ඔබත් සීරියස් බයික් රයිඩර් කෙනෙක් නම් මේ අංගෝපාංගයන් අනිවාර්යයෙන් ඔබ ළඟ තිබිය යුතුයි.

මෝටර් සයිකල් එකක් කියන්නේ හැමෝම පදින වාහනයක් නෙවෙයි. සමහරු ආස වුනත් බයයි, මෝටර් සයිකල් එක ආරක්ෂාවෙන් අඩු වාහනයක් කියලා. එතකොට මෝටර් සයිකල් පදින හැම කෙනෙක්ම බයිකර් කෙනෙක් විදියට සලකන්නත් බෑ. හැබැයි බයිකර් සංස්කෘතියක ඉන්න සීරියස් බයිකර් කෙනෙක් ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් එදිනෙදා මෝටර් සයිකල් පදින කෙනෙක්ටත් වඩා ආරක්ෂාව ගැන හිතනවා. ඒ නිසාම බයිකර් කෙනෙක් මෝටර් බයිසිකලයට නගින කොට ආරක්ෂාවට වගේම පහසුවටත් අවශ්‍ය කරන අංගෝපාංගයන් ගැන දෙපාරක් හිතනවා. සමහර වෙලාවට ඔබට මෝටර් සයිකලය කියන්නේ ගමන් පහසුවට, එක තැනක ඉඳලා තව තැනකට යන්න පාවිච්චි කරන ප්‍රවාහන ක්‍රමයක් විතරක් වෙන්න පුලුවන්. එහෙම වුනත් සීරියස් බයිකර් කෙනෙක් පාවිච්චි කරන මේ අංගෝපාංගයන්, උපකරණයන් තමන් ගාවත් තියාගන්න එක ගැන පොඩ්ඩක් හිතන එක වටිනවා.

 

1. ටූල් කිට් එකක්

Image Source – youtube.com

මේක ඇත්තටම වැදගත් වෙන්නේ ටිකක් දුර ගමන් වල යෙදෙන බයිකර් කෙනෙක්ට. ඒ කියන්නේ මෙහෙමයි. දැන් මෝටර් සයිකලයක් මගදී නොයෙක් ආබාධයන්ට ලක් වෙන්න පුලුවන්. කාබරේටරේ හෝස් එකෙන් පනින්න පුලුවන්. පැච් එකක් යන්න පුලුවන්. ස්ටාට් වෙන්නෙ නැතුව යන්න පුලුවන්. ක්ලච් කේබල් එකක් කැඩෙන්න පුලුවන්. වෙන ඕනම කොටසක් කැඩෙන්න, බුරුල් වෙන්න පුලුවන්. මේ වගේ හදිසි ගැටළු හැමදාම සිද්ධ වෙන්නෙ නෑ, බය වෙන්න එපා. හැබැයි හදිසියේ මෙහෙම දෙයක් වුණු වෙලාවක, අහල පහල ගරාජ් එකක් එහෙමත් නැතිනම් වැඩේ තමන්ටම ගොඩදාගන්න තරම් ප්‍රමාණවත් කාර්මික දැනුමක් ඕනම බයිකර් කෙනෙක්ට තියෙන්න ඕන. ගොඩක් ගැටළු ඇත්තටම කාර්මික දැනුම සහ අවශ්‍ය මෙවලම් තියෙනවා නම් තමන්ටම ගොඩදාගන්න පුලුවන්. ආන්න ඒ නිසා තමයි ටූල් කිට් එකක් අවශ්‍ය කරන්නේ. සාමාන්‍යයෙන් ඔය ලොකු කෘසර් බයික් එක්ක එහෙම ටූල් කිට් එකක් එනවා. තමන්ගේ බයික් එකත් එක්ක එහෙම ටූල් කිට් එකක් ඇවිත් නැතිනම් එකක් මිලදී ගෙන ළඟ තියාගන්න එක වටිනවා.

