ලයිට් කපන අස්සේ වැඩ ටිකත් කොහොමහරි මැනේජ් කරගන්න ටිප්ස් කීපයක්!

මේ දවස් වල ඉතින් දෙයියනේ කියලා සිරි ලංකාවට ලයිට් කපනවනේ. ඒ කියන්නේ අපිට පවර් කට් කියන කතන්දරේ හැම පැත්තෙන්ම ඇහෙන්න තියෙනවා. මේ ආටිකල් එක ලියන වෙලාව වෙනකොට දෛනික විදුලි කප්පාදුව පැය 12 ක්. ඒ කියන්නේ, දවසේ වැඩ කරන්න තියෙන්නේ පැය 12 යි. ඒකෙන් පැය දහයක්ම ලයිට් කපන්නේ උදේ ඉඳන් රෑ වෙනකල්. ඒ කියන්නේ නිදාගන්න පැය 6 ක් අයින් කලත්, දවසේ අනික් පුද්ගලික වැඩ කටයුතු වලට පැය 4 ක් අයින් කලත්, වැඩ කරන්න ඉතුරු වෙන්නේ යන්තම් පැය 4 යි. දැන් ඔය ගෙදර ඉඳන් වැඩ කරන අයට, පුද්ගලික ව්‍යාපාර එහෙම කරන අයට මේකෙන් බඩුම තමයි, හා නැද්ද?

 

ඉස්සරහටත් මේ විදියටම කරන්ට් කපයිද? කියන්න බෑ. මොකද, ජලාශ වල ජල මට්ටම් 10% වෙනකල් හිඳිලලු. එතකොට තෙල් ගේන්න ඩොලර් නැති නිසා ඩීසල් බලාගාර වැඩ නෑලු. තාප බලාගාරත් ලංකාවේ එහෙමට නෑනේ. එතකොට ඉස්සරහටත් කරන්ට් කපනවා කියන එක ගැන නම් ෂුවර් කරගන්න පුලුවන්. අහන්න ලැබෙන්නේ පැය 17 කට කරන්ට් කපන වෙලාව දික් කරන්නත් අවසර ඉල්ලලාලු!

 

හරි, දැන් අපිට තත්වේ පැහැදිලියි. එතකොට අපි මොකද කරන්නේ? එකක්, මේ ඉන්න පාලක හැතිකරේ එලවන්න අරගල කරන එක. ඒක හරි. හැබැයි ඒ ඇරෙන්න, අපි ජීවත් වෙන්නත් ඕන නේද? මොකද, මොන දේ කරන්නත් අපි ජීවත් වෙලා ඉන්න ඕන. ඒකට කොහොමහරි රස්සාව කරගෙන යන්නත් ඕන. ආන්න ඒ නිසා අපි මේ කරන්ට් කැපිල්ලත් එක්ක කොහොම හරි අපේ දවසේ වැඩ ටික කර ගන්න ක්‍රම සහ විධි හොයාගන්න ඕන.

 

ආන්න ඒ නිසා තමයි මේ ආටිකල් එක ලියන්නේ. කොහොමහරි කරන්ට් කැපිල්ල අස්සෙත් අපේ ජීවිත ගොඩදාගන්න, අපේ වැඩ කොහොමහරි කළමනාකරණය කරගන්න ක්‍රම සහ විධි හොයාගන්න!

 

01. සෝලාර් පවර්, බැටරි පවර්

මේක ඉතින් හැමෝටම ගැලපෙන විසඳුමක් නොවෙන්න පුලුවන්. ඒ තමයි, වහලේ සෝලාර් පැනල් හයි කරලා හදාගත්තු බලශක්ති පද්ධතියක්, එහෙම නැතිනම් බැටරි වලින් යන විකල්ප බලශක්ති පද්ධතියක් ගෙදර හදාගන්න එක. සෝලාර් වැඩේ ටිකක් ගණන්. මේ කාලේ ඉස්සර වගේ දෙතුන් ගුණයකින් ගණන්. හැබැයි පද්ධතිය අවශ්‍ය පමණට ලොකුයි නම් ගෙදර සම්පූර්ණ විදුලි අවශ්‍යතාවය සපුරා ගන්න වුණත් පුලුවන්. එහෙම නැතිනම් තමන්ගේ වැඩ වලට අවශ්‍ය කරන කම්පියුටර් එක, රවුටර් එක එක්ක බල්බ් එකක් දෙකක්, ෆෑන් එකක් බලගන්වන්න ප්‍රමාණයට විතරක් හදාගන්නත් පුලුවන්. එතකොට ගාණ අඩුයි සාපේක්ෂව. මේ කියන්නේ ඕෆ් ග්‍රිඩ් හරිද?

