තාක්ෂණික සමාගම්වල ආකර්ෂණීය ප්‍රධා​න කාර්යා​ල ගැන විස්තර

ලංකාවෙ නම් ඔෆිස් ස්පේස් එකක් කියන්නේ කොටුවුන තැනක්. ඒ අවකාශය නිසා අපිට ටික දවසක් යද්දි කායික, මානසික අපහසුතාවයන් ඇතිවෙනවා. ඉන් පස්සේ ඇතිවෙන වර්ක් ස්ට්‍රෙස් නැතිවෙන්න අපි චාරිකාවන් යනවා, විනෝද ගමන් යනවා. දැන් මේ වර්කින් ස්ට්‍රෙස් අඩුවෙන්න වගේම පරිසරයට හිතකාමී නව මූලස්ථාන ශාඛා වලට යන්න තාක්ෂණික සමාගම් අතර තරඟයක් තියෙනවා. මේ තාක්ෂණික නූතන අවකාශයන් කොපමණ ජනප්‍රිය වෙලාද කියනවා නම් ඇමරිකාවේ තියෙන මේ ගූග්ල්, ඇමසන්, මයික්‍රොසොෆ්ට් ෆේස්බුක් මූලස්ථාන බලන එකත් තවත් එක සංචාරක අත්දැකීමක් වෙලා තියෙනවා.

 

1. ටෙක් කම්පැනි වලට මොඩර්න් හෙඩ්ක්වාටර්ස් අවශ්‍ය ඇයි?

 

ටෙක් සමාගම් කියන්නේ තවදුරටත් ගැජට් නිපදවන සමාගම් පමණක් නොවෙයි. ගූග්ල්, මයික්‍රොසොෆ්ට්, ෆේස්බුක් වගේ සමාගම් ගත්තොත් එයාලගේ මූලික වැඩකටයුතු තියෙන්නේ මෘදුකාංග සහ වෙබ් අවකාශය පැත්තේ. ඉතින් මේ සමාගම් වල මූලස්ථාන දියුණුවට පවත්වාගන්න එක එයාලට හැම අතින්ම වාසියක්. එක් පැත්තකින් ඒ තැන් ටෙකී ලෝකය අතර වගේම සංචාරකයින් අතරත් ජනප්‍රිය වෙනවා. අනෙක් පැත්තෙන් ජනාකීර්ණ නගරයක ගොඩනැගිල්ලක් කුලියට ගන්නවාට වඩා සේවකයින්ට මේ වගේ විශාල නිදහස් අවකාශයක වැඩකටයුතු කිරීම ලොකු පහසුවක් වෙනවා. මේ සඳහා සමාගම් වියදම් කරන්නේ ඩොලර් බිලියන ගණනින්. ඇමසන් සමාගම ඔවුන්ගේ මූලස්ථාන ගොඩනැගිල්ලට තියෙන ආකර්ෂණය නිසාම දෙවැනි මූලස්ථානයක් ගොඩනගන්න යනවා. ඒකට වියදම ඩොලර් බිලියන 5කට වැඩිය යයි කියලා ඇස්තමේන්තු කරලා තියෙනවා.

 

2. මොනවද අරමුණු? 

ටෙක් සමාගම් වල නූතනයේ වැඩ කරන ලොකු ලොකු මහත්වරුන්ට වැඩ කරන්නට වෙන්නේ බොහෝවිට අපි බොහෝ දෙනෙක්ට වගේ ලැප්ටොප් එහෙම නැතිනම් ඩෙස්ක්ටොප් කම්පියුටරයක් ඉස්සරහා. මේක බෝරින් වගේම සෞඛ්‍යයට හොඳ නැති දෙයක්. ඒ නිසා බිල්ඩින් සැලසුමම ටිකක් වෙනස් විදිහට හදලා, මේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන බිත්ති හතරකින් වටවුන සිරගෙවල් මාදිලි කන්තෝරු සහ නිවාස කාමර වලට වඩා වෙනස් අත්දැකීමක් දෙන්න මේ සමාගම් උත්සාහ ගන්නවා. ඇපල් සමාගමේ මූලස්ථානය තනිකර තඩි මුද්දක් වගේ. තට්ටු තුන හතරක විශාල රවුම් බිල්ඩින් එකක් තමයි ඔවුන් මූලස්ථානය කරගන්නේ. ෆේස්බුක් ගොඩනැගිලිත් බොහොමයක් තට්ටු ගණන් උස ඒවා නෙමෙයි. ඒ හරහා ඔවුන් අවකාශ වඩාත් ප්‍රියමනාප සහ ස්ට්‍රෙස් අඩුවෙන විදිහට නිමවන්න උත්සාහ අරන් තියෙනවා. ඒ වගේම ක්‍රීඩා කටයුතු, මසාජ්, විනෝද කටයුතු වලටත් මේ මෙගා ටෙක් සිටි වල පහසුව තියෙනවා. ඇතැම් තැන්වල ටෙක් සිටි නැතිනම් මූලස්ථාන වල දරුවන් යවන්න පාසැල්, කාර්යමණ්ඩල නවාතැන් පවා කදිමෙට සැලසුම් කරලා ඉදිකරලා තියෙනවා.

 

3. වාසි

අපි ලංකාවේ ගත්තොත් වැඩට යනවා කියන්නේ කොයි කාට වුණත් අප්පිරිය අත්දැකීමක්. උදේ හතට අටට දවල්වෙන්න අවදිවෙලා විනාඩි දහයක විතර බයිසිකල් ගමනකින් කන්තෝරු යන්න එන්න තියෙනවා නම් මැක්සා නේද? ආන්න ඒ වාසිය මේ ටෙක් කම්පැනි වල වැඩට යන අයට ලොකු ටෙක් සිටි ආකාර මූලස්ථාන නිසා ලැබෙනවා. ඒ වගේම මේ තැන්වල විවිධ පර්යේෂණ සහ ව්‍යාපාරික කටයුතු ආදියටත් මේ තියෙන නැවුම් වටපිටාව ආශීර්වාදයක්. අපි වගේම තවත් ලොකු ලොකු කෝටිපති අය වුණත් මේ වගේ තැනකට ඇවිත් කතාබහ කරලා, මීටින් එකකට ඉඳලා, තේ වතුර එකක් බීලා යන්න ආසාවෙන් ඉන්නවා. බෙහෝ බොහෝ අංශ එකම තැනක තිබෙන නිසා ආයතනයට වගේම අදාළ රටටත් බලශක්තිය, කාලය වගේ දේවල් ඉතුරු වෙනවා. පරිසර දූෂණයත් අවම වෙනවා. 

 

4. ගූග්ල්ප්ලෙක්ස් (Google Googleplex)

කැලිෆෝනියාවේ පිහිටා තිබෙන ගූග්ල් මවුන්ටන් වීව් අක්කර දොළහක් පුරා විසිරී පැතිරී තියෙනවා. මේ බිල්ඩින් අතර එහා මෙහා යන්න ගූග්ල් සමාගමේ ජී බයික්ස් තියෙනවා. ඒ වගේම ඕගනික් ෆාම්, ටෙනිස් පිටි, බීච් වොලිබෝල් පිටි වගේම නිදහස් අවකාශ රැසක් මේ ගූග්ල් අවකාශයේ තියෙනවා. ගූග්ල් සමාගමේ ලාංඡන විදිහට තියෙන ෆ්ලෙමින්ගෝ සහ ටී රෙක්ස්ගේ විශාල අනුරූද මේ සංකීර්ණයකට අයිති වෙනවා. මේ මූලස්ථානයට වෙනත් අයට යන්න දෙන්නේ අඩුවෙන්. ඒ නිසාම ඒ අවට වෙනත් තැනක ඇන්ඩ්‍රොයිඩ් එක එක සංස්කරණයන්ට අදාළ රසකැවිලි වල විශාල අනුරූ ඉදිකර තියෙනවා. ඒ ආසන්නයේම ගූග්ල් විසින් නව අවකාශයක් සිය කාර්යමණ්ඩලය වෙනුවෙන් ඉදිකරගෙන යනවා.

 

5. ඇපල් පාක්

ඇපල් පාක් එකේ ඔක්කොම සෙනඟ 12,000කට විතර ඉන්න පහසුකම තියෙනවා. අක්කර 175ක විසිරිලා තියෙන මේ ඇපල් පාක් එක ගුවනට පේන්නේ විශාල මුද්දක් හැඩයට. එහි ඇතුළත කොටස කොළ පාටට පේන්න ලස්සනට වගා කරලා තියෙනවා. මේ කැම්පස් එක හරහා සැතපුම් දෙකක ඇවිදින මංතීරු තියෙනවා. ඒ මගින් වැඩකරලා මහන්සි උනාම සේවකයින්ට ඇවිදලා කියලා විවේකයක් ගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මේ බිල්ඩිම සතුව 1,000කට ආසන තියෙන විශාල ශ්‍රවණාගාරයක්ද තියෙනවා. මේ ඇපල් මූලස්ථානයක් බලන්නත් ලොකු උනන්දුවක් සංචාරකයින් අතර තියෙනවා. ඒත් සංචාරකයින්ට නරඹන්න මූලික බිල්ඩිම නැතුව වෙනත් තැනක ඒ මූලික බිල්ඩිමේ තියෙන ආකෘතියේම තැනක් ඇපල් සමාගම විසින් සකස් කරලා දීල තියෙනවා.

 

6. සේල්ස්ෆෝස් ටවර්, සැන් ෆ්රැන්සිස්කෝ

මේ ටවර් එකේ තියෙන විශේෂත්වය තමයි මේක විවිධ වර්ණයෙන් ආලෝක කරන්න පුළුවන් නවීන බිල්ඩින් එකක් වීම. මේක පිහිටලා තියෙන්නේ සැන් ෆ්රැන්සිස්කෝ වල. මේ බිල්ඩිම තට්ටු 61ක්, වටිනාකම ඩොලර් බිලියන 1.1ක් විවෘත කළේ 2016 දී. රෑට විවිධ පාට ලයිට් වලින් හැඩ වුණාට දවල් කාලයට මේ ගොඩනැගිල්ලේ ඔෆිස් වලට සූර්යාලෝකය කෙලින්ම ලබාගන්න පුළුවන් ආකාරයට සැලසුම් කරලායි තියෙන්නේ. ඒ වගේම මේ ඔෆිස් අවකාශ තනා තියෙන්නේ ඒ ඒ අවස්ථාවට, අදාළ අයට තමුන්ගේ පුටුව තියෙන විදිහ වෙනස් කරගන්න පුළුවන් විදිහට. සෑම තට්ටුවකම වැඩකරන අයට භාවනා කරන්න කාමරයක් සහ ඒවාට අදාළ පොත පත තියෙනවා. මෙහි ඇතුළත අවකාශයන් ස්වාභාවික පරිසරය හා සමාන වෙන්න ගස් කොළන් වවලා නිමවලා තියෙනවා.

 

7. ෆේස්බුක්

වර්ග අඩි ලක්ෂ හතරකට වඩා විශාල අවකාශයක් තියෙන ෆේස්බුක් අවකාශය මෙන්ලෝ පාක් යනුවෙන් හැඳින්වෙනවා. ඒක තියෙන්නේත් කැලිෆෝනියාවේ. මේක මුලින්ම හැදුවේ 2015 දී. ඒත් පසුකාලීනව තව තවත් මේ තැන පුළුල් කරන්න ෆේස්බුක් වැඩ කටයුතු කළා. අක්කර 9ක කොළ පාට වහලවල් විදිහට තියෙන ස්වභාවික ගස් කොළන් සහිත වටපිටාවක් ෆේස්බුක් මූලස්ථානයට තියෙනවා. මේ බිල්ඩිමේ ෆ්ලෝ ප්ලෑන තියෙන්නේ ඕපන් ස්පේස් විදිහට. ඒ වගේම මේකේ තියෙන කලා නිර්මාණ සහ ගෘහ නිර්මාණ ශිල්පයන් ඒ යාබද සිටින දක්ෂ නිර්මාණකරුවන් ලවා තමයි කරගෙන තියෙන්නේ. හයිවේ එකක එහා පැත්තේ තමයි ෆේස්බුක්ලගේ ටිකක් පරණ හෙඩ් ඔෆිස් එක තියෙන්නේ. එතන්ට යන්න උමඟක් තියෙනවා. ඒ හරහා බයිසිකල් එකක් පැදගෙන එහා පැත්තේ පරණ ඔෆිස් එකට යන්නත් වැඩකරන අයට පුළුවන්.

 

එකම සමාගමක විවිධ කාර්යයන් වල නිරත වෙලා ඉන්න පිරිසක් එක ලඟ තියාගෙන, ඒ අයට ඕනි සෑම නවීන පහසුකමක්ම සපයන්න ආයතන වලට විශාල මුදලක් වියදම් වෙනවා. ඒත් ආයතනයක හදවත වගේ තියෙන නිර්මාණශීලී මොළ ගොඩක් එක්කාසු වෙන ආයතනයේ මූලස්ථාන වටපිටාවට ලොකු මුදලක් වියදම් කරන්න ඒ දියුණු තාක්ෂණික සමාගම් මැළි වෙන්නේ නැහැ. සංවර්ධනය, ගොඩනැගිලි, අවකාශයන්, කන්තෝරු වගේම කන්තෝරු පිළිබඳ සාම්ප්‍රදායික සංකල්ප මේ ටෙක් හෙඩ්ක්වාටර්ස් නිසා වෙනස් වුණා. කන්තෝරුවක ගතකරන ජීවිතයත් මේ නූතන ටෙක් කම්පැනි වලදි ලොකු වෙනසකට භාජනය වුණා. ඉතින් අපේ රටෙත් ඉස්සරහට බිල්ඩින් හැදෙනකොට හුදෙක් කෙනෙක්ට අවකාශයක් නිර්මාණය කරනවාට වඩා මනසට වඩාත් සුවදායී තැනක් නිර්මාණය කරන්න මේ සුවිශාල දැවැන්ත ටෙකී හෙඩ්ක්වාටර්ස් වලින් අපිට ආදර්ශ ගන්න පුළුවන්.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *