පක්ෂ මාරු කිරීමට ජනප්‍රිය ලංකාවේ දේශපාලකයින් 7 දෙනෙක් ගැන තමයි අද අපි කියන්න යන්නේ. එහෙමනම් ඉතින් වැඩිදුර කතා බතා නැතුව අපි අපේ මාතෘකාව පැත්තට යමු.
1. රොනී ද මෙල්
මීට අවුරුදු තිහ හතලිහකට කලින් අඩුම ගාණේ වසර පහකට වතාවක් වත් අනිවාර්යෙන්ම පුවත්පත්වල දකින්න ලැබෙන සිරස්තලයක් තිබ්බා. ඒ තමයි “රොනී පනී” කියන සිරස්තලය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක්සත් ජාතික පක්ෂයටත්, එක්සත් ජාතික පක්ෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් පැන පැන හිටපු රොනී ද මෙල්, ජේ. ආර් ජයවර්ධන රජයේ මුදල් අමාත්‍ය ධූරය ලැබීමත් සමග ස්ථාවර වුණා. හැබැයි ඒ රණසිංහ ප්‍රේමදාස ජනාධිපති ධුරයට පත් වෙනකල් විතරයි. ප්‍රේමදාස එක්ක තිබ්බ ගැටුම් නිසා ලංකාව හැර ගිය රොනී ද මෙල් නැවත ලංකාවට ආවේ ප්‍රේමදාසගේ ඝාතනයෙන් පස්සේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයේ අමාත්‍ය ධූරයක් භාරගත්ත රොනී ද මෙල් පස්සේ නැවතත් එක්සත් ජාතික පක්ෂයට එකතු වුණා. පස්සේ මහින්ද රාජපක්ෂට සහාය පළ කරලා නැවතත් හුරුපුරුදු එක්සත් ජාතික පක්ෂයට ගිය රොනී ද මෙල් මේ වෙනකොට විශ්‍රාම සුවයෙන් කාලය ගත කරනවා.
2. වසන්ත සේනානායක
රොනී ද මෙල් ගේ මේ වාර්තාවට අභියෝග කරන්න පුළුවන් ආකාරයේ එකම එක පුද්ගලයයි ඉන්නේ, ඒ තමයි වසන්ත සේනානායක. තමන්ගේ සීයා ආරම්භ කරපු එක්සත් ජාතික පක්ෂයෙන් නැතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලන ගමන ආරම්භ කරපු වසන්ත සේනානායක මහින්ද රාජපක්ෂගේ අවසාන ධුර කාලයේදී ඔහුට විරෝධය පළ කරමින් මෛත්‍රීපාල සිරිසේනට තමන්ගේ සහයෝගය ලබා දුන්නා. ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. නමුත් 2018 වසරේ දී නැවත මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් කිරීමට මෛත්‍රීපාල සිරිසේන තීරණය කිරීමත් එක්ක වසන්ත සේනානායක ඉන්නෙ මොන පක්ෂයේද කියලා සමහරක් විට වසන්ත සේනානායකටත් තේරුම් ගන්න බැරි වෙන්න ඇති. මොකද විවිධ අවස්ථාවල ඔහු කැබිනට් ඇමතිවරයෙක් විදිහට වගේම එක්සත් ජාතික පක්ෂයේ රැස්වීම්වලත් හිටියා. අවසානයේදී ජනාධිපතිවරණයේදී නම් ඔහු ගෝඨාභය රාජපක්ෂට තමන්ගේ සහයෝගය ලබාදුන්නා.
3. මර්වින් සිල්වා
මර්වින් සිල්වා කියන්නෙත් පැනිල්ලට කප් ගහපු කෙනෙක්. මුලින් ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක් වුණු මර්වින්, චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ විජය කුමාරතුංග ඇතුළු පිරිස නිදහස් පක්ෂය කඩාගෙන මහජන පක්ෂය හදද්දි ඒ පක්ෂයට යනවා. ඊට ටික කාලේකට පස්සේ නතර වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය මගින් නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන්න උත්සාහ කරපු අවස්ථාවේදී මර්වින් නැවතත් එක්සත් ජාතික පක්ෂය අත්හැරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වෙනවා. ඊට පස්සේ ඔහු මහින්ද රාජපක්ෂගේ දෙවැනි ධුර කාලය අවසන් වෙනකල් මහින්ද රාජපක්ෂගේ සමීප හිතවතෙක් ආකාරයට කටයුතු කරනවා. ඔහු නිසා ම මහින්ද රාජපක්ෂ රජයට විවිධ චෝදනා එල්ල වෙනවා. මහින්ද රාජපක්ෂගේ පරාජයත් සමඟ වෙස් මාරු කර ගන්න මර්වින් සිල්වා නැවතත් එක්සත් ජාතික පක්ෂයට එකතු වෙනවා. හෙට වෙද්දි ඔහු කොතැනක ඉඳීද කියලා දන්නේ මර්වින් සිල්වාම තමයි
4. රාජිත සේනාරත්න
මෑත කාලයේදී පත්වෙච්ච සියලුම ජනාධිපතිවරුන් යටතේම රාජිත සේනාරත්න අමාත්‍යධූරයක් දරල තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ යටතේත් සමහර විට ඉදිරියේදී ඔහු අමාත්‍ය ධූරයක් දරාවී. විජය කුමාරතුංග එක්ක මහජන පක්ෂයෙන් දේශපාලනයට පිවිසෙන රාජිත සේනාරත්න, ඩී.බී විජේතුංග ජනාධිපතිවරයාගේ සමයේදී එක්සත් ජාතික පක්ෂය සමග එකතු වෙනවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහගේ සමීප හිතවතෙක් බවට පත්වෙනවා. කොටින්ම චන්ද්‍රිකා බණ්ඩාරනායක සමයේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රාජිත සේනාරත්නගේ මන්ත්‍රී ධුරය අහෝසි කරද්දී නැවතත් ඔහුව ජාතික ලැයිස්තුවෙන් පත් කරන්න තරම් රනිල් වික්‍රමසිංහට වටිනා පුද්ගලයෙක් බවට රාජිත සේනාරත්න පත් වෙලා ඉන්නවා. මහින්ද රාජපක්ෂ බලයට පත් වීමත් එක්ක ඔහුගේ දෑත ශක්තිමත් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වෙන රාජිත, ඊට පස්සේ මෛත්‍රීපාල සිරිසේනව දිනවීමට කටයුතු කරනවා. තාම නම් ඔහු ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ අපි ඉස්සරහට බලමු මොකද වෙන්නේ කියලා.
5. නන්දන ගුණතිලක
අනෙකුත් පක්ෂ එක්ක සාපේක්ෂව බලද්දී ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් පාර්ලිමේන්තුවට පිවිසීමත් එක්ක පක්ෂ මාරු කරලා තියෙන්නෙ ඉතාමත් සීමිත අවස්ථා කිහිපයක. නමුත් වතාවක් එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයෙකු වුණු නන්දන ගුණතිලකගේ කතාව නම් පොඩ්ඩක් විතර වෙනස්. මුලින්ම ඔහු ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකත්වයෙන් ඉවත් වෙනවා. ඊට පස්සේ විමල් වීරවංශ ඇතුළු පිරිස ජාතික නිදහස් පෙරමුණ නිර්මාණය කරද්දි ඒ පෙරමුණේ සාමාජිකයෙක් විදිහට එකතු වෙලා ඒ හරහා මහින්ද රාජපක්ෂ රජයේ අමාත්‍ය ධූරයක් පවා ලබාගන්නවා. පස්සේ අභ්‍යන්තර ගැටුමක් නිසා ජාතික නිදහස් පෙරමුණෙන් ඉවත් වෙන නන්දන ගුණතිලක, මහින්ද රාජපක්ෂගේ ආශිර්වාදය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන පානදුර ප්‍රදේශය මූලික කර ගනිමින් දේශපාලන ගමනක් යනවා. හැබැයි මේ වෙනකොට ඔහු දැන් නතර වෙලා ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ.
6. දයාසිරි ජයසේකර
දයාසිරි ජයසේකර තමන්ගේ දේශපාලන ගමන පටන් ගන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානයෙන්. එස්.බී දිසානායක පක්ෂය හැර යාමත් එක්ක එක්සත් ජාතික පක්ෂය සමග සම්බන්ධ වෙන දයාසිරි ජයසේකර කෙටි කාලයක් තුළ එම පක්ෂයේ ජනප්‍රිය පුද්ගලයෙක් බවට පත් වෙනවා. දිගින් දිගටම රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකත්වයෙන් ඉවත් විය යුතුය යන ස්ථාවරයේ සිටින දයාසිරි ජයසේකර අවසානයේදී මහින්ද රාජපක්ෂගේ ඉල්ලීම පිළිගෙන වයඹ පළාත් සභාවේ මහ ඇමති ධූරය සඳහා තරග වැදීමට එක්සත් ජාතික පක්ෂයේ සියලුම තනතුරුවලින් සහ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙනවා. ඉන්පස්සෙ ඔහු වයඹ පළාත් සභාවේ මහ ඇමති බවට පත්වෙනවා. ඊළඟට ඔහුට පාර්ලිමේන්තු මහ මැතිවරණයට මුහුණ දෙන්න වෙද්දී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා බවට පත් වී අවසන්. ජනාධිපතිවරණ සමයේ තුළදී “හිටන් හුටන්” ලෙස මෛත්‍රීපාල සිරිසේනව උපහාසයට ලක් කරපු දයාසිරි ජයසේකර මහින්ද පාර්ශවය නියෝජනය කරමින් මැතිවරණය සඳහා ඉදිරිපත් වෙනවා. නමුත් මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පස්සේ මෛත්‍රීපාල සිරිසේනට තමන්ගේ සහයෝගය ලබා දෙන්න ඔහු කටයුතු කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන මහ ලේකම්වරයාද වන ඔහුගේ දේශපාලන අනාගතය ඊළඟ මහ මැතිවරණයෙන් පස්සේ තීරණය වේවි.
7. මෛත්‍රීපාල සිරිසේන
පැනිලි දෙකක් කරලා මුළු ලංකාවෙන්ම බැනුම් අහපු වාර්තාවට හිමිකම් කියන එකම දේශපාලනඥයා තමයි මෛත්‍රීපාල සිරිසේන. මෙතුමා ගේ පැටිකිරිය නම් ආයේ අමුතුවෙන් අපි කියන්න ඕන කියලා හිතන්නේ නැහැ. කොමියුනිස්ට් පක්ෂයේ චීන පිලේ සාමාජිකයෙක් විදිහට තමන්ගේ දේශපාලන ගමන ආරම්භ කරපු මෛත්‍රීපාල සිරිසේන පස්සෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වෙනවා. කෙමෙන් කෙමෙන් පක්ෂයේ ඉහළට යන ඔහු අවසානයේ එම පක්ෂයේ මහ ලේකම්වරයා බවටත් පත් වෙනවා. මුළු ලංකාවම හොල්මන් කරමින් පක්ෂ සභාපති මහින්ද රාජපක්ෂට එරෙහිව ජනාධිපති සටනට පිවිසෙන මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කරනවා. නමුත් ඊට වසර කීපයකට පස්සේ තමන්ව ජයග්‍රහණය කිරීමට මුල්වුණු එක්සත් ජාතික පක්ෂයට පිටුපාලා නැවතත් මහින්ද රාජපක්ෂව තමන්ගේ අග්‍රාමාත්‍යවරයා බවට පත් කරනවා. මේ වෙන කොට ඔහු නැවතත් මහින්ද රාජපක්ෂ සමග සන්ධානගත වෙලා මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ මහින්ද රාජපක්ෂ ගේ සමීපතමයන්ගේ විරෝධතා මැද්දේ.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආර්ටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා
Leave a Reply