උපන්දිනේත් එපා වෙන උපන්දින ව්‍යසන 7ක්

මුලින්ම​ මේ හෙඩිම බලපු මිනිස්සු හිතන්න ඇති උපන්දිනයක් ව්‍යසනයක් වෙන්නෙ කොහොමද කියල. එහෙම වෙන්න පුළුවන්. ඒක සමහර මිනිස්සුන්ගෙ හැටි නිසාත් වෙන්න පුළුවන් වගේම අපිව සතුටු කරන්න හෝ අපිට හොඳක් කරන්න උත්සාහ කරන මිනිස්සු නිසාත් සිද්ධ වෙන්න පුළුවන්. අන්න ඒ නිසා අපි මේ කියන උපන්දින ව්‍යසන ඔයාටත් වෙලා තියෙනවද කියලා අපිට කියන්න. ඒ වගේම මේ අතරින් සිද්ධ වෙනවට කැමති දෙයක් තියෙනවනං ඒ ගැන කියන්න. දකින කෙනෙක්හරි ඔයා වෙනුවෙන් ඒ දේ ඉටු කරාවිනෙ. හැබැයි බොහෝමයක් දෙනා මේ උපන්දින අර්බුද නිසා සැළකිය යුතු අපහසුතාවයකට ලක්වෙන විත්තියත් මතකයෙ තියාගන්න. මේ දේවල් පොඩ්ඩක් හිතලා මතලා කළොත් අවුල් තැවුල් අඩු කරගන්න පුළුවන් වෙයි.

 

1. සර්ප්‍රයිස්

මෙවුව ඉතිං බොහෝමයක් වෙලාවට සිද්ධ වෙන්නෙ පෙම්වතුන් පෙම්වතියන් අතරෙ තමයි. සමහරු සර්ප්‍රයිස් කියල කියන්නෙ කරදරයක් නැතුව ගිහින් නොසිතූ මොහොතක කේක් එකක් කපලා තමුන් ආදරය කරන කෙනාව පුදුම කරවන වැඩක්. ඒත් තවත් සමහරුන්ට ඒක මහ රෑ දොළහට අමු හෙළුවෙන් ඉද්දි යාළුවො එක්ක ගෙට පැනලා දෙන සර්ප්‍රයිස් එකක් මට්ටමට යනවා.​ මේ අවුල නිසාම සමහර සර්ප්‍රයිස්වලින් සිද්ධ වෙන සිත් තැවුල් නිසා සමහර ආදර සම්බන්ධතා බිඳිලා යන්නත් පුළුවන්. නිකමට හිතන්නකො ඔෆිස් එකේ වැඩ කර කර ඉන්න අතරෙ රෝස පාට තෑගි ගොඩක් අරං කෙල්ල මතු වුනාම ඔෆිස් එකේ කොල්ලට තියෙන තත්ත්වෙ.

 

2. කැමති නැති

මෙන්න මේකත් ආදරවන්තයො අතරෙ උපන්දිනේ දවසෙ සිද්ධ වෙන ප්‍රශ්නයක්. කෙල්ල කැමති නැති විදියෙ තෑග්ගක් කොල්ලෙකුට තෝරගන්න කොයිතරම් සම්භාවිතාවයක් තියෙනවද? ඔවු වරදින්න පුළුවන් ඉඩ අතිශය ඉහළයි. කෙල්ලො කෙල්ලොන්ගෙන් ආසාව වෙනස්. කැමතිම පාටක වුනත් ආස නැති ෂේඩ්ස් බොහෝමයක් කෙල්ලොන්ට තියෙනවා. අනික කෙල්ලො සතියෙන් සතියට වගේ කැමැත්ත වෙනස් කරනව. එනිසා කෙල්ලෙකුට තෑග්ගක් අරගෙන දෙද්දි හොඳට හිතලමතල හොයල බලල කරන්න ඕනේ. ප්‍රශ්නෙ වෙන්නෙ මෙන්න මේ තෑග්ග දුන්නම. ගෑණු ළමයිනං හා කියල අරගෙන ඒ තෑග්ග පාවිච්චි නොකර ඉන්නව. උදාහරණයකට අපි හිතමු ටීෂර්ට් එකක් කියල. සමහර ගෑණු ළමයිනං මං මේකට ආසා නෑ කියල මූණටම කියනව. හැබැයි පිරිමි ළමයිනං හිත රිදෙයි කියල හිතාගෙන අකමැත්තෙන් වුනත් ඒ දෙන තෑග්ග පාවිච්චි කරනව. ඉතිං ඒක ව්‍යසනයක් නෙමෙයිද?

 

3. බලහත්කාර පාටි

අපි ආශ්‍රය කරන සහ අපිට ආශ්‍රය කරන්න වෙන මිනිස්සු අතරෙ අපිට​ නොදිරවන උන් බොහෝමයි. ඒ නොදිරවන උන් නිසා අපිට අකමැත්තෙන් වුනත් පෙනී හිටින්න වෙන තැන් බොහෝමයි. ඉතිං මේ බලහත්කාරයෙන් සිද්ධ වෙන සෙට් වීම්වල තත්ත්වය තවත් නරක අතට හැරෙන්නෙ බලහත්කාරයෙන් දෙන්න වෙන පාටි නිසා. ඒ විදියට තමුන් කැමති නැති මිනිස්සුන්ට පාටි දෙන්න වුනාම හිතට කේන්ති යන්නෙ වියදං වෙන සල්ලි නිසා නෙමෙයි. වියදං කරන්න වෙන කාලය සහ මිනිස්සු නිසා.

 

4. ඔෆිස් ගොංපාට්

හප්පටසිරි! මේක ගැන නං අමුතුවෙන් කියන්න ඕන නෑ. ගෑණු ළමයිනං මේවට කැමතියි. හැබැයි කොල්ලො මෙහෙම ව්‍යසන වෙනවට කැමති නෑ. සාමාන්‍යයෙන් බර්ත්ඩේ එකට ඔෆිස් එකට කේක් එකක් දීලා ෂේප් වෙන තත්ත්වයක් තිබුනත් අනිත් පැත්තට ඔෆිස් එකෙන් මොනවද කරන්නෙ කියලත් හිතන්න එපැයි. අනිත් පැත්තට ඔෆිස් එකේ කට්ටිය ගිටාර් ගහලා, තොප්පි දම්මලා, කියුබිකල් එක සරසලා, පිස්සුවක් නටනව මදිවට ඒ පිස්සුව ෆේස්බුක් ලයිවු දුන්නම තියෙන ලැජ්ජාව ගැන හිතන්නකො.

 

5. හැමතැනින්ම කාලා කාලා බීලා බීලා

මේක සිද්ධ වෙන්නෙ හොඳටම සෝෂලයිස් මනුස්සයෙකුට. සෝෂලයිස් වුනේ ඇයි කියල හිතෙන තරමේ අවුලක් තමයි මේ. එහෙවු අයට එක පාටියක් විතරක් නෙමෙයි දෙන්න වෙන්නෙ. පාටි ගොඩක් දෙන්න වෙනවා. පාටි දුන්නෙ නැතත් දෙතුන් ගොල්ලක් එක්ක කෑම ටිකක් කන්නවත් රෙස්ටොරෙන්ට් එකකට යන්න සිද්ධ වෙනවා. මේ අර්බුදය නිසාම හැම තැනින්ම කාලා කාලා, බීලා බීලා ඉස්මුරුත්තාවට ඇවිල්ලා දවස් දෙකක් විතර යනකං පුදුමාකාර අපහසුතාවයකින් තමයි ඉන්න වෙන්නෙ. රාම තෙල් ඇර ඇර ඇඳේ වැටිලා ඉන්න ඇලයවත් මාරු කරගන්න බැරි අමාරුවක් ඒක.

 

6. අහන්න වෙන කතා

උපන්දින දවසට වැඩිහිටියන්ගෙනුත් අහන්න වෙන කතා තියෙනවා. උපන්දිනයක් දවසට කසාදයක් බැඳලා නැති එවුන්ට නාකි ටික වටවෙලා දැන් ඉතිං කසාදයක් කරගන්න කාලෙ හරි. තව කල් ගියොත් හම්පඩ ගැහිච්ච නාකි සුද්දියෙක් තමයි බඳින්න වෙන්නෙ වගේ කතා කියනවා. බැඳලා දරුවො නැති උන්ට දැන් ඉතිං දරුවෙක් හදන්න කාලෙ හරි. තව කල් ගියොත් ඉතිං දේවාල ගාණෙ යන්න වේවි කියනව. ඊටත් හපං දරුවෙක් හදපු උන්ට. දැන් ඉතිං දෙන්නටම වයස එකේ තව දරුවෙක් හැදුවනං මේ කොල්ලටත් පාළු නැහැනෙ. නේද පුතේ? අම්මිට කියන්න හොස්පිට්ල් ගිහින් තව නංගි බබෙක් ගේන්න කියල. අපිනං කියන්නෙ මෙහෙම කියන උන්ව මරන්න නීතියෙන් අවසර දෙන්න ඕන කියලයි.

 

7. සැක සිතීම්

මේක තමයි මේ ව්‍යසනවලින් ලොකුම ව්‍යසනේ. ඔන්න බර්ත්ඩේ එක දවසෙ ඔෆිස් නොගියොත්, එදාම එහා පැත්තෙ කියුබිකල් එකේ හිටපු කෙල්ලත් ඇවිල්ල නැත්තං බඩු බනිස්. ඔෆිස් එකම පද හදනව දෙන්න එක්ක කාමරේක බර්ත්ඩේ සමරනව ඇති කියල. ඒ අස්සෙ බර්ත්ඩේ එක දවසෙ දිග ​කෝල් එකක හිටියොත් කෙල්ලගෙන් ප්‍රශ්න වැලයි. බර්ත්ඩේ එක දවසෙ ගෙදරින් ලස්සනට ඇඳගෙන ගියොත් අම්මගෙන් ප්‍රශ්න වැලයි. වැලන්ටයින් ඩේ පරාදයි.

 

ඔයාලත් මේ ව්‍යසනවලින් අඩකින්වත් මිදෙන්න. ෆේස්බුක් එකෙන් බර්ත්ඩේ එක හංගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *