මේ දවස්වල අලුතින්​ම කියවන්න මෑතකදී එළිදක්වපු හොඳ​ම පොත් ටිකක් මෙන්​න

අපි හැමදාම වගේ ඔයාලව දැනුවත් කරනවනේ අලුතෙන් එන ගුණාත්මක භාවයෙන් ඉහළ පොත් ගැන. ඉතින් අදත් අපි එවැනිම පොත් හතක් ගැන කතාකරමු. 

 

1. නකුල මුනි 

2020 වසරේ ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලබපු “පේත” නවකතාව රචනා කරපු එරික් ඉලයප්ආරච්චි මහත්මයාගේ අලුත්ම නවකතාව තමයි මේ. පසුගිය වසරේ ඔහු රචනා කරපු “මැස්සා” කෘතියත් ගොඩක් අය අතරේ කතාබහට ලක් වුණා. තරුණ සංගීතවේදියෙක්ගේ චරිතයක් පදනම් කරගනිමින් නූතන කලාව ගැන විමසන මේ කෘතිය හැමෝටම එක සේ රසවිඳින්න නම් පුළුවන් වෙයිද කියන එක සැකයි. හැබැයි හැමෝම කියවන්න උත්සාහ කළ යුතු පොතක් හැටියට රෙකමදාරු කරන්න කැමතියි.

 

2. දෙපලු කරන ලද හදවතක චෝදනා පත්‍රය 

අපි මේ පොත ගැන අපි මීට කලින් කීප වතාවක්ම දැනුවත් කළා. ඒ තරම්ම දැනුවත් කරන්න තරම් වටිනම පොතක් තමයි මේ “දෙපලු කරන ලද හදවතක චෝදනා පත්‍රය” කියන්නෙ. සදාත් හසන් මන්ටෝ කියන්නේ අඩු වයසකින්ම මෙලොවින් සමුගත් විශිෂ්ටතම ඉන්දියානු කෙටිකතාකරුවෙක්. නන්දිතා දාස් නිර්මාණය කරපු “මන්ටෝ” සිනමාපටය නරඹා තිබෙනවානම් නම් ඔහු ගැන ඔබ නොදන්නවා වෙන්න බෑ. ඉතින් මේ “දෙපලු කරන ලද හදවතක චෝදනා පත්‍රය” කෘතියට පාදක වෙන්නේ ඔහුගේ විශිෂ්ට කෙටිකතා එකතුවක්. චූලානන්ද සමරනායක මහතා විසිනුයි මෙය සිංහලට පරිවර්තනය කොට තිබෙන්නේ. 

 

3. කියා : වගුරු බිමේ කෙල්ල

කියා : වගුරු බිමේ කෙල්ල කියන්නෙත් හරිම වෙනස්ම විදියේ කෘතියක්. අපේ රටේ ජනප්‍රිය පරිවර්තිකාවක් වන නිම්මි මුදිතා හේරත් මහත්මිය තමයි මේ කෘතිය සිංහලට පරිවර්තනය කරන්නේ. ඩෙලියා ඔවන්ස් රචනා කරපු “Where the Crawdads Sing” කෘතිය තමයි මේ නමින් සිංහලට පරිවර්තනය වුණේ. වනයේ ගහකොළ, සතා සීපාවාට සමීපව ජීවත් වන අනාථ දැරියකගේ ජීවිතය ක්‍රම ක්‍රමයෙන් වෙනස් වෙන අයුරු තමයි මේ නවකතාවට පාදක වෙලා තියෙන්නෙ. 

 

4. සී + 

මේක නම් අලුත්ම කෘතියක් නෙමෙයි, හැබැයි අනිවාර්යයෙන්ම මේ පොත ගැන දැනුවත් කරන්න අවශ්‍ය නිසා අපි හිතුවා මේ පොත ගැනත් අද කියන්න. මේ පොත රචනා කරන්නේ “තී හා තා” නවකතාව රචනා කරමින් ලංකාවේ අතිශයින්ම ජනප්‍රිය ලේඛකයෙක් බවට පත්වුණු සුරත් ද මැල් කතුවරයායි. ඉතින් මේ කෘතියත් ඔහුගේ තී හා තා වගේම අව්‍යාජ ලියවිල්ලක්. තී හා තා නවකතාවේ ලේඛන ශෛලිය​ට සමාන ආරකින් ලියවී තියෙන මේ කෘතිය තරුණියකගේ දෘෂ්ටි කෝණයෙන් ලියවී තිබෙන්නක් වීමත් විශේෂයි. ඔබත් අනිවාර්යයෙන්ම කියවන්න බලන්න. 

 

5. කියනු වස් පවතිමි

ගා‍බ්‍රියෙල් ගාර්ෂියා මාකේස් කියන්නේ ලතින් ඇමරිකානු සාහිත්‍ය තුළ වගේම ලෝක සාහිත්‍ය තුළත් විශිෂ්ටතම කතුවරයෙක්. ඔහුගේ “සියක් වසක හුදකලාව”, “කර්නල් සහ එරෙන්දිරා”, “කොලරා කාලේ ආලේ” වගේ නවකතා අපේ රටේ වගේම ලෝකය පුරාමත් ගොඩක් ජනප්‍රිය වුණා. ඉතින් මේ කෘතිය ඔහු විසින්ම රචනා කරපු ඔහුගේම ස්වයං චරිතාපදානයක්. මහේෂි වීරකෝන් තමයි මෙය සිංහලට පරිවර්තනය කර තිබෙන්නේ. අනිවාර්යයෙන්ම කියවන්න කියලා අපි රෙකමදාරු කරනවා. 

 

6. අබිසරු සමනළියෝ 

පී. බී ජයසේකර කියන්නේ අපේ රටේ ඉන්න ලොකු ඇගයීමකට ලක් නොවුණු විශිෂ්ට කතුවරයෙක්. “මරියා සිලොනිකා වස්තුව”, “අවලමා සහ ඇහැටුවා”, “අතකින් අම්මාය අතකුන් මෙරමාය” වගේ කෘතීන් ඔහුගේ විශිෂ්ටත්වයට හොඳම නිදසුන්. ඔහුගේ අලුත්ම කෘතිය තමයි මේ අබිසරු සමනළියෝ කෘතිය. මෙහි අන්තර්ගතය ගැන නම් ඔයාට නමෙන්ම අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. අනිවාර්යයෙන්ම කියවන්න… 

 

7. රන් දෙවඟන 

මේක ගැන නම් කියන්නද එපාද කියලා දෙපාරක් හිතුණු පොතක්. ඒත් කැමති කෙනෙක් ඉන්නවා නම් රසවිඳින්න කියන බලාපොරොත්තුවෙන් තමයි අපි මේ කෘතියත් අපේ ලැයිස්තුවට එකතු කළේ. චන්දන මෙන්ඩිස් මහතා විසින් ලියන ලද ශර්ලොක් හෝම්ස්ගේ නවතම කෘතිය තමයි මේ. උමං දුම්රියේ අබිරහස, ඉතාලි මහාචාර්යවරයා, කිංස්ටන් ඛේදවාචකය, කෙස්ගසක් නිසා, හැමර්ස්මිත් මිනීමැරුම, රන් දෙවඟන සහ බිහිසුණු අත්දැකීමක් යන රහස් පරීක්ෂක කෙටි කතා 7කින් මේ කෘතිය සමන්විතයි. 

 

එහෙනම් හැමදාම වගේ මේ තොරතුරු ඔයාලගේ යාළුවෝ එක්ක බෙදාගන්න අමතක කරන්න එපා. මේ පොත් කියවල තියනවනම් නම් ඔයාගේ අදහසුත් අපිට අමතක නොකරම කමෙන්ට් එකකින් කියන්න කියලත් අපි ඉල්ලීමක් කරනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *