බව්වෙක් පූසෙක් නැත්තම් ටැංකියක් අස්සේ ඉන්න මාළු දණ්ඩෙක් නැති ගෙදරක් හොයාගන්න නැති තරම්. සුරතල් සත්තු ඒ තරමට ම ජීවිතේට සමීප වෙලා. මොකද්ද මෙච්චර ම තියෙන විශේෂය? ගෙදර අනික් අය එක්ක කතා කරනවට වඩා සත්තු එක්ක කතා කරලා ඉන්න උදවිය ඕනි තරම්. ඉතින් ඇයි මෙච්චර දෙයක්? සතා වුණත් සුරතල් නිසා ම නම් නෙවෙයි. තවත් හේතු තියනවා. මේ ලිපිය මූලික ව ම කතා කරන්නේ කාගෙත් සුරතල්ලු වන බල්ලො පූසෝ අදාළ කරගෙනයි.
1. ආදරය
මිනිස්සු විදියට ආදරය කරන්න සහ ලබන්න තියෙන පිස්සුව වගේ අනන්ත ගුණාකාරෙක අවශ්‍යතාවක් ඔයාගෙ ගෙදර ඉන්න බලු පැටියට තියෙනවා. උන්ට ඇත්තට ම කතා කරන්න විතරයි බැරි. අනෙක් හැම ඉරියව්වකින් ම ආදරය තමයි පෙන්නන්නේ. සමහර බල්ලෝ වලිගෙ වනනවා කොයි වෙලේ ගැලවිලා වැටෙයි ද කියන්න දන්නේ නැහැ. මේ ආදරය පෙන්වන්නේ මහා ලොකු ඉල්ලන්න බැරි දේවල් බලාපොරොත්තුවෙන් නම් නෙවෙයි. පෙරළා ආදරයක් තමයි සත්තු අපෙන් බලාපොරොත්තු වෙන්නේ. එහෙම ආදරයක් ගැන කතන්දරවල අහලා තිබ්බට දැකලා නැති අයට කරන්න තියෙන්නේ සුරතලෙක් හදාගන්න එකයි. ඉඳලා හිටලා මස් කට්ටකටත් මේ කැටයම් ටික දාන අය ඉන්නවා ඉතින්.
2. තනිකමට තනි රැකීම
දැන් ගෙවල් එන්න එන්න විශාල වෙනවා. කාමර අතර දුරස්ථභාවය වැඩි වෙනවා. ඒ කාමරත් නිකන් ගෙවල් වගේනේ සාන්ත. ඉතින් මිනිස්සුන්ට ඒවා අස්සට වෙලා කරන්න වෙන ම වැඩ තියෙනවා. අනික් මිනිස් සම්බන්ධතා ඔක්කොම ඒ වැඩ නිසා බිඳ වැටෙනකොට තනිකමක් පාළුවක් දැනෙන එක සාධාරණයි. ඒ වෙලාවට හොරෙන් හොරෙන් කාමරේ අස්සට ම එනවා සුරතලා. එළෙව්වට යන්නෙත් නෑ කකුල් දෙක ළඟ බිමට වෙලා වැටිලා අපේ මූණ දිහා බලන් ඉන්නවා. ලොකු ලොකු කතන්දර කියන්න හදනවා. ඒ දිහා බලන් ඉද්දි නිකන් ම තනිකම නැති වෙලා යනවා.
3. ආතතිය නැති කිරීම
ගෙදර ප්‍රශ්න, රැකියා ආයතනයේ ප්‍රශ්න වගේ ම දැන් දැන් හැම තැනම තියෙන රටේ ප්‍රශ්න නිසා ආතතියේ ලෙවල් නහුතෙට නගිනවනේ. ඉතින් අන්න එතකොට බෙහෙත් පෙත්තක් වගේ තමයි සුරතල්ලු වැඩ කරන්නෙ. එයාලා දිහා බලන් ඉන්නකොට ප්‍රශ්න ටිකින් ටික අපිට අමතක වෙලා යනවා. සුරතල් සතුන් හිමි අය අනික් පුද්ගලයන්ට සාපේක්ෂව මනා රුධිර පීඩනයක් තියෙන මානසික වශයෙන් ඉතාම නිරෝගි, හැම වෙලේම සතුටින් ඉන්න පුද්ගලයන් කියලා පරික්ෂණ කීපයකින් ම අනාවරණය වෙලා තියෙනවා.
4. මිතුරන් සාදා ගැනීමට උපකාර කිරීම
පුංචි කාලේ තමයි ඉස්කෝලෙට හෙම බාර දෙන්න යනකොට යාළුවෝ හොයලා දීලා ඒ සම්බන්ධයෙන් ඔක්කොම රාජකාරි දෙමව්පියන් අතින් සිද්ධ වෙන්නේ. හැබැයි එහෙම පොරොන්දන් ගලපනවා වගේ හොඳ යාළුවෝ හොයාගන්න ඇත්තට ම සහයක් අවශ්‍ය වෙන්නේ ටික ටික වයසට යනකොටයි. බල්ලත් එක්ක පොඩ්ඩක් ඇවිදින්න එහෙම යනකොට එක එක විදියේ ආගන්තුකයන් මිත්‍රයන් බවට පත් වෙනවා. හුරුබුහුටි බල්ලෙක් නම් ගෑල්ලමයෙක් වුණත් ළඟට ඇවිල්ලා කතා කරලා යන්න ඉඩ තියෙනවා.
5. ආරක්ෂාව සැපයීම
සුරතල් සත්තු හැදීමේ සමහරුන්ගේ ඒකායන අරමුණ තමයි ආරක්ෂාව. හැබැයි වෙලාවකට හැම දේම පැත්තක තියලා සතාව ආරක්ෂා කරන්න අපිට යන්න වෙන අවස්ථා තියනවා. හපන්නේ නැතත් බුරන්න හරි බලු දණ්ඩෙක් ඉන්න එක කොච්චර දෙයක් ද? කවුරුත් ගෙදර නැති වෙලාවක ළඟට ම වෙලා පුරු පුරු ගගා ඉන්න පූසත් එවෙලෙට දෙයියෙක් තමයි. තනිකමට බය වුණාම ලැබෙන ආරක්ෂාවත් ඇත්තට ම හොර හතුරෙක්ගෙන් ආරක්ෂා කර ගැනීමත් කියන දෙකම මෙතෙනට අයිතියි.
6. මනා ශාරීරික යෝග්‍යතාවට රුකුලක් වීම
ව්‍යායාම කිරීම සම්බන්ධයෙන් මිනිස්සු ඉතාම පසුගාමී වෙන්න හේතුව තමයි අරමුණක් නැති වීම. ඒ නිසාම හෙනම කම්මැලි වීම. දෛනික අවශ්‍යතාවක් වුණාම නම් ඉතින් දෙයක් නොකර බැරි වෙනවනේ. අන්න ඒ වෙලාවට සුරතල් බල්ලා පිහිටට එනවා. දැන් ඔය තරමක් දුරට හොඳ වර්ගයක බල්ලෙක් හෙම ඉන්නවා නම් ඒ යකාව ගේ අස්සේ තියන් හරියන්නේ නැහැ. ක්‍රියාකාරී වෙන්න අවශ්‍යයි. ඉතින් බල්ලව ඇවිද්දවන්න එක්කන් යන්න වෙනවා. ඒකට යනකොට ඉබේම තමන්ටත් ව්‍යායාමයක් එනවා ඇඟට.
7. වගකීම් සහගත මිනිසුන් බිහි කිරීම
ඔව්. එහෙම එකකුත් කරනවා. ඒ කොහොමද කියනවා නම් තේ බීපු කෝප්පේ හෝදන්නැතුව හිටපු කොල්ලා බල්ලව ඇදගෙන ගිහින් නාවන තැනට, මාලු ටැංකිය සුද්ධ කරන තැනට පවා පත් වෙනවා. සතාට බෙහෙත් විදපු විස්තර, ගත්තු බෙහෙත් ගැන පිළිවෙළට සඳහන් කරගන්නවා. සතාට සමහර දේවල් උගන්වන්න උත්සාහ කරනවා. ගෙදරට අමුත්තන් වෙන වෙලාවට සද්ද දාන බල්ලට බය නොවී අමුත්තන්ව ගෙට ගන්න වැඩ කරනවා. ඉතින් එතනම වගකීම් සමුදායක් නොදැනීම කරන්න පුරුදු වෙනවා.
Leave a Reply