 

හැබැයි කරන්ට් එක නැති වෙලාවට යන්නේ ඔය ලැප්ටොප් එකට, රවුටර් එකට විතරක් පොඩි කරන්ට් එකක් නම්, කෙලින්ම බැටරියක්, ඉන්වර්ටරයක්, බැටරි චාර්ජර් එකක් තියෙන සෙටප් එකක් හදාගන්නත් පුලුවන්. එතකොට කරන්ට් තියෙන වෙලාවට මේ සෙටප් එක චාර්ජ් වෙනවා. කරන්ට් නැති වුණහම ඒකෙන් වැඩ කරනවා. 

 

02. ලැප්ටොප් බැටරි පවර්

මේකත් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. සාමාන්‍යයෙන් ඕනම ලැප්ටොප් එකක් අරගත්තු කාලේ කිරි ටොයියා වගේ වැඩනේ. බැටරි බලයත් එහෙමමයි. පැය අටක් වැඩ කරන බැටරිය කියලා ලැප්ටොප් එකේ ගහලා තියෙනවා නං, ලංකාව වගේ රටවල අඩු ගාණේ පැය හයක් හතක් වත් බැටරිය අදිනවා. අන්න එහෙම කාලෙක නං පවර් කට් ගේමක් ම නෑ. ආයෙ වැඩ ටික කරගෙන යන්නයි තියෙන්නේ. හැබැයි එකක්, පරණ වෙන්න පරණ වෙන්න ඔය බැටරි බලය ටික ටික අඩු වෙනවා. එහෙම ගිහින් අවුරුදු ගාණක් ගියාට පස්සේ ගොඩක් දුරට බැටරිය සම්පූර්ණයෙන්ම කේස් වෙන්න පටන් ගන්නවා. එහෙම වුණහම තවදුරටත් ලැප්ටොප් එක කරන්ට් එකට කනෙක්ට් කරන්නෙ නැතුව ඔන් කරන්න බැරි වෙනවා. එතකොට කරන්ට් ගියහමත් ලැප්ටොප් එක ඒක්ෂණයෙන්ම ඕෆ් වෙනවා. අන්න ඒක නිසා, එහෙම ලැප්ටොප් තියෙන උදවිය අලුතින් ලැප්ටොප් බැටරියකට වගේ ආයෝජනය කළාට කමක් නෑ. විශේෂයෙන්ම මේ කාලේ ඒක වටිනවා.

 

03. යූපීඑස් එකක් ද? ඔන්ලයින් වැඩ ද?

UPS කියන්නේ මොකක්ද කියලා සාමාන්‍යයෙන් කම්පියුටර් පාවිච්චි කරන කෙනෙක් නොදැන ඉන්න විදියක් නෑ,  Uninterruptible Power Supply කියන එක තමයි අපි යූපීඑස් කියලා කියන්නේ. මේකෙන් කරන්නේ කරන්ට් එක ගියපු වෙලාවකදී වුණත් කම්පියුටර් එකට හරි ඒ වගේ උපාංගයකට හරි නොනවත්වාම විදුලි සැපයුම ලබාදෙන එක. වෙන විදියකට කිව්වොත්, කරන්ට් ගියහම මේක ගහලා තියෙනකොට ඩෙක්ස්ටොප් කම්පියුටර් එක ඕෆ් වෙන්නෙ නෑ. හැබැයි මෙහෙම සීන් එකකුත් තියෙනවා. සාමාන්‍ය යූපීඑස් එකක් පැය ගාණක් කම්පියුටර් එක බලගන්වන්න පාවිච්චි කරන්න බෑ. එහෙම පැය කීපයක් බලය ලබාදෙන යූපීඑස් එකක් පට්ට ගණන්. හැබැයි ඔය ඉතාම පොඩි ගාණකට ගන්න තියෙන යූපීඑස් එකකින් පුලුවන් ටික වෙලාවක් බලය තියාගන්න. දැන් එහෙම එකක වැදගත් කම මොකක්ද? වැදගත්කම තමයි, කරන්ට් ගියපු ගමන්, කම්පියුටර් එක ඕෆ් වුණොත්, කර කර හිටපු සේව් කරලා නැති වැඩ ඔක්කොමත් එහෙම්මම නැති වෙලා යන එක වළක්වගන්න හැකිවීම.

 

හැබැයි ඕකට තව විසඳුමක් තියෙනවා. ඒ තමයි, ක්ලවුඩ් ටූල්ස් (cloude tools) භාවිතා කරන එක. ඒ කියන්නේ මයික්‍රොසොෆ්ට් වර්ඩ් ඩොකියුමන්ට් එකක මොනවා හරි ටයිප් කරනවා වෙනුවට ගූග්ල් ඩොක්ස් පාවිච්චි කරන්න පුලුවන්. හැබැයි දැන් වර්ඩ් වල එහෙමත් ඒ තත්පරෙන් තත්පරේට ඔටෝසේව් වෙන පහසුකම් තියෙනවා. හැබැයි ඒකට සල්ලි දීලා ඔෆිස් පැකේජ් එක ගන්න ඕන. කොහොමහරි, අපි කරන වැඩ ඔන්ලයින්ම සේව් වෙන ටූල්ස් පාවිච්චි කිරීමෙන්, කරන්ට් ගියාට පස්සෙත් ෆෝන් එකෙන් හරි වැඩ කරන්න පුලුවන්. ඒ ගැන අපි ඉස්සරහට කතා කරනවා.

 

04. ලයිෆ්ස්ටයිල් එකට වෙලාව මැනේජ් කරගමු

මුලින්ම අපි කරන්න ඕන අපිට කරන්ට් කපන කාල සටහන හොයාගන්න එක. ඒක CEB ඇප් එකෙන් නැතිනම් වෙබ්සයිට් එකෙන් හොයාගන්න පුලුවන්. අන්න එතකොට, දිනපතා කරන්ට් කපන වෙලාවල් ඒකේ පෙන්නනවා. ඒකෙ තියෙන වෙලාවටම ටක්කෙට කරන්ට් යන්නෙ නැති වෙන්න පුලුවන්. හැබැයි අඩුම ගාණේ දෙකට කරන්ට් කපනවා කියලා තිබුණොත් උපරිම තුන වෙනකල් පරක්කු වෙයි. දැන් අපි එහෙම කරන්ට් කපන සාමාන්‍ය වෙලාවල් ටික දන්නවනේ. දැන් පුලුවන් ඒ වෙලාවල් අනුව අපේ වැඩ ටික ප්ලෑන් කරගන්න. උදාහරණයක් විදියට ගත්තොත්, දවල් දෙකේ ඉඳලා හය වෙනකල් කරන්ට් කපලා, ආයෙමත් රෑ අටේ ඉඳලා එකොළහ වෙනකල් කරන්ට් කපනවා නම්, අර දවල් මිස් වෙන වැඩ ටික අපිට කරගන්න වෙලාවක් හොයාගන්න පුලුවන්. උදාහරණයක් විදියට ගත්තොත්, කාලා බීලා ඔක්කොම කරලා අටට නිදාගෙන, පාන්දර හතරට ඇහැරුණත් අවුලක් නෑ නේද? ඊට පස්සේ වෙනදට වඩා කලින් වැඩ පටන් ගන්න පුලුවන්. ඒ වගේම, කරන්ට් අවශ්‍ය නැති දවසේ වැඩ ටික කරන්ට් කපන වෙලාවට දාගන්නත් පුලුවන්. උදාහරණයක් විදියට ගත්තොත්, වතුර ටැංකිය කරන්ට් යන්න කලින් පුරවලා තියාගත්තොත්, නාන්න රෙදි හෝදන්න තියාගන්න පුලුවන් කරන්ට් කපපු වෙලාවේ.

 

05. ෆෝන් එකෙන් කරන්න පුලුවන් වැඩ කළමනාකරණය

අපි හැමෝම ගාව ස්මාට්ෆෝන් තියෙනවනේ. අන්න එතකොට ඒ ස්මාට්ෆෝන් වලිනුත් කම්පියුටර් එකෙන් තරම් පහසු නැති වුණත්, සෑහෙන්න වැඩ කටයුතු කරගන්න පුලුවන්. ඒ නිසා, කරන්ට් නැති වෙලාවට ස්මාට්ෆෝන් එකෙන් වැඩ කටයුතු කළමනාකරණය කරගන්නත් පුරුදු වෙන්න පුලුවන්. ඒකට අවශ්‍ය ඇප්ස් එහෙම ඉන්ස්ටෝල් කරලා තියාගන්න පුලුවන්. ඒ ඇරෙන්න Canva, Google docs වගේ ඔන්ලයින් ටූල්ස් වලින්ම වැඩ කරන්න පුලුවන් නම්, කරන්ට් ගියහම ඒ වැඩ ස්මාට්ෆෝන් එකෙන් දිගටම කරගෙන යන්නත් පුලුවන්. දැන් ඔය සමහර තැන් වලට සිග්නල් අවුල් ප්‍රශ්න එනවනේ. එතකොට ගෙදර වයිෆයි කනෙක්ෂන් එකක් එහෙම තියෙනවා නම්, පවර් බෑන්ක් එකකට රවුටර් එක ගහන්න පුලුවන් කේබල් එකක් ගන්න පුලුවන් රුපියල් දාහකට අඩු ගාණකට. අන්න එතකොට සිග්නල් ප්‍රශ්නෙත් විසඳගන්න පුලුවන්.

 

06. සාමූහික ඇක්ෂන් ප්ලෑන්

සාමාන්‍යයෙන් දැන් කාලේ ඔෆිස් වල අපි වැඩ කරන්නේ ටීම්ස් විදියටනේ. ඒ කියන්නේ මොකක් හරි එක ප්‍රොජෙක්ට් එකක් කරන්නේ එක ටීම් එකක්. දැන් හැමෝම ඔෆිස් එකේ ඉන්නවා නම්, ඔෆිස් එකේ පවර් කට් වලට විසඳුම් එහෙමත් ලබාදීලා තියෙනවා නම් ගැටළුවක් නෑ. හැබැයි එහෙම නැතිනම්, ගෙවල් වල ඉඳලා නම් වැඩ කරන්නේ, මේ පවර් කට් සීන් එක ටිකක් අභියෝගාත්මකයි. මොකද, එක එක්කෙනාට පවර් කට් එන්නේ එක එක මොහොතකදී. අන්න එතකොට ටීම් එක විදියට කරන්න ඕන දේ තමයි, එකිනෙකාගේ පවර් කට් ෂෙඩ්‍යුල් අනුව, දවසේ වැඩ සම්පූර්ණ කරන්නේ කොහොමද කියලා ඇක්ෂන් ප්ලෑන් එකක් හදාගන්න එක. ඊට පස්සේ ඒ ප්ලෑන් එකට අනුව වැඩ කරන එක. ඒකට ඉතින් කණ්ඩායම් හැඟීම තියෙන්න ඕන.

 

07. තාක්ෂණික නොවන විසඳුම් හොයාගමු

දැන් අපි කොයි තරම් විදුලි බලයට හුරුවෙලා තියෙනවද කියනවා නම්, අපිට විදුලි බලය නැතිවුණහම මොනවද කරන්නේ, කොහොමද කරන්නේ කියන එකවත් ඔලුවට එන්නෙ නෑ. හා නැද්ද? හැබැයි මේ ලෝකේ විදුලි බලය හොයාගෙන නොතිබුණු කාලෙකුත් තිබුණා. ඒ කාලෙත් මිනිස්සු තමන්ගේ වැඩ පල කරගත්තා. ආන්න ඒ නිසා, එහෙම වැඩ කරගන්න පුලුවන් තාක්ෂණික නොවෙන ක්‍රම හොයාගන්න එකත් හොඳ දෙයක්. උදාහරණයක් විදියට, අපිට කම්පියුටර් එකෙන් ටයිප් කරන දෙයක්, කරන්ට් නැති වෙලාවක නෝට් පොතක ලියාගන්න බැරිද? එතකොට ෆෑන් එක නැතුව දාඩිය දානවා නම්, අර රුපියල් පණහට පේමන්ට් එකේ තියෙන චීන අවානකින් පවන් සලාගන්න බැරිද? එතකොට කරන්ට් නැති වෙලාවට ඉටිපන්දම් එලියෙන් පොතක් කියවන්න යොදාගන්න බැරිද?

 

හැබැයි අපි ආයෙත් කියනවා. මේ කියන්නේ මේ පවතින තත්වයට ඕකේ වෙලා, හැඩගැහිලා ඔන්න ඔහේ ඉන්න කියන එක නෙවෙයි. මේ තත්වයට පාලකයෝ වගකියන්න ඕන නම්, මිනිස්සු පාලකයන් ඒ ගැන වග වෙනතුරු, විසඳුම් ඉදිරිපත් කරන තුරු අරගල කරන්න ඕන තමයි. හැබැයි ඒ අතරේ අපේ වැඩටිකත් උඩ කියපු විදියට ඥාණාන්විතව කල්පනා කරලා ගොඩදාගන්නත් ඕන.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *