නින්ද නැතිවෙන්න බලපාන නරක පුරුදු

රෑට නින්ද නැතිවෙන්න ආදරයත් හේතු වෙනවා. “රැයේ නිදිවරා ආදරේ හෙව්වා” ආදී ගීතත් අපි අතර ජනප්‍රිය වෙලා තියෙනවා. ඒ ආකාරයට මානසික අවුල් වගේම විසාල පරාසයක හේතු ගොඩක් නින්ද නැතිවෙන්න බලපානවා. නින්ද හරිහැටි ක්‍රියාත්මක නොවීම, වරින්වර ඇහැරීම වගේ දේවල් නින්ද නොයනකොට සිද්ද වෙනවා. නින්ද කියන්නේ කායික මානසිකව අපිව සුවබරව තියන්න වැදගත් වෙන විවේක කාලයක්. හරිහැටි නින්දක් නැතිවුනාම ඒ රෑ කාලය වගේම ඉන් පස්සේ දවල්කාලයත් අපිට ගෙවාගන්න අපහසුතා එනවා. ඒ වගේම දීර්ඝකාලීන සෞඛ්‍ය ගැටළු වලටත් නිදි නැතිවීම බලපානවා.

 

1. රාත්‍රී සේවා මුරය

රෑට නිදාගන්න අපහසු වෙන රැකියාවන් තියෙනවා. මේ රැකියාවන් අතර නයිට් ෂිෆ්ට් තියන රැකියා මූලික තැනක් ගන්නවා. එහෙම රැකියාවන් කරද්දි දවල්ට නිදාගන්න හොඳින් කළුවර වෙන කාමරයක් තියෙන එක වැදගත් වෙනවා. මොකද ආලෝකය වටේ පිටේ තියෙද්දි නින්ද අපහසුයි. ඒ වගේම දිගුකාලීනව නයිට් ෂිෆ්ට් වල නිරත වීම සෞඛ්‍යයට හොඳ දෙයක් නෙමෙයි. රාත්‍රී වැඩ තිබුණත් දවසට නියමිත පැය ගණන නින්දට කැප කරන්න උත්සාහ කිරීම හොඳ දෙයක්.

 

2. ඩිජිටල් ස්ක්‍රීන් සහ ආලෝකයට වැඩිපුර නිරාවරණය වීම

ඇසට ආලෝකය වැඩිපුර ලැබෙන කෘත්‍රිම පරිසරයක අපි වැඩිවෙලාවක් ඉන්න එකෙන් නින්දට බාධා වෙනවා කියල හොයාගෙන තියෙනවා. විශේෂයෙන් ස්මාට්ෆෝන්, ටැබ්, කම්පියුටර් පාවිච්චි කරලා රෑ නින්දට යන්න ගියාම හරිහමන් නින්දක් නොලැබීම ඔබට විතරක් තිබෙන ගැටළුවක් නෙමෙයි. මේක පර්යේෂණාත්මකවත් සහතික කරන ලද සත්‍යයක්. විශේෂයෙන් රාත්‍රී කාලයේදීත් ඩිජිටල් ස්ක්‍රීන් දිහා පැය ගණන් ඇස් යොමා සිටීම නැවැත්වීම නින්දට හොඳයි.

 

3. මත්පැන් භාවිතය

මත්පැන් ගත්තහම සමහරුන්ට සුටුස් ගාල නින්ද යනවා. ඒත් මත්පැන් සහ මත් ද්‍රව්‍ය මගින් ඇතිකරන කෘත්‍රිම නිදිමත මගින් අපේ නින්දේදි අපිට ලැබෙන සම්පූර්ණ අත්දැකීම ලැබෙන්නේ නැහැ. අපේ නින්දත් ස්ටේජ් කිහිපයක් තියෙනවා. එයින් ගැඹුරු නින්ද අපේ මතකයටත් වැදගත්. ඒ ගැඹුරු නින්ද කියන තත්ත්වයට වෙරි මරගාතේ නිදාගැනීමෙන් පිවිසෙන්න අමාරුයි කියලා තමයි විද්‍යාඥයෝ කියන්නේ.

 

4. විශාදය සහ මානසික පීඩනය 

ඔබට ප්‍රශ්නයක් නම් අපිට කියන්න. මානසික ප්‍රශ්නවලින් වැළකෙන්න හොඳට කතාබහකරලා සමාජ ජීවිතය නිසි අයුරින් පවත්වාගෙන යෑමෙනුත් තල්ලුවක් ලැබෙනවා. ඒ වගේම මානසික ගැටළු හැම එකක්මත් හුදෙක් කතා කිරීමෙන් විසඳාගන්න බැහැ. මානසික ගැටළු වලට දොස්තර කෙනෙක් හමුවන්නට යෑම, උපදේශකවරයෙක් හමුවන්නට යෑම කියන්නේ කිසිසේත්ම ලැජ්ජා විය යුතු කරුණක් නෙමෙයි. නූතනයේ වෙහෙස නොබලා යාන්ත්‍රිකව වැඩ කරන්න සිද්ධ වීම වගේ කාරණා නිසා මානසික පීඩනය කොහොමත් වැඩි වෙනවා. මේ මානසික පීඩනය සහ විශාදය වැනි රෝගාබාධත් අපේ නින්ද හරිහැටි නොලැබෙන්න සෘජුවම අපිට බලපානවා.

 

5. හිතාමතා නින්ද කල් දැමීම

යම් රාජකාරී කටයුත්තක්, විභාගයක්, අධ්‍යාපන කටයුත්තක් වගේ වැඩක් තියෙද්දි අපි කොහොමත් නිදි මරනවා. මේ වගේ අධ්‍යාපනය ආශ්‍රිත දේවලට නිදි වැරීම කිසිසේත් සුදුසු දෙයක් නෙමෙයි. මොකද අපේ මතක ශක්තිය නිසි පරිදි පවත්වාගන්න අපේ නින්ද සෘජුවම බලපානවා. තේ වතුර බොමින්, කකුල් වතුරේ දමමින්, හිසේ වතුර ගල්වා ගනිමින් නින්ද අමතක කරලා දවස් කිහිපයක් අඩුවෙන් නිදාගෙන පාඩම් කිරීම හෝ වැඩ කිරීම නින්දට හොඳ දෙයක් නෙමෙයි. ඒ වගේම එය සෘජුවම අපේ කායික මානසික සෞඛ්‍යයට බලපානවා.

 

6. බෙහෙත් වැරදි ලෙස පාවිච්චිය

නින්ද ඇතිවෙන්න සමහර බෙහෙත්  ජාති වලින් සහයෝගයක් ලැබෙනවා. සාමාන්‍යයෙන් පිරිටන් බිව්වාමත් සමහර අයට හොඳට නින්ද යනවා. නින්ද නොයන අය කඩෙන් අරගෙන කිසි වග විභාගයක් නැතුව නිදි පෙති ගිල දැමීමත් දිගුකාලීනව නින්ද ස්වාභාවික චක්‍රයට අනුව සිදු නොවන්න හේතු වෙනවා. නිදි පෙති කියන්නේ බොහොම ඉක්මන් ක්‍රියාකාරීත්වයකින් නින්ද ලබාගන්න කරන උපක්‍රමයක්. මේ නිදි පෙති නිතර පාවිච්චියෙන් නිදි පෙති මාත්‍රාව වැඩිකරන්න සිදුවීම වගේම ස්වාභාවිකව නින්දට යන්න අපහසු වීමත් පස්සට ඇතිවෙන්නට පුළුවන්.

 

7. මදුරුවෝ, උණුසුම, ඇඳේ අපහසුතා, ගෙරවීම් සහකරුගේ බාධා වැනි භෞතික දේ

නින්ද නොයන්න මදුරුවෝ හේතු වෙනවා. ඒ වගේම අපිට එක්තරා මට්ටමකට අදාළ පරිසරය තිබුනෙ නැත්තන් නිදාගන්න අපහසු වෙනවා. ඒනිසා සමහර අය ෆෑන් දාගෙන නිදාගන්නවා. නිදාගන්නේ විශාල ඇඳක සහකරු හෝ සහකාරිය සමඟ නම් ඇයගේ/ඔහුගේ විකාර නිදි චර්යාවන් නිසාත් අපිට නින්ද හරිහැටි නොලැබී යනවා. ඝෝෂාකාරී දුම්රිය මාර්ග, මහා මාර්ග අසල ඉන්න අයටත් නින්දට ස්වභාවිකවම බාධාවන් ඇති වෙනවා. මේ දේවල් වුනත් හැකිතාක් පාලනය කරගෙන නින්දට සුදුසු පරිසරයක් නිර්මාණය කරගන්න එක වැදගත් වෙනවා. මොකද නින්ද කියන්නේ පැය 6කට වඩා සුවදායකව ගෙවෙන්න ඕනි විවේක කාලයක්. ඒකට අදාළ සුවබර පරිසරය නැතිවුණොත් නින්ද අපිට අහිමි වෙන්න පුළුවන්.

 

නිදි නැතිව සිටි වීරයන් ගැන අතීතයේදී නම් මහත් උත්කර්ෂවත් ලෙස කතා කළා. තෝමස් අල්වා එඩිසන්, නැපෝලියන් බොනපාට් එහෙම සිය වැඩකටයුතු වෙනුවෙන් අඩුවෙන් නිදාගත් උදවිය. කලාතුරකින් එහෙම චරිත ඉන්නවා. ඒත් දැන් කාලයේ නම් සිරුරේ යහපැවැත්මට නින්ද කියන්නේ වැදගත් සාධකයක් කියන කාරණාව පර්යේෂණාත්මකවත් සනාථ කරලයි තියෙන්නේ. නින්ද කෙරේ බලපාන නරක දේවල්, බාධාවන් අයින් කරලා සිරුර මනස සූදානම් කරගෙන සැපට නිදාගමු. නින්ද නැතිවීමෙන් ඇතිවෙන මානසික කායික දුබලතාවන්ගෙන් ගැලවෙමු. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *