කඳුකර මාර්ගයන්හි මාර්ග තැනීමේදී උමං තැනීම අලුත් උපායයක් නොවේ. ගොතාඩ් උමග පුදුමයක් වන්නේ එය කඳුකරයක තැනූ එක්තරා උමගක් වන නිසා නොවේ. මේ ලෝකයේ මනුෂ්‍යයින්ගේ ප්‍රවාහන අවශ්‍යතාවය පිණිස නිර්මාණය කරන ලද උමං වෙත්ද එයින් දීර්ඝතම උමග වන්නේ ස්විට්සර්ලන්තයේ ගොතාඩ් උමං මාර්ගයයි. එසේම කඳුවැටියක් විනිවිද යනවිට කඳුවැටියේ ගැඹුරුම ස්ථාන හරහා දිවෙන උමගක් වේද එයද ගොතාඩ් උමගම වේ. එනම් ඇතැම් තැන්වලදී උමගේ සිට කඳුවැටියේ මුදුනතට ඇති දුර මීටර 2000කට වඩා වැඩි වේ. එවන් පසුබිමක කිලෝමීටර 57ක උමගක් තැනිමත් ඒ උමගේ දුම්රිය ධාවනය කිරීමත් සැබැවින්ම නූතන තාක්ෂණික විප්ලවයේ විශ්වකර්ම වැඩකි.
ගොතාඩ් උමග නිර්මාණය වන්නේ ස්විට්සර්ලන්තය සහ ඉතාලිය අතර ගමන් පහසුව සරල කිරීමේ අදහසිනි. මෙම සීමාවේ පිහිටා ඇති ඇල්ප්ස් කඳු වැටිය නිසා ඇල්ප්ස් මතම වාගේ පිහිටි ස්විට්සර්ලන්තය වෙත පිවිසීම අපහසු විය. කඳුකරය මත තැනූ මාර්ගවල ගමනාගමනය සිදුවන්නේ සෙමෙනි. එය වලක්වාගැනීමේ අටියෙන් දුම්රිය උමං මාර්ගයක් තනා ස්විට්සර්ලන්තයට පිවිසුම් මගක් තනාගන්නට ස්විස් රජය තීරණය කළේය.
ලොව දිගම උමං
ඉහත පිංතූරයේ දැක්වෙන්නේ ලොව දිගම උමං මාර්ග වේ. ජලය ගෙනයෑමට තෙල් ගෙනයෑමට ආදී කාර්යයන් සදහා දීර්ඝ උමං පද්ධති ලෝකයේ නිර්මාණය වී තිබේ. එහෙත් මිනිසුන් සහ බඩු ප්‍රවාහනය කිරිමේ පහසුව තනාගැනීම සදහා ලොව බිහිව ඇති දීර්ඝතම උමං ඉහත ලැයිස්තුවේ දැක්වේ. හොන්සු සහ හොකයිඩෝ දූපත් යා කෙරෙන සෙයිකන් උමග මුහුද යටින් දිවෙන දුම්රිය මාර්ග පද්ධතියකි. මෙයින් චැනල් උමග වනාහී එක්සත් රාජධානිය නැමැති දූපත ප්‍රංශය හා යාකෙරෙන අසිරිමත් ඉදිකිරීමකි.
චැනල් උමගේ දිග කිලෝමීටර 50කට ආසන්න අතර එම උමග මුහුද යටින් නිර්මාණය වී තිබේ. මේ උමග හරහා දිනකට මගීන් 57,000ක් සහ බඩු මෙට්‍රික් ටොන් 58,000ක් ගමන්කොට ඇති බැව් 2016 උමගේ දත්ත විශ්ලේෂණය කිරීමේදී පෙනී යයි. සෙයිකන් සහ චැනල් උමං කර්මාන්ත දෙකේම විශාල කොටසක් මුහුදට යටින් පිහිටා තිබේ. එනම් සරලව හිතුවොත් මේ මුහුද යටින් කිලෝමීටර 50 දක්වා උමං තැනීම වනාහී මන්නාරම් තොට සිට ඉන්දියාවේ රාමේෂ්වරම් දක්වා මුහුද යටින් උමගක් කැනීම හා සමාන සංසිද්ධියකි.
මීටර සිය ගණන් ගැඹුර මුහුදු පත්ලටත් යටින් කිලෝමීටර හතලිහකටත් එහා විදගෙන ගොස් මිනිසා ජලතලා යටින් ගොඩබිම් යා කරගෙන ඇත. ගොඩබිම ඇති මහා කඳුවැටි තරණය කිරීමකින් තොරව අභ්‍යන්තරව විදගෙන ගොස් අනෙක් අන්තයට යෑමට ද මාර්ග උමං හරහා නූතන දියුණු රටවල මිනිසුන් සමත්වී තිබේ. ගොතාඩ් ටනලය එවැනි කඳුවැටි සිදුරු කරගෙන අනික් අන්තයට යා හැකි වූ අවස්ථාවකි.
කඳු විද මාර්ග තැනීමේ වැදගත්කම
මෙය ලංකාවේ අපි සලකා බැලුවහොත් කොළඹ සිට මහියංගනයට යෑම අපි රඹුක්කන දෙසින් කඩුගන්නාව කන්ද නැගගෙන මහනුවර හරහා මැදමහනුවර දහ අට වංගුව හරහා මහියංගනයට යා යුතුය. කෙසේ හෝ කොළඹ සිට කවර මාර්ගයකින් ගියද මහියංගනයට යෑමට නම් මැද ඇති මධ්‍ය කඳුකරය නැගගෙන බැසගෙන ඒ මතින් හෝ එය හමු නොවන පරිදි වටෙන් ගමන් කල යුතුය. මෙම ස්විස් උමග තැනීමෙන් සිදුකර ඇත්තේ දක්ෂිණ ජර්මනියේ රොටර්ඩෑම් සිට උතුරු ඉතාලියේ මිලාන් වෙත පිවිසීම පිණිස තිබෙන දුම්රිය මගට හමුවන ඇල්ප්ස් කඳුවැටි බාධකය යටින් උමගක් කැනීමෙන් එම බාධාව අඩුකොට රොටර්ඩෑම් සිට ඉතාලියේ මිලාන් දක්වා ගමන් පහසුව වඩාත් සරල කිරීමකි. ඒ උමග හරහා ජනයාට අධිවේගී දුම්රිය මතින් වේගයෙන් ගමන් කළ හැකිවාක් මෙන්ම භාණ්ඩ ප්‍රවාහනයේදී සුරිච් සිට මිලාන් දක්වා වූ කාලයත් මුදලත් ඉතිරි වේ.
ඉදිකිරීම් අභියෝග
ජලය
ගොතාඩ් උමග දිවෙන මෙම ඇල්ප්ස් කඳුවැටියේ ඉහල කොටස් හි වසරේ වැඩි කාලයක් හිම තැන්පත්ව පවතී. එම හිම කුට්ටි මතින් ඇතැම් තැනෙක ජල තලා පිහිටා තිබේ. කඳුවැටියක් හරහා උමගක් යන විට මෙම කඳුවැටි අභ්‍යන්තරයේ ඇති ජලයෙන් වන බලපෑම සුලු කොට තැකිය නොහේ. එම ජල සංචිත අධ්‍යයනය කොට කැනිම් සිදුකළ හෙයින් ජීවිත සහ අලාභහානි අවම විය.
උමග තුල වැඩකිරීම
උමග දිවෙන්නේ පෙර කීවාක් මෙන් කඳුවැටියේ ඉහල සිට කිලෝමීටර දෙකකටත් වඩා ගැඹුරු මට්ටමේය. එසේම එම මට්ටමේ සිට ළගම ඇති පිටවීමටද ඇති දුර කිලෝමීටර ගණනාවකි. එවන් අවස්ථාවක උමග තුල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ටත් වඩා වැඩිවන අවස්ථා තිබේ. එවන් පසුබිමක උමගේ වැඩකරන සේවකයින් මුහුණ දෙන්නේ දැඩි පීඩාවකටය.
බාධා
උමං කනින්නේ සුවිසාල යන්ත්‍රයකින් වුවද යන්ත්‍රයටද දරාගත හැකි මට්ටමක් තිබේ. කඳුවැටියේ අභ්‍යන්තරයේ තිබූ තද පාෂාණ තට්ටු කොන්ක්‍රිට් මෙන් සය ගුණයක් සවිමත් පාෂාණ කුට්ටි වේ. ඒවා කණින යන්ත්‍රයෙන් විදගෙන යෑ හැකි නොවන අතර කුඩා කුඩා කොටස් වශයෙන් පුපුරුවාලිය යුතුය. යන්ත්‍රෙයන් කැනීමේදී වුවද සෑම ස්ථානයකදීම එකම ආකාරයෙන් කැණීම් කටයුතු කළ නොහැකිය. කඳුවැටියක අභ්‍යන්තරය හරහා කැණීම් කිරිමේදී පාෂාණ ස්ථර කිහිපයක්ම හමු වේ. එබැවින් ඒවාට සරිලන ලෙස කැනිම් යන්ත්‍රයද සකසා ගත යුතුය.
ඉවත්කිරීම් සැපයිම්
ඇතුලේ කණින ලස සෑම ගල් කුට්ටියක්ම නැවත විවරයකින් එලියට දැමිය යුතුවාක් මෙන්ම යම්තැනල ජල සංචිත වෙත්නම් ඒවා ඉවත්කිරීමද කළ යුතුය. උමග කැනීමෙන් පසුව මාර්ග තැනීමක් සිදුකළ නොහේ. කැනීමෙන් පසු අවට පස හෝ ගල් තලා වල තත්වය අනුව උමගේ බිත්ති සීල් කොට උමග වටා කොන්ක්‍රිට් ආස්තරයක් ඇතිරිය යුතුය.
ආරක්ෂාව
මෙවැනි උමං සාමාන්‍යයෙන් තැනෙන්නේ එකිනෙකට සමාන්තර වූ මාර්ග කිහිපයක් වන පරිද්දෙනි.. මේ උමගත් එසේම ද්විත්ව උමගකි. ඒ හරහා යම් අනතුරු දායක අවස්ථාවක් වුවොත් ඉවත්වීමේ පහසුකම ඇති මධ්‍යස්ථානද පිහිටුවා තිබේ.. උමගේ දුම්රිය බලයට අවශ්‍ය විදුලිය, වාතාශ්‍රය ඉඩපහසුකම් ආදී සියල්ලක්ම උමග කැණීමෙන් පසු සපුරා තිබේ.
දේශපාලනය සහ උමග
ගොතාඩ් උමග කනින අවස්ථාවේද විවිධාකාර පාරිසරික සංවිධාන ඒ සදහා විරෝධය දැක්වූයේය. අධිවේගී දුම්රිය මගින් ජනනය කෙනෙක අධිකතර ශබ්දය සහ කම්පනය කඳුවැටි වලට දරාගැන්මට අපහසු වේයැයි පරිසරවේදීහු පෙන්වාදුන්හ. පරිසරවේදීන් සහ අනෙකුත් පාර්ශව වලට නම්‍යශීලිව ඔවුන්ගේ මතය ද සැලකිල්ලට ගත් මුත් ව්‍යාපෘතිය අතරමග අතහැර දැමීමට ස්විස් රජය සූදානම් වූයේ නැත. ව්‍යෘපෘතියට වසර විස්සක කාලයක් ගත වුවද ස්විස් රජයේ සහාය ඒ වෙත හිමිවිය. තාක්ෂණයද හැකි උපරිමයෙන් යොදා ගැණිනි. එක් පසෙකින් පරිසර හානියක් සිදුවුවද අනෙක් පසින් ට්‍රක් රථ වල පටවාගෙන කඳුකර මගින් සෙමෙන් සෙමෙන් ඇදි ඇදි යන වාහන වලින් නිකුත් කෙරෙන දුම ගොතාඩ් ටනලය මගින් සැලකිය යුතු ලෙසින් අඩු කරනු ඇත.
නූතන ලෝකයේ වර්තමාන විස්කම් නිර්මාණයෝ වෙත් නම් එයින් උමං වලට සුවිශේෂී ස්ථානයක් හිමිවන අතර ඒ පුදුම උමං ලැයිස්තුවේ මුලම සිටීමට ගොතාඩ් ටනලයට හැකියාව ලැබී තිබේ.
Cover Image Source – wikipedia.org
Leave a Reply