කවුරුත් බොරුකාරයෙක් වෙන්න කැමති නෑනේ. කවුරුත් කියන්නෙ බොරු කියන්න එපා කියලනේ. හැබැයි ඇත්තටම අපිට සමහර වෙලාවට බොරු කියන්න සිද්ධ වෙන කාරණා යෙදෙනවා. ඔය වයිට් ලයිස් කියන්නේ. අන්න ඒ ජාතියේ එව්වා. හැබැයි ඉතින් සාමාන්‍යයෙන් අපි බොරු කියනවනේ. ඒක ඉතින් අපි හැමෝම පිළිගන්න දෙයක්නේ. හැබැයි ඔය බොරු කියන එක ලේසි වැඩක් නෙවෙයි. සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක් බොරු කියනකොට අතේ මාට්ටු වෙනවා. ඒත් ඉතින් හදිසි අවස්ථාවකට හරි අහු නොවෙන්න බොරුවක් කියන්න ඉගෙන ගෙන තියන එකත් හොඳයිනේ. අඩු ගාණේ පාර්ලිමේන්තුවට හරි යන්න බැරියැයි. අන්න ඒ නිසා, අපි හිතුවා, සාර්ථක බොරු කාරයෙක් වෙන්නේ කොහොමද කියලා විනාඩි කීපයක ටිප්ස් ටිකක් ලබාදෙන්න!
1. හේතුවක් තියාගන්න!
මෙන්න මේක තමයි පළවෙනි කාරණාව. බොරුවක් කියනවා නම්, ඒකෙන් තමන්ට හෝ තමන්ට අදාළ කෙනෙක්ට දෙයක් ලැබෙන්න ඕන. එහෙම නැතුව ආතල් එකටයි, තමන් බොරු කියන්න ඇබ්බැහි වෙලා හින්දයි බොරු කියන්න ගියොත් වෙන්නේ, තමන්ව ඉතාම ඉක්මනට බොරුකාරයෙක් කියලා අහුවෙන එක. වෙන විදියකට කියනවා නම්, හොඳ බොරුකාරයෙක්ගේ ප්‍රධාන රහස තමයි කලාතුරකින් බොරුවක් කීම. ඒ බොරුව කියන්නෙත් ඒක කියලා තමන්ට ලබාගන්න දෙයක් තියෙන නිසා මිසක්, පුරුද්දට හෝ ආතල් එකට නොවීම. අන්න ඒ නිසාම, එහෙම කෙනෙක්ව බොරුකාරයෙක් කියලා කෙනෙක් ලේසියෙන් සැක කරන්නෙ නෑ. හැබැයි අනික් අතට ඔය පොඩි පොඩි බොරු ඩේලි කියන මිනිස්සු ඉතාම ඉක්මනට බොරුකාරයෙක් කියලා අහුවෙනවා. ඒකෙන් පස්සේ බොරුකාරයෙක් විදියට හංවඩු ගැහෙනවා. එතනින් එහාට ඉතින් බොරුකාරයාම තමයි ඇත්ත කිව්වත්!
2. කතාවට පදනමක් දාගන්න
බොරුවක් කියන්න ගිහින් හිතෙන් කතාව ගොත ගොතා බොරුව කියන්න යනවා කියන්නෙම, බොරුව ඉවර කරන්නත් කලින් අතේ කෝට් කියන එක තමයි. විශේෂයෙන්ම ඔය බොරු කියනකොට අපි නොදැනුවත්වම අපේ ශරීරයේ වෙන වෙනස්කම් තියෙනවනේ. ඔලුව කසන එක, නැවති නැවතී බොරුව ගොත ගොතා කතාකරන එක වගේ දේවල්. අන්න ඒවා සිද්ධ වෙන්නේ බොරුව කියන්න යන වෙලාවෙම බොරුව ගොතන්න යන එකෙන්. අන්න ඒ නිසා, මුලින් බොරුව නිවීහැනහිල්ලේ හදාගන්න. ඊට පස්සේ ඒ බොරුවේ අහුවෙන්න පුළුවන් තැන්, ලූප් හෝල්ස් තියෙනවද කියලත් බලන්න. එහෙම නෑ කියලා ෂුවර් වුණාට පස්සේ අන්න පුළුවන් බොරුව ඇත්ත වගේම කියන්න!
3. බොරුව විශ්වාස කරන්න
අපි කලිනුත් කිව්වනේ බොරුවක් කියන්න ගියහම අපේ ශරීරයේ වෙන සුළු සුළු වෙනස්කම් ගැන. දැන් පොලිස් පරීක්ෂකවරයෙක් වුණත්, ගුරුවරයෙක් වුණත් ගොඩක් වෙලාවට ඔය බොරුකාරයෝ අල්ලගන්න පුළුවන් හැසිරීමේ වෙනස්කම්, ශරීරයේ වෙනස්කම් ගැන දන්නවා. අන්න ඒ නිසා, අපි සාර්ථක බොරුකාරයෙක් වෙන්න නම්, ඔය වගේ ප්‍රශ්න මගහරවාගන්න ඕන. ඒක කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි, උඩින් කියපු විදියට නිවීසැනසිල්ලේ තමන් කියන බොරුවට කතාවක් හදාගෙන, පදනමක් දාගන්න එක. හැබැයි ඒක විතරක් මදි. ඊට පස්සේ තමන් කියන බොරුව තමන් විශ්වාස කරන්නත් ඕන. එහෙම තමනුත් ඒ බොරුව විශ්වාස කරනකොට, ඒක ඇත්තටම බොරුවක් නොවී අපේ ෆැන්ටසිමය ඇත්තක් බවට පත් වෙනවා. උදාහරණයක් විදියට කිව්වොත්, අපි කියමු අපි බොරුවක් කියනවා අපි පංතියේ පළවෙනියා වුණා කියලා. දැන් අපිත් ඕක විශ්වාස කරන්න පටන් ගන්නවා. ඒක අපේ ෆැන්ටසියක් බවට පත් වෙනවා. දැන් අපි ඕක කාටහරි කිව්වත්, ගොඩක් වෙලාවට ඒක ඇත්තක් වගේම තමයි එළියට එන්නේ!
4. අර්ධ සත්‍යයන්
ඇත්තටම බොරුවක් කියන එක අමාරු වැඩක්. ඊට වඩා ගොඩක් ලේසියි ඇත්ත කියන එක. හැබැයි අපි කියමු අපිට බොරුවක් කියන්නම සිද්ධ වෙනවා කියලා. එහෙමනම්, මුලින් සම්පූර්ණ ටොම් පචයක් ගොතන්න උත්සාහ කරන්නෙ නැතුව, ට්‍රයි එකක් දෙන්න පුළුවන් තරම් ඇත්ත කාරණයක් යම් යම් කරුණු සඟවලා, එහෙම නැතිනම් අහන කෙනා නොමඟ යවන සුළු විදියට කියන්න. එතකොට ඇත්තටම එතන බොරුවක් කියලා නෑ. ඇත්ත කාරණයක් කියලා තියෙන්නේ. හැබැයි ඇත්ත කාරණාවේ යම් යම් කොටස් හංගලා තියෙනවා. සමහර වෙලාවට ඇත්තම කියලා තියෙන්නේ, හැබැයි ඒ ඇත්ත කියන සන්දර්භය වෙනස් කරලා. ඒත් බොරුවක්ම නේද? ඔව්. ඒත් බොරුවක්ම තමයි එක විදියකට. විශේෂයෙන්ම ඉතින් අද කාලේ දේශපාලකයෝ සහ දේශපාලනේ කරන මාධ්‍ය එහෙමත් කරන්නේ ඔන්න ඕකම තමයි!
5. බොරුව එක්ක කතන්දරයක් හදන්න
දැන් අපි උඩින් කියලා තියෙනවනේ බොරුවක් ඒ වෙලාවට ගොත ගොතා කියන්න යන්නෙ නැතුව, බොරුව ලස්සනට හැඩ කරලා නිවීහැනහිල්ලේ හදාගන්න කියලා. හැබැයි ඒක විතරක් මදි. සාමාන්‍යයෙන් බොරුවක් කියනකොට, ඒ බොරුව අහන අය අපෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. අන්න එතකොට අපි ඒකට සූදානම් වෙලා නැතිනම් අපි අමාරුවේ වැටෙනවා. ඇයි? නිවීසැනසිල්ලේ බොරුව හදාගෙන ඇවිල්ලා කිව්වට, ඒ ගැන ප්‍රශ්න අහනකොට අපිට ඒ මොහොතේ ඒවලට බොරු උත්තර නිර්මාණය කරගන්න වෙනවා. අන්න ඒ නිසා, සාර්ථක බොරුකාරයෙක් සාමාන්‍යයෙන් නිවීසැනසිල්ලේ බොරුව හදාගෙන, ඉන් පස්සේ බොරුවට අදාළ කතන්දරේකුත් නිර්මාණය කරගන්නවා. උදාහරණයක් විදියට පංතියේ පළවෙනියා වුණා කියලා අපි හදාගත්තු බොරුව එක්ක, අපිට වැඩියෙන් ලකුණු තිබ්බේ මොන විෂයන් වලටද, අඩු වුණේ මොන විෂයන් වලටද, පංතියේ දෙවෙනියා වුණේ කවුද, වගේ කවුරුහරි අහන්න පුළුවන් ප්‍රශ්න වලටත් මුහුණ දෙන්න සම්පූර්ණ කතන්දරයක් හදාගත්තට පස්සේ වැඩේ හරි!
6. හරි කෙනාට බොරුව කියන්න
මෙන්න මේක නම් අනිවාර්යයෙන්ම ඔලුවේ තියාගන්න ඕන කාරණාවක්. ඒ තමයි, කාටද ඇත්තටම බොරුව කියන්නේ කියන එක. දැන් අපි බොරුවක් කියනකොට, ඒ බොරුව විශ්වාස කරන්න නම්, ඒ ගැන සැක නොහිතන කෙනෙක් හෝ කීපදෙනෙක් හෝ කණ්ඩායමක් එතන ඉන්න ඕනනේ. හැබැයි අපිට පංතියේ පළවෙනියා වුණා කියල බොරුවක් කියන්න පුළුවන්ද ඒ පංතියේම යාලුවෙක්ට? බැහැනේ. මොකද එයා දන්නවා ඇත්ත මොකද්ද කියලා. තව උදාහරණයක් කිව්වොත්, අපිට බෑ අපි හොඳට ඉගෙනගෙන අභ්‍යවකාශ විද්‍යාඥයෙක් වුණාය කියලා ටොම් පචයක් ගහන්න නාසා එකේ අභ්‍යවකාශ විද්‍යාඥයෝ සෙට් එකක් ඉස්සරහට ගිහිල්ලා. එතකොට නාසා එකේ ඉන්න අභ්‍යවකාශ විද්‍යාඥයෙක් ඔය විෂය කරුණක් එහෙම ඇහුවොත් ගොඩක් වෙලාවට රෙදි නැති සීන් එකක් තමයි සෙට් වෙන්නේ!
7. බොරුව මතක තියාගන්න
ගොඩක් වෙලාවට ගොඩක් බොරුකාරයො අමාරුවේ වැටෙන තැනක් තමයි, බොරුව කියලා කාලයක් ගිහිල්ලා තව කෙනෙක් එදා කියපු බොරුව ගැන මොනවහරි ඇහුවොත් ඒක මතක නැති වෙන එක. ඊට පස්සේ ඉතින් ඒ බොරුව ඇත්ත කරන්න තව දහසක් දේවල් කියන්න වෙනවා. එහෙම දහසක් බොරු කියන්න ගිහින් බොහොම ලේසියෙන් එදා කියපු බොරුවත් මාට්ටු වෙනවා. හැබැයි අනික් අතට, අපිට ඔය බොරු කියන ඒවා මතක තියාගෙන ඉන්න අමාරුයිනේ. ඇයි හත්වලාමේ, ඇත්ත ජීවිතෙත් කීයක් කියලා දේවල් මතක තියාගෙන ඉන්නද. අන්න එතකොට අපිට කරන්න පුළුවන් දේවල් තමයි ඇත්තටම ඔය උඩ කියලා තියෙන්නේ. බොරුවට කතාවක් හදාගන්න, බොරුව සම්බන්ධ ෆැන්ටසියක් ගොඩනංවාගන්න. දැන් ඒක විශ්වාස කරන්න. එතකොට ආයෙ කවුරුහරි බොරුව ගැන ඇහුවත්, අපිට මතකයි. ඇයි අපිත් දැන් ඒක විශ්වාස කරනවනේ. ඒ වගේම, උඩ කියලා තියෙන විදියට අවශ්‍යම වෙලාවක විතරක් බොරුවක් කියන්න. අන්න එතකොට සාර්ථක බොරුකාරයෙක් වෙන්න පුළුවන්!
හැබැයි අපි ආයෙමත් කියනවා. බොරු කියනවා කියන්නේ හොඳ දෙයක් නෙවෙයි. ඒක හොඳයි කියලා අපිට කියන්න බෑ. හැබැයි එහෙමයි කියලා, බොරු කියන්න සිද්ධ වෙන තැන් අපේ ජීවිතේ ආවහම, මාට්ටු වෙන්න බොරු කියන්නත් බෑනේ. ඒ නිසා, කෝකටත් කියලා බොරුවක් අහු නොවෙන්න කියන විදියත් ප්‍රැක්ටිස් කරලා තියෙන එක වටිනවා!
Leave a Reply