ඉංග්‍රීසි නොවන සාහිත්‍යය අපිට සමීප කළ ලේඛක ලේඛිකාවෝ

ලංකාවේ ඉපදුණු බොහෝ දෙනෙක්ගේ දෙවන භාෂාව විදිහට භාවිතා වෙන්නේ ඉංග්‍රීසි. සමහරක් වෙලාවට එංගලන්තෙ සුද්දෙකුට වඩා හොඳට අපේ රටේ මිනිස්සු ඉංග්‍රීසි භාෂාව භාවිතා කරනවා. මේ නිසාම අද වෙනකොට වසංගතයක් වන මට්ටම දක්වාම ඉංග්‍රීසි කෘති සිංහලයට පරිවර්තනය වෙනවා. හැබැයි අවාසනාවන්ත දේ වෙන්නෙ ඇතැම් අවස්ථාවල වෙනත් භාෂාවල කෘතීන් සිංහලයට පරිවර්තනය වෙන්නේ ඒ කෘතියෙහි ඉංග්‍රීසි පරිවර්තනය පාදක කරගෙන වීමයි. ඒ නිසා සිංහලෙන් කියවන පාඨකයාට  මුල් කෘතියේ වැදගත්කම දැනෙන්නේ බොහෝම අල්ප වශයෙන්. අපි අද කතා කරන්න යන්නේ වෙනත් භාෂාවලින් ලියැවුණු කෘතිවල භාෂාව හදාරලා සිංහලයට සමීප කරන්න මැදිහත් වුණු අපේ පරිවර්තක, පරිවර්තිකාවන් කීපදෙනෙක් පිළිබඳව.

 

1. චින්තා ලක්ෂ්මී සිංහාරච්චි 

ඇය උර්දු සහ වංග භාෂාවල ප්‍රවීණත්වය ලබා ගත්තේ ඉන්දියාවට ගොස් ඒ පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් පසුවයි. සත්‍යජිත් රායිගෙ “අපූර්” චිත්‍රපටයට පදනම් වූ විභූතිභූෂණ බන්ද්‍යොපාධ්‍යාය ලේඛකයාගේ නවකතා ත්‍රිත්වය ඇය විසින් සිදුකරන ලද පළවෙනි පරිවර්තන කාර්යය විදිහට සඳහන් කරන්න පුළුවන්. ඛලීල් ජිබ්රාන්ගේ “ඉසිවරයා” පොත උර්දු බසින් ඇය විසින් පරිවර්තනය කරන ලද්දක්. ඇයට පාඨකයන්ගේ උණුසුම් ප්‍රතිචාර ලැබුණත්. විචාරකයන්ගෙන් සහ සාහිත්‍ය බූදල් කාරයන්ගෙන් නම් ඇයට නිසි ඇගයුමක් ලැබුණේ නැහැ.

 

2. ඉන්ද්‍රානි රත්නසේකර 

ස්පාඤ්ඤ සාහිත්‍යය ලාංකීය පාඨකයන්ට සමීප කරන්න දායක වුණු ප්‍රධානම සම්පත් දායිකාව විදිහට ඉන්ද්‍රානි රත්නසේකර මහත්මියව හඳුන්වන්න පුළුවන්. ඇය අතින් ස්පාඤ්ඤ සාහිත්‍ය කෘති ගණනාවක් සිංහලයට පරිවර්තනය වුණා. මීට වසර කීපයකට පෙර ලංකාවේ තිරගත වුණු “නෙලා” චිත්‍රපටය සඳහා පදනම් වුණේ ඇය විසින් ස්පාඤ්ඤ භාෂාවෙන් පරිවර්තනය කරන ලද නවකතාවකුයි. මීට අමතරව ඇය විසින් සිදුකරන ලද ස්පාඤ්ඤ කාව්‍ය පරිවර්තනත් සම්මානයටත් පාත්‍ර වුණා.

 

3. දැදිගම වී රොද්‍රිගෝ

කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙක් වුණු රොද්‍රිගෝ, රුසියාවට ගියේ දේශපාලන සමුළුවකට සහභාගිවීම සඳහායි. එහිදී ඔහුගේ හදවත රුසියාවේම නතර වුණා කිව්වොත් නිවැරදියි. ඒ ඔහු රුසියානු ජාතික කාන්තාවක් සමඟ පෙමින් බැඳීම නිසයි. පසුකලක රුසියානුවෙක් තරමට රුසියානු භාෂාව පිළිබඳ ප්‍රමාණිකයෙකු වූ රොද්‍රිගූ අතින් ප්‍රකට සෝවියට් ලේඛකයන්ගේ කෘති රැසක් සිංහලයට පරිවර්තනය වුණා.

 

4. ඩී. පී සමරසිංහ 

හින්දි සිනමාව අපේ රටේ ප්‍රේක්ෂකයාට කොයි තරම් සමීප වුණත් හින්දි සාහිත්‍යය පාඨකයන්ට එතරම් සමීප නැහැ. බොහෝ අවස්ථාවල අපිට කියවන්න ලැබෙන පරිවර්තිත හින්දි සාහිත්‍ය නිර්මාණයන් ආරම්භයේ සඳහන් කළා වගේම ඉංග්‍රීසි භාෂාවෙන් පෙරිලා එන නිර්මාණ. ඒ වගේ පසුබිමක දී ඩී. පී සමරසිංහ සිදු කර තිබෙන මෙහෙය සුවිශේෂයි. ඔහු විසින් මේ වෙනකොට හින්දි නවකතා සහ කෙටිකතා දහයකට අධික ප්‍රමාණයක් සිංහලයට පරිවර්තනය කරල තියනවා.

 

5. ආරිය රාජකරුණා 

මෙතුමාගේ විශේෂත්වය වන්නේ ඇතැම් කෘති ජපන් බසින් සිංහල භාෂාවට පරිවර්තනය කිරීම පමණක් නෙමෙයි. එතුමා ඇතැම් ජපන් නිර්මාණ ඉංග්‍රීසි භාෂාවටත් පරිවර්තනය කරලා තියෙනවා. ඒ වගේම නවකතා, කාව්‍ය ග්‍රන්ථවලට විතරක් සීමා වෙන්නැතුව ජපන් චිත්‍රපටි තිරනාටක පවා මෙතුමා අතින් පරිවර්තනය වීම තවත් සුවිශේෂී කාරණයක් විදිහට මතු කරන්න පුළුවන්.

 

6. අශානි ශාලිකා රණසිංහ 

ජර්මන් භාෂාව පිළිබඳ ව සරසවි ආචාර්යවරියක විදිහට කටයුතු කරන අශානි ශාලිකා, ජර්මන් බසින් සිංහලයටත් සිංහලෙන් ජර්මන් බසටත් කෘති පරිවර්තනය කිරීමේ කාර්‍යයේ නිරතව ඉන්නවා. ඇය සඳහන් කරලා තියෙන්නේ බොහෝ දෙනෙක් ජර්මන් කියන්නේ ඉගෙන ගන්න වගේම භාවිතා කරන්න අපහසු  භාෂාවක් විදිහට සැලකුවත්, ඒ භාෂාව සිංහලයට සමීප බවයි. මේ නිසා පරිවර්තන කාර්යය වඩාත් පහසුවක් වුණා කියන එකයි ඇගේ මතය.

 

7. මඩුළුගිරියේ විජේරත්න

සිංහල පාඨකයෝ බොහෝදෙනෙක් පරිවර්තන ඇති තරම් කියවනවා වුණාට අපේ අසල්වැසි දෙමළ ජනතාවගේ සාහිත්‍ය කෘති පිළිබඳව ඔවුන්ට තියෙන අවබෝධයේ තරම ගැන විශේෂයෙන් අපි සඳහන් කරන්න ඕන නැහැයි කියලා හිතනවා. ඒ වගේම කීදෙනෙක් මඩුළුගිරියේ විජේරත්න කියන නම අහල තියෙනවද කියන එකත් සැකයි. රාජ්‍ය මැදිහත්වීමකට  පවා කරන්න බැරි තරමේ සේවයක් මඩුළුගිරියේ විජේරත්න සිදුකරනවා. ඒ දෙමළ සාහිත්‍යය කෘති සිංහලයට පරිවර්තනය කිරීම මගින්. ඒ වගේම දෙමළ ජාතිකයන් අතර බුදුදහම ප්‍රචාරය කිරීම කෙරෙහි එතුමා දක්වන දායකත්වය විශේෂයෙන් සඳහන් කරන්න ඕන.

 

මේ ලිපිය ඇතුළේ මේ ලේඛක ලේඛිකාවන්ගේ සාහිත්‍ය නිර්මාණ පිළිබඳව වැඩි යමක් සඳහන් කිරීමෙන් අපි හිතාමතාම වැළකුණා. ඊට හේතුව වන්නේ ඉදිරියේදී මේ ලේඛකයන් සහ ඔවුන්ගේ සාහිත්‍ය නිර්මාණ පිළිබඳව සවිස්තරාත්මකව ලිපි පෙළක් අපි ලියන්න බලාපොරොත්තු වීම නිසා.

 

එහෙම නම් නම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්නටද අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *