මේ භාරදූර වගකීම් 7 ඉටු කරන එක නම් අපේ දේශපාලකයින් කිසිදා මග හරින්නෙ නෑ

Minister behavior

දේශපාලකයින් යනු අපේ රට පාලනය කරන මුරදේවතාවුන් වහන්සේලා වැනි වැදගත් පිරිසකි. සෑම විටම රට කොහේ හෝ යන විට එයින් බේරාගන්නට පෙරමුණ ගන්නේ දේශපාලක උතුමන්ලාය. එතුමන්ලා මේ සුන්දර ඉන්දියන් සාගර මුතු ඇටයට හානියක් වන්නට නොදී නිදහසින් පසු වසර 70කට අධික කාලයක් තිස්සේ මැණිකක් රකිනා නා රජිදුන් සේ මෙය රැකගෙන සිටිති. ඉතාම බාරදූර වැඩ රාජකාරි රැසක් නොපිරිහෙලා ඉටුකරන දේශපාලක උතුමන්ලා අත් නොහරින දේවල් රැසක් තිබේ. ජනතාව ඔවුනට අකමැති වුවත් ඔවුහු ජනතාව අත් හරින්නේ නැත. එසේම රට, පළාත, ආගම, ජාතිය වැනි දේවල්ද ඔවුහු අත් හරින්නේ නැත. එසේ ඔවුන් අත් නොහරින වතාවත් ද රැසකි. අපි එයින් කිහිපයක් බලමු.

 

1. විවෘත කිරීමේ උත්සවය

Minister behavior

Source – dailynews.lk

ගමේ පංසලේ තාප්පයේ සිට හංදියේ පොදු වැසිකිලිය දක්වා වූ පරාසයක විවෘත කිරීම් වලට සහභාගී වීම දේශපාලක තුමන්ලාට ඇති එක් වගකීමකි. ඒවායේදී ඇතැම් පිරිස් විටෙක දේශපාලකතුමා මගහැර තැන් විවෘත කරගන්නට ගියත් ඒවා එතරම් හොඳ වැඩ නොවේ. රජයේ මුදලින්, මහජනතාවගේ බදු මුදලින් ඉදිකිරීම්, අලුත්වැඩියා කිරීම් සිදුවුනත්, ඒවාට මුදල් වෙන් කරවා දෙන්නට මැදිහත් වන්නේ කවුද? අපේ දේශපාලක උතුමාම වේ. එබැවින් ගමේ නගරයේ, කඩපිලේ හංදියේ ඕනෑම විවෘත කිරීමක් වෙත් නම් සෑම සියලු දේටම දේශපාලකතුමා ගෙන්වා ගැනීම වගකිවයුතු මහජනයාගේ වගකීමක් වී තිබේ.

 

2. මළ ගෙවල්

Minister behavior

Source – karava.org

දේශපාලනයේ ‘අ’ යන්න කියවන අලුතින් පිටියට පිවිසෙන තරුණයෙකු වෙත්නම් දේශපාලනයේ අ යන්න හා බැඳුණු අවමගුල් අනිවාර්ය චාරිත්‍රයක් කරගත යුතුය. තම ආසනයේ තිබෙන සියලුම මළගෙවල් ලොකු ඇමතිතුමාට, මන්ත්‍රීතුමාට දැනුම් දෙන්නට නිවැරදි යාන්ත්‍රණයක් පක්ෂ සංවිධාන තුළ තිබේ. ගමේ සිටින පක්ෂ නියෝජිතයා ගමේ වූ මළගෙවල් ගැන ඉහළට රපෝර්තු කරනු ලැබේ. ඉන් පසු වැඩ කී සීයක් තිබුනත් සතියට දවසක් හෝ යොදාගෙන මේ මළගෙවල් වලට සහභාගී වීම ගරු මන්ත්‍රීතුමාගේ, ඇමතිතුමාගේ වගකීමකි. එසේ යන්නට නොහැකි තැනක් වෙත් නම් ඒ තැන්වලට මන්ත්‍රීතුමාගේ ළඟම ඥාති හිතවතෙකු හෝ යැවීම සාමාන්‍ය පිළිගත් සම්ප්‍රදාය වේ.

 

3. ගමේ පංසලේ, පල්ලියේ උත්සව

Minister behavior

Source – groundviews.org

පංසල මූලිකව සිදුකරන කුඩා ශ්‍රමදානයක්, වෙනත් කිසියම් ආගමික පූජාවක්, වැඩසටහනක්, අඩු තරමේ දහ අට සන්නියක් හෝ තිබේ නම් මන්ත්‍රීතුමාට ආරාධනා කළ යුතුය. එසේ නොමැතිව දැන් දැන් නම් ආගමික උත්සව හිතුමනාපේ පවත්වන භික්ෂූන් සහ ආගමික නායකයෝ වෙති. එහෙත් ගමක නම් නායකයින්ට ආරාධනා නොකොට ආගමික උත්සව පැවත්වීම මන්ත්‍රීතුමා තරහ කරගැනීමට හේතු විය හැකිය. මන්ත්‍රීතුමා තරහා වනවා යනු එක් අයෙක් තරහවීම නොවේ. මන්ත්‍රීතුමා යනු ජනතාවගේ නියෝජිතයෙකි. මන්ත්‍රීතුමා තරහ වූ විට ඒ මන්ත්‍රීතුමා සරණ ගිය ජනතාව ඇතුළු පිරිසක්ද ඈත් වීම ඉබේම සිදු වේ.

 

4. බෙදීම

Minister behavior

Source – openshiftapps.com

බෙදීම සම්බන්ධයෙන් මන්ත්‍රීතුමාට ඇත්තේ නමගිය ඉතිහාසයකි. එදා පටන්ම මන්ත්‍රී වරුන් පුරසාරම් සහ ලොකු ටෝක් බෙදීමේ දක්ෂයෝය. ඊට අමතරව මන්ත්‍රීතුමාගේ උපන්දිනයට, දේශපාලන ජීවිතයට අවුරුදු 79ක් පිරීම වැනි උත්සව සඳහා විවිධ දේ බෙදීමට මන්ත්‍රීවරුන් කාරුණික වෙති. ඒ අතර සිල් රෙදි, උදලු තල, සාරි, ප්ලාස්ටික් බඩු, මහන මැෂින්, සරම් ආදී විවිධ දේ දේශපාලකයෝ හරහා බෙදීමට ලක් වේ. පසුගිය කාලයේ එළවලු වගාව නැංවීමට කොළඹ මහල් නිවාස වල සිටින ජනයාටද එළවලු ඇට පැකට් දේශපාලක උතුමන්ලාගේ මාර්ගයෙන් ලැබුණි. එවැනි වූ විශාල පරාසයක දේ බෙදීමට අපගේ දේශපාලක උතුමන්ලා දක්ෂයෝය.

 

5. පොලිසියෙන් පාක්ෂිකයා ගැලවීම

Minister behavior

Source – youtube.com

පාක්ෂිකයෝ යනු සක්‍රිය ජන කොට්ඨාසයකි. මේ පාක්ෂිකයෝ තැන තැන ගොස් කලහකාරී ගැටුම් ආදිය ඇතිකරගන්නේ ඔවුනගේ ඇති සක්‍රිය ස්වභාවය හේතු කොට ගෙනය. එවැනි කිසියම් හරි හෝ වැරදි දෙයකට පාක්ෂිකයා පොලිසියට කුදලාගෙන ගියේ නම් ඊළඟට සිදුවන්නේ ඒ ගැන මන්ත්‍රීතුමාට දැනුම් දීමයි. මන්ත්‍රීතුමා හැකිනම් දුරකතනයෙන් හෝ නැතිනම් පොලිසියටම ගොස් ඒ පාක්ෂිකයා පොලිස් කුඩුවේ සිටීමට හේතුව මන්දැයි සොයාබලා, හැකිනම් ඒ පුද්ගලයා නිදහස් කරගෙන එයි. මේ තුළින් පාක්ෂිකයාත් මන්ත්‍රීතුමාත් අතර බැඳීම යට ඇඳුමට පශ්චාත් භාගය මෙන් තදින්ම ශක්තිමත් වේ.

 

6. ආධාර උපකාර බාර ගැනීම

Minister behavior

Source – thesundayleader.lk

මන්ත්‍රීතුමාගේ බලය තිබෙන පළාතේ අලුතින් යම් කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන්නේ නම්, අලුතින් පාරක් හදන්නේ නම්, අලුතින් විශාල ව්‍යාපෘතියක් දියත් වන්නේ නම් ඒ දේවල් කරන කොන්ත්‍රාත් මහත්වරු මන්ත්‍රීතුමාව බැහැදැකීම බොහෝ පළාත්වල පෙර සිට පැවත එන සිරිතකි. මන්ත්‍රීතුමා එන්නට කියා තිබියදිත් එසේ කොන්ත්‍රාත්කරුවන් විසින් මන්ත්‍රීතුමා බැහැ දැකීම ප්‍රතික්ෂේප කිරීම දෙවියන් උරණ කරගැනීම සේ දරුණු ප්‍රතිඵල දෙන වැඩකි. එවිට කර්මාන්තශාලා හෝ ව්‍යෘපෘති වසා දැමෙන තත්ත්වයටම ඇතැම් තැනක තත්ත්වය නොසන්සුන් වේ. එම නිසා කෝකටත් කලින් පළාත් භාර මන්ත්‍රීතුමා දැනුවත් කර, ඔහුගේ ආශිර්වාද මැද ව්‍යාපෘති සහ කොන්ත්‍රාත් සිදුකිරීම පිළිගත් සම්ප්‍රදාය වේ.

 

7. මැතිවරණ ළං වන විට කෙරෙන වතාවත්

පළාත් සභාවට හෝ පාර්ලිමේන්තුවට තේරුණ තැන් පටන් ඉතාමත් වැඩ අධික මන්ත්‍රීතුමා, මැතිවරණ සමයේදී නම් ගමේ පංසලේ ඇබිත්තයා සේ සෑම නිවසකටම යෑමට තරම් කාරුණික හදවතක් ඇති අයෙක් බවට වෙනස් වේ. එහිදී නිවෙස් වල ඇතැම්විට බංකු කෑල්ල, වංගෙඩි කොටය උඩ, වී මල්ල උඩ පවා වාඩිවෙන මන්ත්‍රීතුමා හදවතින්ම ඒ ගැමියන්ගේ දුක්ගැනවිලි අසා දැනකියා ගනී. අතැම් විට කරුණාබර හදවත උණුවී වැඩිවුන විට මහජනයාට විවිධ දන්සැල් මාර්ගයෙන් විවිධ දේ බෙදාදීමටද මන්ත්‍රීතුමා අමතක නොකරයි. වයසක අයට නම් සරම්, සාරි, සිල්රෙදි ආදියත්. කුඩා දරුවන්ට පාසැල් බෑග්, පාසැල් පොත්, පැන්සල් ආදියත් මන්ත්‍රීතුමා විසින් මැතිවරණ සමයේදී බෙදාදෙනු ලැබේ.

 

ජනතාව සහ මන්ත්‍රීතුමා

ජනතාවගේ ඡන්දයෙන් තේරී පත්වෙන විට, ජනතාවගේ අනුමැතිය යනු සභාවකට තේරීමේදී ප්‍රබලතම සාධකයකි. එවිට මහජනතාව සතුටු කිරීම වෙනුවෙන් කැප වූයේ නැතහොත් මන්ත්‍රීතුමාගේ අනාගතය අඳුරු වේ. එවැනි මිනිසුන් ඉල්ලන ආකාරයේ ගතිගුණ ආදිය නොමැති අය කෙතරම් දක්ෂ පුද්ගලයින් වුවත් ජනතාවගෙන් නිතැතින්ම ප්‍රතික්ෂේප වීම සිදුවේ. අපේ මන්ත්‍රීතුමාලා කරන විවිධ පෞද්ගලික සංග්‍රහ අනුග්‍රහ වැඩසටහන් වර්තමාන නවීන දේශපාලන ලෝකයට නොගැලපේ. ලෝකයෙන් බොහෝ ඈත දූපතක් වන අපිට නම්, මන්ත්‍රීතුමාට අපි සැලකීම, අපිට පෞද්ගලිකව මන්ත්‍රීතුමා සැලකීම ජාතික උරුමයක්, සම්ප්‍රදායක් පරිද්දෙන් තවත් බොහෝ කල් යනතුරු නොනැසී පවතිනු ඇත.

 
Cover Image Source – youtube.com/Mage Sudu Banandita
 

Leave a Reply

Your email address will not be published.