ලංකාවේ ස්ට්‍රීට් ෆුඩ් කියන්නේ එච්චරම ජනප්‍රිය දෙයක් නෙමෙයි. සමහරු මේ කතාවට එච්චරම අකමැති වුනත් ඉන්දියාවේ තායිලන්තයේ තියෙන ස්ට්‍රීට් ෆුඩ් ආට් එක කල්චර් එක එක්ක බැලුවාම අපේ රටේ තාමත් ස්ට්‍රීට් ෆුඩ් තැන් කීපෙකට සීමා වෙලා පොඩියට තමයි රන් වෙන්නේ. තායි රටේ දුරබැහැර නගරයක වුනත් රෑට ඇවිදගෙන යද්දි එළියේ මේස දාලා රෑට විතරක් තියෙන රසවත් ස්ට්‍රීට් ෆුඩ් පොට්ස් තියෙනවා. ලංකාවේ අලුත්කඩේ අබ්දුල් හමීඩ් ස්ට්‍රීට් එකේ ස්ට්‍රීට් ෆුඩ් දැන් ටික ටික ජනප්‍රිය වේගෙන එනවා. කාලයක් තිස්සේ තිබුනත් මේ ගැන දැන් යූටියුබ් හරහා හැමෝම දැනගෙන ඉවරයි.
1. කොහේද මේ වීදිය තියෙන්නේ?
ලොකේශන් එකක් විදිහට අලුත්කඩේ පොලිසිය මැප් එකට දමාගෙන පොලිසිය ගාවට ගියානම් මේ ස්ට්‍රීට් ෆුඩ්ස් තියෙන ප්ලේස් එකට යන්න පුළුවන්කම තියෙනවා. අලුත්කඩේ උසාවියට පිටකොටුව දිහායින් ඇවිත් ඒ හරහාත් මේ වීදියට පිවිසෙන්න පුළුවන්. මේ වීදියේ නම වගේම මේ කඩවලත් බොහෝවිට ඉන්නේ මුස්ලිම් අය. ඔවුන් ලොකු කැපවීමකින් ආහාරපාන පිළියෙල කරලා, එන අයට ඉක්මනින්ම කෑම හදාල දෙන්න උත්සාහ කරනවා.
2. පාන් කොත්තු, පිට්ටු කොත්තු
මේ වීදියේ තියන පැරණිම සහ ජනප්‍රියම කඩේක තමයි මේ පාන්කොත්තු, පිට්ටු කොත්තු තියෙන්නේ. ඒ කඩේ අපි දන්නා කියන චිකන් වුනත් විවිධ ආකාරයට හදලා තියෙනවා. මාලු බිත්තර, දැල්ලෝ බිත්තර, බාබත් වර්ග එහෙමත් මේ කඩේ තියෙනවා. පරාට වර්ගම තුනක් විතර මේ කඩේ විකුණන්න තියෙනවා. ඉතින් මේ කඩේට ගියොත් මුලින්ම කඩේ තියෙන කෑම ලැයිස්තුව අහන එක රසවත් වැඩක්. ඊලඟට කෑමක් තෝරගෙන ඒක රසබලන එකත් කොහොමත් රසවත් වැඩක්. සාමාන්‍යයෙන් මාසයක් එක දිගට අලුත්කඩේ මේ කඩේට ගියත් ඒ තියෙන කෑම වර්ග ටික ඔක්කෝම නම් කාල ඉවර කරන්න හැකිද කියන එක සැකයි.
3. අරුම පුදුම සැන්ඩ්විච්
සැන්ඩ්විච් කියන්නේ ලොකු මෙව්වා එකක් නෙමෙයි. අපි හැමෝම සැන්ඩ්විච් කාල තියෙනවා. ඒත් මේ සැන්ඩ්විච් එක ටිකක් වෙනස්. කොත්තු දාන තැටියක් වගේ රත්වුන තැටියක හැදෙන මේ සැන්ඩ්විච් එකේ මැදට ක්‍රිස්පි චිකන්, බිත්තර ආදී හොඳ පිරවුමක් ඇතුළත් වෙනවා. සෝස් සහ අමතර දේවලුත් එකතු වෙලා එන මේ සැන්ඩ්විච් එක ඒ ගාණට වටිනවා. රුපියල් 150-200 අතර තමයි සැන්ඩ්විච් එක මිල වෙන්නේ. සැන්ඩ්විච් එකේ රසය නම් කොලිටි බර්ගර් එකක රසට ටිකක් ඈතයි. ඒත් මිල එක්ක බැලුවාම ලොකු පාඩුවක් නැහැ.
4. සබ්මැරීන්, බර්ගර්
සබ්මැරීන් සහ බර්ගර් වගේ ඒවා හොඳ තැනකින් කන්න ගියොත් රුපියල් දාහක් හමාරක් එක බර්ගර් එකක් සබ් එකක් වෙනුවෙන් වියදම් වෙනවා. ඒත් අබ්දුල් හමීඩ් එකේදි බොහොම අඩු ගාණට සබ්මැරීන්, බර්ගර්, ක්‍රිස්පි චිකන් ආදිය තියෙනවා. අපිට වැඩිපුර ඕනි දේවල් කිව්වනම් එව්වත් දාලා එවෙලෙම හදලා දෙන මේ බර්ගර් සහ සබ්මැරීන් කන්න පුළුවන් තරමට රහක් තියෙනවා.
5. මස් සුප් සහ සමෝසා
මේකනම් යූ ටියුබ් සෙට් වලට මිස් වුන තැනක්. වීදියේ එක් තැනක තියෙනවා ලොකු සුප් කල්දේරමක් තියෙන තැනක්. එතැන කට්ටිය සුප් බොනවා පේනවත් එක්ක. විශාල හරක් කටුත් එක්ක ලැබෙන හරක් මස් සුප් එක තද ආහාරයක්. ඒ කියන්නේ මේ සුප් එකක් එක්කෙනෙක් බිව්වනම් තව බර්ගර් එකකට වැඩිය දෙයක් බඩට දාගන්න බැරි තරම් මේ සුප් එක නැගලා යනවා. ඒ සුප් තියන තැනම පුලුස්සපු බාබත් සහ සමෝසා හෙමත් තියෙනවා. සමෝසා එකක් කන ගමන් සුප් එකත් රස බලන එක හොඳ කම්බිනේශන් එකක්.
6. බාබකිව්
බාබකිව් තියෙන ප්ලේස් දෙකක් විතර තියෙනවා. මේවායේ බාබකිව් එවෙලේම දාන නිසා ෆ්‍රෙශ් ගතියට තියෙනවා. එක ප්ලේස් එකක බාබකිව් කුකුළු අණ්ඩට තව නාන් රොටි දෙකක් සහ සලාද තියලා කදිම ප්ලේට් එකක් හදලා දෙනවා. ඒ නාන් දෙක සහ සලාද එක්ක බාබකිව් එක හොඳට ගැලපිලා යනවා. බාබකිව් එක නම් රුපියල් 250/=ක්. ඒ ගාණට නම් කුකුළාගේ අණ්ඩ පොඩිත් වගේ. ඒත් උණුවට, රසට තියෙන නිසා කෑමට නම් කිසිම අමාරුවක් නැහැ.
7. සරුවත් සහ බීම
කොච්චර පාට වලින්, රස වලින් බීම වර්ග තිබුනත් සරුවත් බොන එක වෙනම ආතල් එකක්. අබ්දුල් හමීඩ් වීදියේ තියෙන බීම කඩේ සරුවත් එක තවත් ෆ්‍රෙෂ් මිල්ක්, අයිස් හෙම එකතු කරලා රසවත් උකු බීම එකක් විදිහට හදලා දෙනවා. එතැන තවත් වෙන වෙන බීම වර්ගත් ගන්න තියෙනවා. කාගෙන කාගෙන ගිහින් මොනාහරි බොන්න ඕනි වුනොත් මේ තැන මැක්සා පොට් එකක්.
8. කොත්තු, රයිස්, පරාටා, ඉඳිආප්ප
මේව නම් අපේ හන්දියේ කඩෙත් තියෙනවා. ඒත් අබ්දුල් හමීඩ් වීදියේදී මේ රයිස්, කොත්තු එහෙම විවිධ රසවලින්, විවිධ මිශ්‍රණ වලින් ලබාගන්න පුළුවන්. පරාට වුනත් හැමදාම පොල්තෙල් නාවලා හදන පරාටා එකට වැඩිය වෙනස් ගී පරාට එහෙම මේ වීදියේ දකින්න තියෙනවා. ඩොල්ෆින් එකක් දාගත්තා වුනත් මේ ස්ට්‍රීට් එකේ ටිකක් හොඳ ප්ලේස් එකකින් දාගත්තොත් ඒකෙත් වෙනම කොලිටි රසයක් තියෙනවා. ඒ වගේම ඒ වීදිය හරියේ අලුත්කඩේ ඉන්න ජනතාව ගොඩක් මේ වීදියට ඇවිල්ලා කනවා බොනවා සහ කෑම අරන් යනවා.
විවිධ ආකාරයේ කෑම ගොඩක් තියෙන අලුත්කඩේ අබ්දුල් හමීඩ් විදිය කියන්නේ ගිහින් ස්ට්‍රීට් ෆුඩ් කාල බලන්නම වටින තැනක්. ඉතින් ඔයාලටත් පුළුවන් එකපාරක් හෝ ගිහින් කාල බලලා ඇවිත් අපිටත් විස්තර කියන්න.
Leave a Reply