 

2. රයිඩින් ග්ලව්ස්

Image Source – youtube.com

ගොඩක් දෙනෙක් රයිඩින් ග්ලව්ස් පාවිච්චි කරනවනේ. හැබැයි වැඩි දෙනෙක්ට රයිඩින් ග්ලව්ස් අවශ්‍ය වෙන්නේ සෝබනේට. හරි, සෝබනේට දැම්මත් ආරක්ෂාව ලැබෙනවා. හැබැයි රයිඩින් ග්ලව්ස් මිලදී ගන්නකොට තමන්ගේ අතට හරියට ‍ෆිට් වෙන, සුවපහසුවෙන් පැළඳගෙන ඉන්න පුලුවන්, හොඳ ඝනකමක් තියෙන අමුද්‍රව්‍යයකින් නිර්මාණය කරපු එකක් තමයි ගන්න ඕන. රයිඩින් ග්ලව්ස් පාවිච්චි කිරීමෙන් අත් දෙක පරෙස්සම් කරගන්න පුලුවන්. ඒ වගේම හැන්ඩ්ල් බාර් එක අල්ලගන්න කොට, නිකම්ම අත් දෙකෙන් අල්ලගන්නවට වඩා හොඳ දෘඩ ග්‍රහණයකුත් ග්ලව්ස් නිසා ලැබෙනවා. ඒක ආරක්ෂාවට වැදගත්.

 

3. හුක් ස්ට්‍රින්ග් වොලට්

Image Source – msvmotor.com

දැන් මෝටර් බයික් රයිඩර් කෙනෙක්ගේ පිටිපස්සේ සාක්කුවේ තියෙනවනේ වොලට් එක. ඒක සාක්කුවේ පහළටම බැහැලා, සාක්කුව හොඳට සීට් එකට තදවෙලා තියෙනකල් කිසිම අවුලක් නෑ. හැබැයි ඉතින් මනුස්සයෙක්ට එකම ඉරියව්වෙන් සෑහෙන දුරක් රයිඩ් කරන්න බැහැනේ. ආන්න එතකොට ඉරියව්ව මාරු වෙන වෙලාවක එහෙම ඔය වොලට් එක සාක්කුවෙන් උඩට එන්න පුලුවන්. විශේෂයෙන්ම සාක්කුවට වඩා පොඩි වොලට් එකක් නම් මෙහෙම සාක්කුවෙන් පිටතට ඇවිත් වැටෙන්න තියෙන ඉඩ වැඩියි. එතකොට බයික් එකේ යනකොට වොලට් එක වැ‍ටුණොත් පාරේ තමයි. ආයෙ හොයනවා බොරු!

ඔන්න ඔය ගැටලුව නිසා, බයික් රයිඩර් ලට අනන්‍ය වුණු වොලට් වර්ගයක් තියෙනවා. මේ වොලට් එකේ එක කොණකට අමුණපු දම්වැලක් තියෙනවා. මේ දම්වැල සවි වෙන්නේ කලිසමේ ලූප් එකකට. ඔය ‍ෆිල්ම් වල ඉන්න බයිකර්ස්ලාගේ අර ඉණ පැත්තට ආපු චේන් එකක් තියෙන්නේ ඕක තමයි. දැන් ස්ටයිල් එක පැත්තකින් තිබ්බත්, මේ විදියේ හුක් ස්ට්‍රින්ග් වොලට් එකක් පාවිච්චි කිරීමෙන් වොලට් එක නැති නොවී බේරගන්න පුලුවන් බයික් එකේ යනකොට.

 

4. බැන්ඩානා

Image Source – pinterest.com

බැන්ඩානා කියන්නේ අර ඔලුවේ ගැටගහන ලේන්සුවට. ටිකක් ගැන්ග්ස්ටාර් ලුක් එකක් එන නිසා බෑ බෑ වගේද? හරි, ගැටළුවක් නෑ. ප්‍රධාන වශයෙන්ම නිතර හෙල්මට් එකක් පළඳින කෙනෙක් නම්, හෙල්මට් එකට උඩින් ඔලුවට මොකක් හරි දෙයක් පළඳින්න ඕන. ඒක තමන්ගේ කොණ්ඩේ ආයුකාලයට වගේම, හෙල්මට් එකේ ඇතුළත කුෂන් එකේ ආයුකාලයටත් හොඳයි. සමහරු කැප් එකක් දාලා හෙල්මට් එක දානවා. ඒක අවුලක් නෑ, කැප් එකට උඩින් හෙල්මට් එක හොඳින් ‍ෆිට් වෙනවා නම්. එහෙම නැතිනම් හෙල්මට් එකට යටින් පළඳින්නම වෙනම රෙදි කැප් විශේෂයක් තියෙනවා. එහෙමත් නැතිනම් බැන්ඩානා විදියටම හදලා තියෙන රෙදි වලින් හදපු හිස් ආවරණ තියෙනවා. ඒක කෙලින්ම ඔලුවට දාගන්න පුලුවන්. එහෙමත් නැතිනම් ඉතින් නියම බයිකර් කෙනෙක් විදියට බැන්ඩානා ලේන්සුවක් අරගෙන ගැටගහගන්න තමයි තියෙන්නේ!

 

5. රයිඩින් බූට්ස්

Image Source – returnofthecaferacers.com

ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවනේ බොහොම සැහැල්ලු හාෆ් ෂූස් දාගෙන, සමහර වෙලාවට සෙරෙප්පුත් දාගෙන බයික් රයිඩ් කරන කොල්ලෝ. ආන්න ඒ වගේ හාදයෝ පොඩි ඇක්සිඩන්ට් එකකදී වුනත් කකුලට කරගන්න හානිය ඉතාම විශාලයි. මෝටර්බයික් එකක් පදිනවා නම් රයිඩින් බූට්ස් අනිවාර්යයෙන්ම පළඳින්න කියලා කියන්නේ හේතුවක් ඇතුව. රයිඩින් බූට්ස් නිසා අනතුරකදී කකුලට සහ වළලුකරට වෙන්න පුලුවන් හානිය විශාල වශයෙන් අවම වෙනවා. රයිඩින් බූට්ස් නැතිනම් අර හැඩි දැඩි වර්ක් බූට්ස් වුනත් කමක් නෑ. හැබැයි ඒ වර්ක් බූට්ස් ඉක්මනටම ගෙවෙන්න බලනවා. ආන්න ඒ නිසා රයිඩින් බූට්ස් කියන්නේ සීරියස් බයික් රයිඩර් කෙනෙක්ට අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක්.

 

6. රයිඩින් ජැකට්

Image Source – pinterest.com

මෝටර් බයිසිකලයක් පදිනකොට සාමාන්‍යයෙන් ජැකට් එකක් පළඳිනවාමනේ. ගොඩක් අය මෙහෙම ජැකට් එකක් පළඳින්නේ දුහුවිල්ලෙන් ආරක්ෂා වෙන්න. ඔය නගරයේ එහා මෙහා යනකොට නම් සාමාන්‍ය ජැකට් එකක් තිබ්බහම ඇති. හැබැයි දුර ගමන් කරනවා නම් අනිවාර්යයෙන්ම හොඳ රයිඩින් ජැකට් එකක් තියෙන්න ඕන. හොඳ රයිඩින් ජැකට් එකක් නිර්මාණය වෙන්නේ කල් පවතින, දැඩි අමුද්‍රව්‍යයකින්. එතකොට ඇඟට ‍ෆිට් වුනත් හොඳ සුවපහසුවකුත් මේ රයිඩින් ජැකට් එකකින් තියෙනවා. දුහුවිල්ලෙන් සහ කාලගුණ තත්ත්වයන්ගෙන් ලැබෙන ආරක්ෂාවට අමතරව අනතුරකදී වුනත් ඉහළ ආරක්ෂාවක් රයිඩර්ට මේ විදියේ ජැකට් එකකින් ලැබෙනවා.

 

7. ෂෙමාග්

Image Source – aliexpress.com

මේක නම් ගොඩක් දෙනෙක්ට හුරු වචනයක් නෙවෙයි. හැබැයි ෂෙමාග් එකක් කියන්නේ සෑහෙන්න ලොකු, දුහුල් රෙදි වර්ගයකින් නිර්මාණය කරපු ලේන්සුවකට. අර අරාබියානු රටවල මිනිස්සු ඔලුවේ එහෙම ඔතාගෙන ඉන්නේ, අන්න ඒවා. සාමාන්‍යයෙන් දුර ගමන් යන සංචාරකයෙක්ට ෂෙමාග් එකක් තියෙන එක ඉතාම වටිනවා. එකක් තමයි මුහුණේ පහළ කොටස සහ බෙල්ල ආවරණය කරගන්න පුලුවන් වැස්මක් විදියට. ඒ වගේම ෂෙමාග් එකෙන් දහදිය උරාගන්න නිසා පහසුවක් තියෙනවා.

ඇයි හෙල්මට්? ඔව්, ඒක තමයි වැදගත්ම කාරණාව. හැබැයි අපි ඒක ගැන වැඩි විස්තර කියලා බයික් පදින මනුස්සයෙක්ට අගෞරව කරන්න හිතන්නේ නෑ. මොකද හරි විදියේ, ආරක්ෂාකාරී හෙල්මට් එකක් ‍තෝරගන්න දන්නෙ නැති මනුස්සයෙක් බයික් එකකට නගින්නත් සුදුසු නැති නිසා!

Cover Image Source – thedailybeast.com

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *