ලංකාවේ සිදු වුණු සැක සහිත ඝාතන සහ මරණ

අපි අද කතා කථා කරන්න යන්නේ ලංකාවේ සිද්ධ වුණු සැක සහිත ඝාතන සහ මරණ පිළිබඳව. මේ සැක ඇති වුණේ සාමාන්‍ය ජනතාව වගේම ඝාතනයට ලක් වුණු හෝ මරණයට පත්වුණු පුද්ගලයන්ගේ ළඟම ඥාතීන් ඒ සිදුවීම් පිළිබඳව පළකරන ල​ද අදහස් නිසා.

 

1. එස්.ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක

1956 පෙරළියත් එක්ක රටට නව යුගයක් ගෙනාපු බණ්ඩාරනායක මහත්තයාගේ ඝාතනය ඒ මොහොතෙදි කිසිම කෙනෙක්  බලාපොරොත්තු වුණු දෙයක් නම් නෙමෙයි. ඒ ඝාතනය සිද්ධ කළේ තල්දූවේ සෝමාරාම නම් භික්ෂුන් වහන්සේ නමක් කියල කිව්වම මුළු රටම පුදුමයට පත්වුණා. ඒ වෙනුවෙන් පැවැත්වුණු නඩු විභාගයෙන් තල්දූවේ සෝමාරාමට මරණ දණ්ඩනයත්, එම ඝාතනය සිදු කිරීමට අනුබල ලබාදුන්  කැලණිය රජමහා විහාරාධිපති මාපිටිගම බුද්ධරක්ඛිත හාමුදුරුවන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවමකුත් ලබා දුන්නා. නමුත් රටේ පැතිර ගිය මතයක් වුණේ මේ ඝාතනය සිද්ධ කළේ තල්දූවේ සෝමාරාම නෙමෙයි, ඔසී කොරයා නමැති පුද්ගලයෙක් කියලා. පසු කලෙක සිරගෙයි ජේලර්වරයෙක් හෙළි කරපු විදියට මාපිටිගම බුද්ධරක්ඛිත සිරබත් කමින් සිටිය දී බණ්ඩාරනායක ඝාතනයේ ඇත්ත පිළිබඳව පොතක් ලියමින් ඉඳලා තිබෙනවා. හදිස්සියෙම රෝහල් ගත වෙන බුද්ධරක්ඛිත මිය යනවා. ඊට පස්සේ හිරගෙයි ප්‍රධානියෙක් ඒ පොත ගිනි තියනවා. ඉතා මෑතක දී පවා ගංගාරාම විහාරාධිපති පොඩි හාමුදුරුවෝ ප්‍රකාශ කරේ බණ්ඩාරනායක මහතාගේ ඝාතකයා සාමාන්‍ය ජීවිතයක් ගත කරමින් ඉඳලා ස්වභාවිකව මිය ගියා කියලා.

 

2. උපාලි විජේවර්ධන

උපාලි විජේවර්ධන මියගියාද එහෙමත් නැත්නම් අතුරුදහන් ද කියන එක ගැන තවමත් විවාදයක් තියෙනවා. සමහරු කියන විදිහට නම් උපාලි විජයවර්ධන තවමත් රහසිගත ජීවිතයක් ගෙවනවා. උපාලි විජේවර්ධනගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් සෙවීමට පත්කළ කමිටු වලිනුත් එදා එවැනි ගුවන් යානා අනතුරක් සිද්ධ වුණාද නැද්ද කියන එක ගැනවත් හරි තොරතුරක් සොයා ගැනීමට අපොහොසත් වුණා. අතුරුදහන් වීම පිටුප​ස යම් දේශපාලන හස්තයක් තිබ්බා කියලත් ඇතැම් අය සැක පහළ කරනවා. ඒකට හේතුව විදිහට ඒ අය ඉදිරිපත් කරන්නේ උපාලි විජයවර්ධන, ජේ. ආර් ජයවර්ධන මහතාගේ ළඟම ඥාතියෙක් වගේම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ දියණියක් විවාහ කරගෙන සිටීම නිසා ජේ. ආර් ජයවර්ධන තමන්ගේ පසු අනුප්‍රාප්තිකයා ලෙස උපාලි විජයවර්ධන නම් කරන්න සිතාගෙන සිටි බවත්, එයට සිරිමාවෝ මැතිනිය තමන්ගේ සහයෝගය ලබාදෙන්න සිටිය බවත් කියන අදහස. මෙය නොරිස්සූ දේශපාලන බලවේගයක් උපාලි ගේ අතුරුදහන් වීම පිටුපස ඉන්නවා කියලා සැකයක් ඒ දවස්වල රටේ පැතිරිලා තිබුණා.

 

3. ජෙනරල් කොබ්බෑකඩුව

ජෙනරල් කොබ්බෑකඩුවටත් දේශපාලන පවුලක ඥාති සබඳතා තිබුණා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයා වූ හෙක්ටර් කොබ්බෑකඩුව මහතා ඔහුගේ ලඟම ඥාතියෙක් වීම නිසා. එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජයේ ප්‍රධානින් ඔහු දෙස යම් සැකයකින් බැලූ බවට සඳහන් වෙනවා. ඔහු ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වේදැයි යන දෙගිඩියාව ඔවුන් තුළ තිබුණු බව කියවෙනවා. අරාලි තුඩ දී සිදුවුණු බෝම්බ ප්‍රහාරය පිළිබඳව විවිධ කටකතා ජනතාව අතර පැතිරුණා. ඒ කටකතාවලට ජීප් රථයට නැගුණු රණ විරුවෙක් පිළිබඳව කතාවකුත් ඈඳී තිබුණා. ඒ වගේම කොබ්බෑකඩුව මහතා කොළඹට ගෙන යෑමෙන් පසුව ප්‍රතිකාර ලබාදීම හිතාමතා ප්‍රමාද කළ බවකුත් කියැවුණා. කොබ්බෑකඩුව ඝාතනය පිළිබඳව කොමිෂන් සභාවක් පත් කෙරුණත් ඉන් ලැබුණු වාර්තාව ඵල රහිත එකක් බව බොහෝදෙනා විශ්වාස කළා.

 

4. ලලිත් ඇතුලත්මුදලි

ලලිත් ඇතුලත්මුදලි මහතාගේ ඝාතනය පිළිබඳව ඍජුව චෝදනා එල්ල වුණේ රණසිංහ ප්‍රේමදාස මහතාට. මේ නිසා එතුමා බලවත් සිත් තැවුලට පත් වුණු බව කියවෙනවා. මේ චෝදනා නිසා එතුමා “මාව ඝාතනය කළත් මගේ චරිතය ඝාතනය කරන්න එපා” යන සුප්‍රසිද්ධ ප්‍රකාශය සිදු කරා. මෙම ඝාතනය පිළිබඳවත් කොමිෂන් සභාවක් පත් කෙරුණත් ඒ වාර්තාවෙනුත් ඝාතකයන් කව්දැයි නිවැරදිව හඳුනා ගැනීමට අපොහොසත් වූ බවක් කියවෙනවා. ලලිත් ඇතුලත්මුදලි මහතාගේ බිරිඳ වුණු ශ්‍රීමනී ඇතුලත්මුදලි මහත්මිය සිය ජීවිතය අවසාන කාලයේ දී පවා ප්‍රකාශ කළේ ලලිත් ඇතුලත්මුදලි ඝාතනය එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාවක් නොවන බවයි.

 

5. රණසිංහ ප්‍රේමදාස

රණසිංහ ප්‍රේමදාස මහතාට බොහෝ ඝාතන චෝදනා එල්ල වී තිබුණා. නමුත් අවසානයේ දී එතුමාටත් උරුම වුණේ කුරිරු මරණයක්. මෙම ඝාතනයේ වගකීම එල්ටීටීඊ සංවිධානය විසින් භාර ගත්තත් ජනතාව අතර විවිධ කට කතා පැතිර ගියා. සමහරු ප්‍රකාශ කළේ ප්‍රේමදාස මහතා තමන් වෙත අනුකම්පාව ලබා ගැනීමට සැලසුම් කළ බෝම්බ ප්‍රහාර උපක්‍රමයක් වැරදී ඉන් එතුමාවම ඝාතනය වූ බවයි. බෝම්බ ප්‍රහාරයට සුළු මොහොතකට පෙර ප්‍රේමදාස මහතා තමා අත තිබූ ලේන්සුවක් කොඩියක් ආකාරයෙන් වනන ස්වභාවයක් පෙන්වීම ඔවුන් එයට එක් උදාහරණයක් විදිහට දැක්වූවා. ඒ වගේම එම බෝම්බ ප්‍රහාරය එල්ල වීමෙන් පසුව කොළඹ නගර සභාවේ ජල බවුසරයක් මගින් එම ප්‍රදේශය සෝදා හැරීම නිසා වැදගත් සාක්කි යටපත් වී ගිය  බවකුත් කියවුණා.

 

6. ගාමිණී අතුකෝරල

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ ගාමිණී අතුකෝරාල මහතා මුල් කාලයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි හිතවතෙක්. නමුත් රනිල් වික්‍රමසිංහ මහතාගේ  අදූරදර්ශී නායකත්වයට එරෙහිව අභ්‍යන්තර කැරැල්ලක් කරු ජයසූරිය මහතාගේ සහයෝගයෙන් ඔහු මෙහෙයවා තිබුණා. මේ නිසා අවසාන කාලයේදී වික්‍රමසිංහ මහතා ස​හ ඔහු අතර තිබූ සුහදතාවය බිඳවැටී තිබුණා. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට මහ මැතිවරණයේදී ගාමිණී අතුකෝරල මහතා තම පූර්ණ දායකත්වය ලබා දුන්නා. 2002 වර්ෂයේ ජනවාරි ප​ළවෙනිදා ගාමිණී අතුකෝරාල මහතා හදිසියේ මිය ගියේ හෘදයාබාධයක් නිසා. ඒ වනවිට එතුමාගේ වයස අවුරුදු පනහක්. මේ මරණය සැක සහිත මරණයක් බව දේශපාලන ලෝකය තුළ රාවයක් පැතිරුණා. එක් වතාවක දී මංගල සමරවීර මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ඒ පිළිබඳව විශේෂ කොමිසමක් පත් කළ යුතු බවක්. මේ මතවාද ගාමිණී අතුකෝරල මහතාගේ සහෝදරිය වන තලතා අතුකෝරාල මහත්මිය දැඩිව ප්‍රතික්ෂේප කරනවා.

 

7. ශ්‍රීපති සූරියආරච්චි

ලංකාවේ දේශපාලනය තුළ කෙටි කලක් දිලිසි දිලිසී නිවී ගිය තරුවක් වුණේ ශ්‍රීපති සූරියආරච්චි. මහින්ද රාජපක්ෂ මහතා බලයට පැමිණීමේ දී ඔහුට තම සම්පූර්ණ සහයෝගය ලබා දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ගෙන් එක් අයෙක් වූයේ ශ්‍රීපති. නමුත් ඔහු, මංගල සමරවීර සහ අනුර බණ්ඩාරනායක විසින් මහින්ද රාජපක්ෂ මහතාට ම විරුද්ධව අභ්‍යන්තර කැරැල්ලක් මෙහෙය වීම නිසා අමාත්‍යධූරවලින් පහ කරනු ලැබුවා. මීට විරෝධය පෑමක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශවය නමින් වෙනම පක්ෂයක් සෑදීමට ශ්‍රීපති සහ මංගල ක්‍රියා කළා. මේ අතරවාරයේ දී හදිසියේම තඹුත්තේගම ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් ශ්‍රීපති සූරියාරච්චි මිය ගියා. රථය පාලනය කර ගැනීමට රියදුරු අපොහොසත් වීම නිසා ඇතිවුණු මරණයක් ලෙස බැලූ බැල්මට පෙනුණත් බොහෝදෙනා ඒ පිළිබඳව සැක පහළ කළා. එම රථයේ තිරිංග රියදුරුට පාලනය කර ගත නොහැකි වන සේ යම් විද්‍යුත් උපකරණයක් සවි කර තිබූ බවට එවකට පැවති රජයට චෝදනා එල්ල වුණා.

 

එහෙම නම් වෙනදා වගේම මේ ආටිකල් එක පිළිබඳව ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ ප​ළ කරන්න. ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *