ලංකාවේ අතිශයින් ජනප්‍රිය වුණු පුවත්පත් තීරු ලිපි

අද වෙනකොට පුවත්පත් කියවීම ශීඝ්‍රයෙන් අපි අතරින් අඩු වේගෙන යනවා. ඒකට හේතු ගණනාවක් තියෙනවා. එකක් තමයි අන්තර්ජාලය හරහා යම්කිසි ප්‍රවෘත්තියක් අසුරු සැණින් ලබා ගැනීමේ හැකියාව. ඊට අමතරව රූපවාහිනී සහ ගුවන්විදුලි මඟින් මගින් පත්තරේ විස්තරේ කියැවීමත් මේකට එක හේතුවක් උනා කියල කියන්න පුළුවන්. හැබැයි මේ නිසා පාඨකයන්ට අහිමි වෙලා යන දෙයක් තමයි තීරු ලිපි කියවීම. යම්කිසි පිළිගත් පුවත්පත් කලාවේදියෙක් හෝ සමාජ ක්‍රියාකාරිකයෙක් වෙනුවෙන් එක දිගට වෙන්වන ඉඩ කඩට තීරු ලිපියක් කියලායි කිව්වේ. අපි අද ලංකාවේ අතිශයින් ජනප්‍රිය වුණු තීරු ලිපි කීපයක් ගැන මතකය අවදි කර ගමු.

 

1. වගතුග 

වගතුග කියන්නේ ලංකාවේ තීරු ලිපි කලාවේ සංධිස්ථානයක්. ලංකාදීප පුවත්පත සඳහා මෙම තීරු ලිපිය ලිව්වේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ. එදිනෙදා සිදුවීම්වල ඉඳන් සාහිත්‍ය කලා වගේ විවිධ ක්ෂේත්‍ර ගැන වගතුග තීරුවෙන් මානවසිංහ කතා කළා. ඒ වගේම ඔහුට තිබුණේ විචිත්‍රවත් භාෂා ව්‍යවහාරයක්. සමහර වගතුග තීරු ලිපි ගමේ ගොඩේ භාෂාවෙන් ලියවෙද්දී, සමහරක් ලිපි හුදු හෙළුවෙන් වගේම සංස්කෘත මිශ්‍ර භාෂාවකිනුත් ලියවුණා. ඒ වගේම සමහර දවසට වගතුග තීරු ලිපිය විදිහට පාඨකයන්ට කියවීමට ලැබුණේ රසබර කවි පෙළක්.

 

2. දයාසේන ගුණසිංහගේ තීරු ලිපි 

දයාසේන ගුණසිංහ කියන්නේ තීරු ලිපි කලාවේ විශිෂ්ටයෙක් වගේම එතෙක් මෙතෙක් ලංකාවේ පුවත්පත් කලාව තුළ බිහිවුණු විශිෂ්ටයෙක්. ඔහු තමන්ගේ පත්තර ජීවිතය තුළ රයිගම් රාළ, සීයාගේ කොළම, උකුස්සා, භූත රිපෝටර්, හලෝ හලෝ වගේ තීරු ලිපි ගණනාවක් රචනා කළා. මේ ඇතැම් තීරු ලිපි අතිශයින් උපහාසාත්මක ස්වරයෙන් ලියැවෙද්දී ඇතැම් තීරු ලිපි මගින් දයාසේන ගුණසිංහ ලංකාවේ මිනිස්සුන්ට මුහුණ දෙන්න වෙන ගැටළු ගැන පොදු ජනතාවගේ දෘෂ්ටිකෝණයෙන් ලිව්වා.

 

3. හෑල්ල 

ඩේවිඩ් කරුණාරත්න පිළිබඳව අද පරම්පරාවට අමතක වෙලා තිබුණත් ඔහු කොතරම් විශිෂ්ටයෙක්ද කියන එක වටහා ගන්න රොබට් නොක්ස්ගේ ‘An Historical Relation of the Island Ceylon’ කියන කෘතිය “එදා හෙළදිව” නමින් කරපු පරිවර්තනය වුණත් ප්‍රමාණවත්. නමුත් පුවත්පත් කලාවේදියෙක් විදිහට ගත්තොත් එය ඔහුගේ පරිවර්තක භූමිකාවටත් වඩා සාර්ථකයි. ඔහු දවස සහ රිවිරැස කියන පුවත්පත්වල සංස්කාරක විදිහට සේවය කරද්දී තමයි “හෑල්ල” නම් තීරු ලිපිය ලියන්නෙ. ඒ වගේම අනිත් විශේෂත්වය වුණේ මේ තීරු ලිපිය පුරාම තිබුණේ එකම එක වාක්‍යයක් පමණක් වීමයි.

 

4. රංචාගොඩ ළමයා 

සමහරවිට රංචාගොඩ ළමයාව මේ ලැයිස්තුවට දාපු එක ගැන අපේ සමහර මිත්‍රයෝ කැමති වෙන එකක් නැහැ. සමහරු කියයි රංචාගොඩ ළමයා ලිවුවේ කවියෙන් කියලා. අපිට අහන්න තියෙන්නෙ කවිවලින් තීරු ලිපි ලියන්න බැරිද කියන එක විතරයි. ‘ඇත්ත’ පත්තරේ රංචාගොඩ ළමයා උනේ සිරිලාල් කොඩිකාර. එක්සත් ජාතික පක්ෂ රජයට, විශේෂයෙන්ම ප්‍රේමදාසට රංචාගොඩ ළමයා කවියෙන් කස පහර දුන්නා.

 

5. යසයාගේ වාක්කිය

යසවර්ධන රොද්‍රිගෝ යසයාගේ වාක්කිය නමින් ලක්බිම සහ අද පුවත්පත් වලට තීරු ලිපි රචනා කළා. මේ තීරු ලිපි වල තිබ්බ එක ලක්ෂණයක් වුණේ හැම තීරු ලිපියකම මාතෘකාව “ල්ල” (ගැලවිල්ල, රැවටිල්ල වගේ) අකුරු දෙකෙන් ඉවර වීමත්, සෑම වාක්‍යයක්ම “ය” අක්ෂරයෙන් අවසන් වීමත්. ඒ වගේම මේ සෑම තීරු ලිපියක් සඳහාම ඔහු භාවිතා කරලා තිබ්බේ සරල සුගම බස් වහරක්.

 

6. ආගිය කතා

 

මහින්ද අබේසුන්දරව අවසාන කාලයේදී බොහෝ දෙනාට ප්‍රිය චරිතයක් වුණේ නැහැ. හැබැයි ලංකාවේ අපක්ෂපාතීයි කියන බොහෝ මාධ්‍යවේදීන්ට වඩා මහින්ද අබේසුන්දර හොඳයි කියලත් නොකියා බැහැ. ඔහු ලියපු ආගිය කතා කියන්නේ සිනාව පිරුණු තීරු ලිපි පෙළක්. ඒ වගේම ‘සෙස්ස පස්සට’ තීරු ලිපියත් සෑහෙන්න ජනප්‍රසාදයක් ලබා ගත්තා. හැබැයි අයි ටී.එන් එක සඳහා රචනා කරපු ‘විමසුම’ පිටපත නිසා ඔහු ජනතා අප්‍රසාදයටත් ලක් වුණා.

 

7. මානිගේ තීරුව 

මානිගේ තීරුව කියන්නේ අද ලංකාවේ ජනප්‍රියතම තීරු ලිපිය කිව්වොත් වැරැද්දක් නැහැ. දිවයිනෙන් පටන් ගත් මානිගේ තීරුව පස්සෙ කාලෙදි ලක්බිමට සංක්‍රමණය වුණා. දැන්නම් මේ තීරුව සයිබර් අවකාශය තුළත් කියවන්න ලැබෙනවා. සමහර තීරු ලිපිවලින් අනාගතය දිහා උපහාසයෙන්  බලපු අවස්ථා ඒ විදිහට සිද්ධ වීමත් එක විදිහක පුදුම හිතෙන වැඩක්. තව පොඩ්ඩෙන් තීරු ලිපිය ලියන කෙනාගේ නම කියන්න අමතක වෙනවා. ඒ තමයි සුන්දර නිහතමානී ද මැල්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුන්දර සහ නිහතමානී චරිතයක්

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් කමෙන්ට් එකකින් පළ කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *