ඉඩකින් උපරිම ප්‍රයෝජනයක් එන විදියට නිවාස ඉදි කිරීම වගේම නිවසක තියෙන සුළු ඉඩකඩ උපරිම ලෙස පාවිච්චි කරන්න හුඟ දෙනෙක් උනන්දුවක් දක්වනව. අද ලයිෆි අපි ඔයාලට අරන් එන්නෙ එහෙම අඩු ඉඩකඩක් සහිත තැනක නිවසක් ඉදි කිරීමේදී වගේම අඩු ඉඩක් තියෙන නිවසකට ඉඩ වැඩි කරල පෙන්වන්න සහ උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදියට සකස ගන්න අවශ්‍ය පුංචි පුංචි ටිප්ස් ටිකක්.
1. බිල්ට් ඉන් කබඩ්ස්
අළුතෙන් ගෙයක් හදන කෙනෙක්ට වගේම තියෙන ගෙයක් අළුත්වැඩියා කරන කෙනෙක්ට මේක පහසුවෙන් කරගන්න පුළුවන්. බිත්ති වලටම කබඩ් සහ ලාච්චු සකසගැනීමෙන් අල්මාරි සහ ඩ්‍රෝවර් තියන්න වැය වෙන ඉඩ ඉතිරි වෙනව. අළුතෙන් නිවසක් ඉදිකරන අයට නිවස තුල පාර්ටිශන් බිත්ති වලට, නිදන කාමර සහ කුස්සියට මේ වගේ බිල්ට් ඉන් කබඩ්ස් ඉදිකරගන්න පුළුවන්.
2. උස බිත්ති සහ උළුවහු
නිවසක ඉඩ වැඩි කරල පෙන්වන පොඩි උපායක් තමයි ටිකක් උසට බිත්ති බඳින එක. සාමාන්‍ය අඩි නවයේ බිත්තියට වඩා අඩි එකොලහ හෝ ඊට වඩා වැඩියෙන් උසට බිත්ති බඳින එකෙන් නිවසක විශාලත්වය මතු කරල පෙන්වනව. නිවැරදි ඉංජිනේරු උපදෙස් ලබාගෙන ලින්ටල් සහ කොලම් සකස ගැනීමෙන් ඉරිතැලීමකින් තොරව බිත්ති උස් කරගන්න පුළුවන්. ඒ වගේම දොරවල් යොදා නොගන්නා විවෘත උළුවහුත් සාමාන්‍ය අඩි හතේ උසට වඩා වැඩි උසක් සහිතව ඉදිකිරීමෙන් එහා මෙහා පේන විවෘත අවකාශය පුළුල්ව පෙන්වන්න හැකියාව ලැබෙනව. එයිනුත් නිවසකට එක් කරන්නේ විශාලත්වයක්.
3. ආලෝකය සහ වර්ණ ගැන්වීම
අඳුරු අහුමුළු වලට ආලෝකය ලැබෙන්න ලයිට්ස් සෙට් කරන්න. දිවා කාලයේ ලැබෙන ස්වභාවික ආලෝකයෙන් උපරිම ප්‍රයෝජන ලැබෙන විදියට දොර ජනෙල් යොදන පැති තීරණය කරන්න. නිවසේ ඇතුළත බිත්ති වලට හැකි තරම් ලා පැහැයන් භාවිතා කරන එකෙන් නිවස තුළ වැඩි ඉඩකඩක් පෙන්වන්න පුළුවන්.
4. දොර ජනෙල් තිර රෙදි සහ කාපට්
තනි වර්ණ වල තිර රෙදි පාවිච්චි කරන්න. සරල ඩිසයින් එකකට තිර රෙදි යොදන්න. ඝණකම, බරින් වැඩි සහ ඩබල් ලේයර් තිර රෙදි වලින් නිවසේ ඉඩ ඇහිරුණ ගතියක් ඇති කරනව. ඒ වගේම සෝෆා සෙට් අසලට යොදන කාපට් හැකි තරම් පොළවේ පැහැයට සමානව යොදාගන්න. බැලු බැල්මට කැපී පෙනෙන වර්ණ වලින් ඉඩ අඩු කරල පෙන්වනව. අත්‍යාවශ්‍ය නැති නම් බිමට කාපට් යොදා නොගෙන ඉන්නව නම් වඩා සුදුසුයි.
