ගෙදර අලංකාරයට බඩු ගන්න කලින් මේ දේවලුත් හිතන්න

අපේම කියල ගෙයක් දොරක් කියන්නෙ කාගෙත් හීනයක්. හැබැයි අද කාලෙ ගෙයක් හදනවා හෝ මිලදී ගන්නවා කියන්නෙ සුළුපටු කාරණාවක් නම් නෙමෙයි. ඉඩම් වල මිල ගණන්, අමුද්‍රව්‍ය වල මිල ගණන්, බාස් කුලී බැලුවම ණයක් නොවී ගෙයක් හදන්න පුළුවන් කීයෙන් කී දෙනාටද. ඒ විතරක් නම් බැරියැ. දැන් මේ ගේ ලස්සනට හදාගත්තට පස්සෙ ලස්සන බඩු මුට්ටු ටිකක්, ඒ කිව්වේ ඔය සෝෆා, කෑම මේස, අල්මාරි වගේ ඒවා තව ගෙදර අලංකාරය වැඩි කරන පොඩි පොඩි බඩු මුට්ටු ටිකක් එහෙම අරගෙනම එපැයි මේ පොජෙක්ට් එක කම්ප්ලීට් කරන්න. එහෙම ගෙදරකට බඩු ගන්නකොට ගන්නන් වාලෙ අතේ තියෙන සල්ලි ටික වියදම් නොකර මේ කාරණා ගැනත් හිතල බලනවනම් වැඩේ ලස්සනට කෙරෙයි. 

 

 

1. ගෙදර ස්වභාවය

මේ ස්වභාවය කියල කියන්නෙ ගෙදර හදද්දි ඔයා ප්ලෑන් කරගෙන හිටපු විදිහ සරලවම. ඒ කියන්නෙ ගෙදර මොකක් හරි තීම් එකකටද හදල තියෙන්නෙ එහෙමත් නැත්තම් මෙන්න මේ විදිහෙ ෆිනිෂින් එකක් තමයි තියෙන්න ඕන කියලා ඔයාගෙ හිතේ තිබුන මූලිකම අදහස. තීම් එකකට හදපු ගෙදරකනම් ඒ තීම් එකට ගෙදර තියෙන ගෘහ භාණ්ඩ වල ඉඳලා හැම දෙයක්ම ගැලපෙන්න ඕන. දැන් වෙළඳපොලේ ඔය තීම් වලට ගැලපෙන දේවල් ඕන තරම් ගන්න පුළුවන්. හැබැයි ඉතින් වියදම තමයි ටිකක් ඉහල. ඒ නිසා හොඳම වැඩේ තමයි ගෙයක් හදන මූලික අදහස ක්‍රියාත්මක කරන්න පටන් ගන්න දවසෙ ඉඳන්ම මේ හිතේ තියෙන අදහසට ගැලපෙන්න පොඩි පොඩි දේවල් එකතු කරගන්න, මිල අඩු තැන් හොයල බලන්න. 

 

 

2. ගෙදර පිහිටීම 

මේ පිහිටීම කියන්නෙ ගෙදර පිහිටලා තියෙන ප්‍රදේශය කියන එකයි මූලිකවම. උදාහරණයක් විදිහට මුහුදක් අද්දර වගේ හදන ගෙදරක්නම් හුළඟත් එක්ක එන ලවණ ගතිය නිසා ගෙදර ලෝහමය බඩු භාණ්ඩ ගැන වැඩි අවධානයක් දෙන්න වෙනවා. ගන්නවානම් හොඳට හොයල බලල හොඳම මල නොබැ​ඳෙන වානේ භාණ්ඩ ගන්න වෙනවා. ඒ වගේම වාර්ෂිකව බොහෝවිට ගංවතුර අවදානමට ලක්වෙන රත්නපුර පැත්තේ වගේ ගෙයක්නම් වතුරෙන් හානි වෙන දැවමය ගෘහ භාණ්ඩ වලට අවදානමක් තියෙනවා. ඒ වගේ දේවල් ප්ලෑන් කරනවානම් වතුර එන්නේ නැති ඉහ​ළ මාලයකට වගේ තමයි ගන්න ඕනේ. 

 

 

3. Material එක

මේ කියන්නෙ අදාළ භාණ්ඩ හදල තියෙන මැටීරියල් එක, ඒ කියන්නෙ අමුද්‍රව්‍ය ගෙදර පරිසරයත් එක්ක කොච්චර ගැලපෙනවද කියන එකයි. ඒ වගේම තමන්ගෙ බජට් එකත් එක්ක කොච්චර ගැලපෙනවද කියන එක. ගෙදර අයගේ ක්‍රියාකාරකම් එක්ක කොච්චරක් ගැලපෙනවද කියන එක. පොඩි ළමයි ඉන්න ගෙයක්නම් කැඩෙන බිඳෙන බඩු හරියන්නෙ නැහැ. 

ඒ වගේම ගෙදරකට ගන්න බඩු අපි ගන්නෙ කාලයක් පවතින්නනෙ. හැබැයි නිතර එහා මෙහා කරන බඩු මූට්ටු, ඒ කිව්වේ කුලී ගෙවල් මාරු කරනකොට හෝ නැත්තම් ගේ ඇතුලෙම එහා මෙහා කරන දේවල් කැඩෙන්න තියෙන අවදානම වැඩියි. ඉතින් එහෙම බඩු වලට ලොකුවට වියදම් නොකර යන්තම් ශේප් වෙන ප්ලාස්ටික්, ලෝහ වගේ මිල අඩු අමු ද්‍රව්‍යයන්ගෙන් හදපු දේවල් ගන්න එක තමයි නුවණට හුරු. 

 

 

4. දරුවන්ගේ ආරක්ෂාව

පුංචි දරුවො ඉන්න ගෙදරකනම් ඔක්කොටම කලින් බලන්න ඕන දරුවන්ගෙ ආරක්ෂාව. ගෙදර ලස්සනට කියලා වීදුරු භාණ්ඩ එහෙම තියන එක එච්චර ආරක්ෂාකාරී නැහැ. කැඩිලා අනතුරු වෙන්න පුළුවන් ඇසිපිය ගහන ඇසිල්ලකින්. ඒ වගේම තමා කොච්චර අලංකාරය ගැන හිතුවත් ළමයින්ට නගින්න පහසු විදිහේ මේස එහෙමත් අනතුරු දායකයි. ළමයි එක්ක බඩු පරිස්සම් කරන්නත් බැරි එකේ පුංචිම ළමයි ඉන්න ගෙදරක්නම් ගෘහ අලංකරණය ගැන හිතන එක ළමයි ටිකක් ලොකු වෙනකන් පස්සට දාන එක තමයි කරන්න පුළුවන් හොඳම දේ. නැත්තම් සල්ලියි, කාලයයි දෙකම අපරාදෙ. ළමයින්ගෙ ආරක්ෂාවත් අවදානමේ.

 

 

5. අවශ්‍යතාවය

කොච්චර ලස්සන බඩු තිබ්බත් වැඩක් නැහැ ඒවගෙන් ගෙදර අවශ්‍යතා පිරිමැහෙන්නෙ නැත්තම්. උදාහරණයක් හැටියට ලස්සනට පැන්ට්‍රි කබඩ්ස් ගහපු ලොකූ කුස්සියක් හදාගත්තට ඒ කුස්සිය හැඩි වෙනවට බයේ උයන එක දවසේ කාලය සෑහෙන්න අපතේ යන වැඩක්. ඒ නිසා ඒ ගැන හිතලා ගෘහ අලංකරණය සැලසුම් කරන්න ඕන. ගෙදර ඉන්න සෙනඟ ප්‍රමාණය, ගෙදරට නිතර එන යන ප්‍රමාණය ගැන හිතලා ප්‍රමාණවත් පුටු, හැමෝටම ඉඳගන්න පුළුවන් ප්‍රමාණයේ කෑම මේසයක් වගේ මිලදී ගන්නයි ඕන. 

 

 

6. වගකීම

ලොකු ගා​ණක් වියදම් කරලා බඩු මූට්ටු ගන්න එකේ අනිවාර්යෙන්ම ඒ භාණ්ඩ වලට මිලදී ගන්න ආයතනයෙන් ලබාදෙන වගකීම් සහතිකය ගැනත් හිතලා බලන්න ඕන. මොකද නිතර නිතර එන අලුත්වැඩියාවන්, මල බැඳීම් වගේ දේවල් එහෙම ආයතනයෙන් වගකීමක් අරන් හොයල බලන්නෙ නැත්තම් ඉස්සරහට ඒවාට අයෙමත් වෙනම වියදම් දරන්න වෙනවා. ඒ නිසා හොයලා බලලා වගකීමක් සහිත තැනකින් බඩු ගන්න එකත් හරිම වැදගත් දෙයක්.  

 

 

7. බජට් එක

අන්තිමට කතා කළාට මේක තමයි ඔක්කෝටම වඩා වැදගත්ම. ගෙයක් හදන්නත් හුඟක් දුරට ණය වෙන්න වෙන එකේ මහ ලොකූ බඩු මූට්ටු ගන්නත් තවත් ණය වෙන එකනම් එච්චර නුවණට හුරු වැඩක් නෙමෙයි. ඒකයි අපි කලින් කිව්වෙත් මුල ඉඳන්ම අඩු මිලට බඩු ගන්න පුළුවන් තැන් හොයල බලන්න කියලා. එහෙම හොයල බලලා මුල ඉඳන්ම සරල අදහසක් ඔලුවේ තියාගන්න මේ මේ දේවල් තමයි ගන්නෙ කියල. ඒකට අවශ්‍ය බජට් එකත් හදලම තියාගන්න. දැක්ක දැක්ක පලියට ලස්සනට ආස වෙලා බඩු ගන්න ගියොත් බජට් එක අවුල් යනවා විතරක් නෙමෙයි තීම් එකට නොගැලපෙන බඩුත් අරගෙන නිකන්ම ගොඩ ගැහෙන්න පුළුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *