අලුත් අවුරුද්ද කියන්නෙ කොච්චර අසංස්කෘතික මිනිස්සු වුනත් යම් තරමකට හෝ සංස්කෘතික මිනිස්සු බවට පත් වෙන කාලයක්. ඒ කාලෙට මොක නැතත් තෑගි හුවමාරුව සිද්ධ වෙනවා. හුවමාරුව කිවුවට සමහර වෙලාවට අපි වෙනුවෙන් අපි විතරක් වුනාට අනුන් වෙනුවෙන් අපි කියන සංකල්පය පෙරටම එනවා. මේ සිද්ධිය නිසා අලුත් අවුරුද්ද ලංවෙද්දි අපි මේ ලියන්නෙ තෑගි ගන්න යද්දි හිතන්න ඕන දේවල් ගැන. ඒ වගේම ගන්න තෑගි දෙන විදිය ගැනත් හිතන්න. මොකද ඉතිං ඔක්කොම කරලා ගෙදර එනකං බලං ඉන්න අම්මගෙ එකවුන්ට් එකට සල්ලි දාලා නිකං ඉන්නෙපා. අන්න ඒ නිසා මේ තෑගි කතාව ඔයාලා දැනගන්න ඕනමයි.
1. වේලාසනින්
තෑගි ගන්නකොට තරමක් කල් ඇතුව අරගන්න එකේ වාසි කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි මාර්තු පඩිය ඉවර වෙන්න කලින් තෑගි ගන්න එක. දෙවැනි එක තමයි කඩවල්වල සෙනග අඩු වීම. තුන්වෙනි එක තමයි කඩවලින් අවුරුදු කටේ කරන ගුණ්ඩුවලට හසු නොවීම. ඒ අතරෙ පික්පොකට් කාරයන්ගෙන් බේරීම වගේ අමතර වාසිත් තියෙනවා. කොහොමින් කොහොම වුනත් වේලාසනින් ඔය වැඩ ඉවර කරගෙන ඉන්න එක ඇන්ටිලාට පෑගිලා විකුණන්න තියෙන බ්‍රා අස්සෙ මියැදෙනවාට වඩා සැපතක්.
2. පාර්සලේ
සමහර තෑගි තියෙනව ඒවා දෙන්න යන්න වෙන්නෙ නෑ. හැබැයි නොදිත් බෑ, අන්න ඒ වගේ අවස්ථාවල කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි පාර්සලයක් විදියට තැපැල් කිරීම. ඉතිං තැපැල් කරද්දි අවුරදු ලං වෙනකං ඉන්න එක නුවණට හුරු නෑ. මොකද පාර්සල් පෝලිම සහ නිවාඩු කාලේ නිසා අදාළ කාලයේදි ඔයාගෙන් තෑග්ග ලබන කෙනාට ඒක නොලැබෙන්න පුළුවන්. ඒ නිසා ඒ වැඩේ වේලාසනින් ඉවර කරන්න. ඒක ඒ අයටත් සතුටක් වේවි.
3. ඇඳුම්මද?
සාමාන්‍යයෙන් නං අපි අලුත් අවුරුද්දට තෑගි දෙන්න පුරුදු වෙලා තියෙන්නෙ ඇඳුම්ම විතරනෙ. සීයට සරම්, ආච්චිට චීත්ත, තාත්තට ෂර්ට්, අම්මට සාරි වගේ අපි පුරුදු වෙච්ච තෑගි ලිස්ට් එකක් තියෙනවා. හැබැයි ඉතිං ඕක වෙනස් වුනාට අවුලක් නෑ. නැන්දම්මට පැණි බෝතලයක්, මාමන්ඩිට අරක්කු බෝතලයක් දෙන්නත් පුළුවන්. හැබැයි ඔය දෙක මාරු කරවන්න එපා. පහුවදාට යද්දි මාමණ්ඩි පැණි බෝතලේ ගහල වැටිලා ඉඳියි, නැන්දම්මා අරක්කු දාලා කැවුම් හදලා තියෙයි. ඒ වගේම පොත් කියවන අයට පොත්, තාත්තට පර්ස් එකක් වගේ තෑගිත් දෙන්න පුළුවන්. අවුරුද්දට හැමෝම ගන්න එකම විදියෙ ඇඳුම්ම ගන්න කියල නීතියක් නැහැනෙ.
4. ගන්න ඇඳුමෙත්
තෑග්ග විදියට ඇඳුමක්ම ගන්න ඕන කියල හිතෙනවනං, ඇඳුම තමයි දෙන්න තියෙන හොඳම තෑග්ග කියල හිතෙනවනං, එහෙනං ඉතිං ඇඳුමක්ම දෙන්න. ඇඳුමත් ඉතිං හැමදාම දෙන ඇඳුමම වෙන්න ඕන නෑ. ටයි එකක්, බෙල්ට් එකක් වගේ තෑගි වගේම ඇඳුම් වෙනුවෙන් පාවිච්චි වෙන අනෙකුත් අංග සහ නවතාවයකින් යුතු ඇඳුම් වගේ දෙයක් දෙන්නට පුළුවන්කම තියෙනවා. ඒක හැම අවුරුද්දෙම සරමක් තෑගි විදියට ලබන මනුස්සයටත් වෙනස් ඇත්දැකීමක් දේවි.
5. වවුචර්
ඇඳුමක් ගන්න සයිස් නොදන්නවානම් ඉතිං කරන්න තියෙන හොඳම දේ තමයි තෑගි දෙන්න හිතන තැනින් ගිෆ්ට් වවුචර් එකක් දෙන එක. ඒ වගේම ලඟම හිතවන්තයෙකුට අලුත් අවුරුද්දට දෙන්න තෑග්ගක් හිතාගන්න බැරිනම් ඒ වෙනුවට සල්ලි දෙනවට වඩා ගිෆ්ට් වවුචර් එකක් දෙන එක වටිනවා. ඒ දේ නිකංම සල්ලි ටිකක් දෙන එකට වඩා වටිනාකමක් සහ හැඟීමක් තියෙන තෑග්ගක් විදියට හඳුන්වන්නට පුළුවන්කම තියෙනවා.
6. පොඩ්ඩොන්ට
තෑගි දෙනකං බලාගෙන ආසාවෙන්ම ඉන්න ජාතියක් තමයි පොඩි අය. පොඩ්ඩො කැමති නෑ ඔය ඇඳුම් කැඩුම්වලට. ඇත්තටම කතා පොත් අතිශය රසවත් වුනත් පොඩ්ඩො ගොඩක්ම ආසා කරන්නෙ සෙල්ලං බඩුවලට. ඉතිං ඒ නිසා පොඩ්ඩෙකුට ඇඳුමක් දෙනවනං ඒ එක්ක නුවණ වැඩෙන්න වගේම කියවීමට හුරු වෙන්න පොතක් වගේම හිත සතුටු වෙන්න තෑග්ගකුත් දෙන්න මතක තියාගන්න. හැබැයි පොඩ්ඩොන්ට ඇඳුම් ගන්නකොට පරිස්සම් වෙන්න. අලුත් අවුරුද්දෙ තෑගි දෙනකොට සර්ප්‍රයිස් කරන්න ඕන නැති නිසා පොඩ්ඩගෙ ඇඳුම්වල සයිස් ඒ දෙමවුපියන්ගෙන් අහලම තෑගි අරගන්න එක ලේසියක් වේවි.
7. සේල්
සාමාන්‍යයෙන් අප්‍රියෙල් මාසය ලබපු ගමන්ම බොහෝමයක් තැන්වල ඇඳුම්වල තිබුණු රුපියල් 1000 බෝඩ් එක 1200 වෙනවා. ඉන්පස්සෙ ඒක ඉරි දෙකකින් කපලා 1000කට අලෙවි කරන්න තියනවා. ඉතිං අපේ අය ඒක ගන්නෙ පොර කකා. අපි මේ කියන්නෙ එහෙම කඩවල්වලින් පෙන්නන සේල් ගැන නෙමෙයි. ලොකු ඉඩක් අරගෙන කරන විශාල මට්ටමේ සේල් එකක් කියන්නෙ කාන්තාවොන්ගෙ ෂොපින් අවශ්‍යතාවයත් සපුරන, පිරිමින්ගේ තැන තැන රස්තියාදු වීමේ අකමැත්තටත් සහනයක් දෙන වැඩක්. සෙනග අඩු වෙලාවක ගියොත් පිරිමින්ට එළිපහලියේ තියෙන කෑම කරත්තෙක හෙවනේ දිවිගෙවන්නටත් හැකියාව තියෙනවා. අනික මෙහෙම සේල්වල දකින්න ලැබෙන්නෙ ඇඳුම් විතරක් නොවෙන නිසා බලන්න කරන්නත් දේවල් බොහෝමයි.
Leave a Reply