5. තරමක් විශාල සහ තනි පැහැ ගෘහභාණ්ඩ
පොඩි පොඩි ගෘහ භාණ්ඩ ගොඩක් ගොඩ ගහගන්නවට වඩා ඉඩ සහිත තරමක් ලොකු ගෘහභාණ්ඩ පාවිච්චි කරන්න. ඒ වගේම මෝස්තර සහිත කුශන් සහ ගෘහභාණ්ඩ වෙනුවට තනි වර්ණ යොදාගන්න එකෙනුත් ඉඩකඩ ඇහිරෙන පෙනුම අඩු කරගන්න පුළුවන්.
6. බිත්ති සැරසිලි
විශාල ප්‍රමාණයේ බිත්ති සැරසිලි වලින් බිත්තිවල වපසරිය වසා දමන්නේ නැතුව කුඩා සැරසිලි පාවිච්චි කරන්න. හැකිතරම් බිත්ති වැසෙන ලෙස සැරසිලි පාවිච්චි කිරීමෙන් වළකින්න.
7. බිත්ති රාක්ක
දැනටත් ඉදි කර ඇති නිවසක නම් බිත්ති රාක්ක සිවිලිම දක්වා උසට සකස ගන්න. කොට, බිත්තියෙන් භාගයක් වැසෙන රාක්ක වලට වඩා බිත්තියේ උසටම රාක්ක සැකසීමෙන්, වැඩි ඉඩක් ප්‍රයෝජනයට ගන්න ලැබෙනවා වගේම බිත්තියේ වර්ණ වල අනුරූපී බවට හානි වීමෙන් ඇති වෙන ඉඩ ඇහිරීමේ පෙනුමක් ඇති වීම වැළකෙනව.
8. බහුකාර්ය ගෘහභාණ්ඩ
මේ ගෘහභාණ්ඩ මොඩර්න් නිවාසවලට ඉතාම උචිතයි. අමුත්තන් වෙනුවෙන් වෙනම කාමර වෙන් කිරීමට තරම් ඉඩක් නැති නිවසකට සෝෆා බෙඩ් එකක් කියන්නෙ ඉතාම ප්‍රයෝජනවත් ගෘහභාණ්ඩයක්. ඇඳක් ලෙස සැකසිය හැකි සෝෆා, කොටස් වලට ගලවා ගබඩා කළ හැකි මේස සහ පුටු, කොටස් කීපයකට නවා අඩු ඉඩක තැබිය හැකි මේස, බෙඩ්ශීට්ස්, පත්තර වැනි දේවල් ගබඩා කරන්න පුළුවන් කොෆී ටේබල්ස් වැනි බහුකාර්ය ගෘහභාණ්ඩ වලට මිලදී ගැනීමේදී වැඩි අවධානයක් දෙන්න.
9. ජනෙල් අවහිර නොකරන්න
නිවසේ ජනෙල් සහ ආලෝකය ලැබෙන විවෘත අවකාශ අවහිර වෙන ආකාරයට ගෘහභාණ්ඩ හෝ සැරසිලි තැබීමෙන් වළකින්න. විවෘත දොර ජනෙල් හරහා නිවසෙන් පිටත අවකාශය පේන ආකාරයට ගෘහභාණ්ඩ තැබීමෙන් නිවස ඇතුළත අවකාශය වැඩි කර පෙන්වන්න හැකියාව ලැබෙනව.
10. පඩිපෙළට කබඩ්ස්
ඉහළ මාලයට යන පඩි පෙලේ යට ඉතිරි වෙන ඉඩ නිතර පාවිච්චියට නොගන්නා බඩු ගබඩා කරන්න පුළුවන් කබඩ් එකක් ලෙසට සකස් කරගන්න පුළුවන්. ගබඩා කාමරයකට වෙනම ඉඩක් වැය නොකර මේ වගේ ප්‍රයෝජනයකට නොගැනෙන ඉඩකඩ ප්‍රයෝජනයකට ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් කුඩා දරුවන් සිටින නිවසක් නම් ඔවුන්ට සෙල්ලම් බඩු තබා ගැනීමට සුදුසු විදියට පඩිපෙලක් යට ඉඩකඩ පාවිච්චියට ගන්න හැකියාව තියෙනව.
Leave a Reply