මිතුරන් බවට පත් වූ සතුරු රටවල්

සමහර වෙලාවට අපි සමාජයේදී දැකලා තියෙනවා කාලෙකදි හම්බුනු තැනක ගහගන්න මට්ටමේ පිරිස් පස්සේ කාලෙකදී අඹ යාළුවෝ බවට පත්වෙනවා. මේ දේ දේශපාලනයෙදී අති සුලබයි. මේ නිසාම ජාත්‍යන්තර දේශපාලනය තුළත්  මෙවැනි අවස්ථා ඕන තරම් දකින්නට ලැබෙනවා. ඒ තමයි කාලයක් සටන් වැදුණු රටවල් විවිධ හේතූ නිසා මිත්‍ර රටවල් බවට පත්වීම. අපි අද කතා කරන්න යන්නේ ජාත්‍යන්තර දේශපාලනය තුළ ඒ ආකාරයේ සබඳතා කිහිපයක් පිළිබඳව.

 

1. ජපානය සහ ඇමරිකා එක්සත් ජනපදය

දෙවැනි ලෝක යුද්ධයේදී සතුරු රටවල් දෙකක් විදිහට කටයුතු කරපු ජපානය සහ ඇමරිකාව මේ වන විට ඉතා සමීප උපායමාර්ගික මිතුරන් බවට පත්වෙලා තියෙනවා. ජපානය විසින් පර්ල් හාබර් වරායට බෝම්බ දැමීම වගේම මිනිස් ඉතිහාසයේ අති දැවැන්ත ඛේදවාචකයක් වන ඇමරිකාව විසින් හිරෝෂිමා හා නාගසාකි නගරවලට බෝම්බ දැමීමත් මේ වන විට ඔවුන් කෙමෙන් කෙමෙන් අමතක කරමින් ඉන්නවා. මේ යහළුකමට ප්‍රධාන වශයෙන්ම බලපාලා තියෙන්නේ  චීනය සහ උතුරු කොරියාව  ජපානයේ අසල්වැසියන් වීම. සතුරාගේ සතුරා මගේ මිතුරා සංකල්පය යටතේ ජපානය සහ ඇමරිකාව අද වෙනකොට සමීප දේශපාලනික සගයන්.

 

2. ප්‍රංශය සහ ජර්මනිය 

ප්‍රංශය සහ ජර්මනිය අතර දේශපාලනික සම්බන්ධතාවල යුග තුනක් තිබෙන බවට  දේශපාලන විචාරකයන් සඳහන් කරනවා. දෙවැනි ලෝක යුද්ධයේ අවසානය දක්වා මේ රටවල් දෙකම දරුණු ගණයේ සතුරන්. 1945 ඉඳන් 1963 දක්වා කාලය තුළදී රටවල් දෙකම තම පසමිතුරුතා කෙමෙන් කෙමෙන් දුරලීමට කටයුතු කළා. 1963 ඉඳන් මේ රටවල් දෙකම සමීප මිතුරන් බවට පත්වෙලා තියෙනවා. අද වෙනකොට යුරෝපා සංගමය ඉදිරියට ගෙන යන ද්විත්ව එන්ජිම බවට පත් වෙලා තියෙන්නෙ මේ රටවල් දෙක. 

 

3. වියට්නාමය සහ ඇමරිකා එක්සත් ජනපදය

වියට්නාම් යුද්ධයේදී ඇමරිකා එක්සත් ජනපදය විසින් සිදුකරන ලද විනාශය හේතුවෙන් වියට්නාම් ජනතාවට අත්විඳින්නට සිදුවූ අමානුෂික ඛේදවාචක පිළිබඳ ඡායාරූප අදටත් සමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වෙනවා. නමුත් බිල් ක්ලින්ටන් ජනාධිපතිවරයාගේ සමයේ ඉඳන් මේ රටවල් දෙකම ආර්ථික සහ ආරක්ෂක සඟයන් බවට පත්වෙලා තියෙනවා. මේ සඳහා බලපා තියෙන ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ වියට්නාමය සහ චීනය අතර පවතින ගැටුම්.

 

4. ජර්මනිය සහ රුසියාව 

ජර්මනිය සහ රුසියාව ඉතිහාසය පුරාවටම ප්‍රතිපාක්ෂික පෙරමුණුවල හිටපු රටවල් දෙකක්. දෙවැනි ලෝක යුද්ධයේදී පළමු අවස්ථාවේදී ජර්මනිය විසින් රුසියාවටත් දෙවැනි අවස්ථාවේදී රුසියාව විසින් ජර්මනියටත් දැඩි විනාශයක් ඇති කරනු ලැබුවා. නමුත් මේ වන විට ජර්මනිය සිය ආර්ථික සංවර්ධන අරමුණු කරා යද්දී රුසියාව ක්‍රමෝපායික සගයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. මේ සමීප සම්බන්ධතාවය නිසා ඇතැම් අවස්ථාවල ජර්මනිය ඇමරිකා එක්සත් ජනපදයේ විවේචනයට පවා ලක් වෙලා තියෙනවා.

 

5. ප්‍රංශය සහ මාලී

 අප්‍රිකාවේ පිහිටා ඇති අති දැවැන්ත රාජ්‍යයක් වන මාලීහි යටත් විජිත යුගයේදී පාලකයා වූයේ ප්‍රංශයයි. මේ නිසාම එරට බහුතරයක් ගෝත්‍රික ප්‍රජාවට දැඩි අසාධාරණකම්වලට ලක්වන්නට සිදුවුණා. නමුත් මේ වන විට ප්‍රංශය මාලී රාජ්‍යයේ ප්‍රධාන සහයකයෙකු බවට පත්ව සිටිනවා. විශේෂයෙන්ම එරට ඇතිව තියෙන ත්‍රස්තවාදී තර්ජන මැඩපැවැත්වීම සඳහා  ප්‍රංශය සුවිශාල සහයෝගයක් ලබා දෙනු ලබනවා.

 

6. ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය

ඇමරිකා එක්සත් ජනපදය නිදහස් රටක් ලෙස ප්‍රකාශයට පත් කිරීමත් එක්ක  ඇතිවෙච්ච යුද්ධය හින්දා එක්සත් රාජධානියේ කෙටිකාලීන සතුරු රටක් බවට ඔවුන් පත් වුණා. නමුත් ඉන්පසුව ඔවුන් අතිශය සමීප මිතුරු රටවල් දෙකක් බවට පත්වුණේ ලෝක ඉතිහාසයේ සුවිශේෂීම සහ දැවැන්තම ආර්ථික සහ හමුදාමය සහයෝගය නිර්මාණය කරමින්. දෙරටේම විදේශ ප්‍රතිපත්තිය තුළ අනෙක් රට කෙරෙහි වැඩි ඉඩක් වෙන්ව පවතිනවා.

 

7. ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය 

සීතල යුද සමය තුළ ඉන්දියාව පැවතියේ සෝවියට් රුසියාවේ සමීප රටක් ලෙසයි. මේ නිසාම ඇමරිකා එක්සත් ජනපදය පාකිස්තානය සමග සමීප සබඳතාවයක් පවත්වාගෙන ගියා. ඉන්දු පකිස්තාන යුද්ධවලදී එක් අවස්ථාවක ඉන්දියාව හේතුවෙන් සෝවියට් රුසියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර යුද්ධයක් ඇවිලීමට පවා ආසන්න වුණා. නමුත් චීනයේ නැගී සිටීමත් සමග ඇමරිකා එක්සත් ජනපදය මේ වන විට ඉන්දියාවේ සමීපතම මිතුරෙක් බවට පත්ව තිබෙනවා.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන  ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *