රටේ ජනාධිපති වෙන්න හදපු මේ අය ඔබට මතකද?

දැන් හැමෝම ජනාධිපතිවරණයට ලෑස්ති වෙනවා. මුළු රට වගේම සමාජ මාධ්‍ය ජාලවලත් විවිධාකාර අපේක්ෂකයන්ට ඡන්දය පල කරන්න කියලා ඉල්ලීම් ගලාගෙන එනවා. සමහරු කියන විදිහට මේක තමයි රටක් විදිහට අපිට ගොඩ යන්න පුළුවන් අවසාන අවස්ථාව. හැබැයි ඒ අයට මතක නෑ, හැම පාර්ලිමේන්තු මහ මැතිවරණයකදීම, ජනාධිපතිවරණයකදීම ඔය කතාවම කිව්වයි කියලා. ඇත්තම කතාව හැමෝටම ඕන තමන්ගේ අපේක්ෂකයාව ගොඩ යවලා දෙයක් කර ගන්න. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ හැමෝම පෞද්ගලික වාසි උදෙසා අපේක්ෂකයන් වෙනුවෙන් කටයුතු කරනවායි කියලා. ඒත් තමන්ගෙ වැඩ පැත්තකට දාගෙන අපේක්ෂකයෙක් මත්තෙ නැහෙන්නේ පෞද්ගලික ලාභයක් නොලැබෙන නිසාම නෙමෙයි කියලා ඕනම මොළේ තියෙන පුද්ගලයෙක්​ට තේරෙනවා. කතාවෙන් කතාවෙන් අපි සෑහෙන්න නොමඟ ගියා. අපි අද කතා කථා කරන්න යන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු අපේක්ෂකයෝ කීපදෙනෙක් ගැන. ගොඩක් දෙනෙක්ට මෙහෙම අය ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණාද කියන එකත් අමතක වෙලා ගිහිල්ලා.

 

1. හෙක්ටර් කොබ්බෑකඩුව

ලංකාවේ පැවැත්වුණු  පළවෙනි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් ක​ළේ හෙක්ටර් කොබ්බෑකඩුව මහත්තයාව. එහෙම කරන්න එකම හේතුව වුණේ ඒ වෙනකොට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය එක්සත් ජාතික පක්ෂ රජය විසින් අහෝසි කරලා තිබ්බ නිසා. නමුත් අවාසනාවකට වගේ බණ්ඩාරනායක පවුලේ සාමාජිකයන්​ට, විශේෂයෙන්ම අනුර බණ්ඩාරනායකට යම් විදියකින් කොබ්බෑකඩුව ජයග්‍රහණය කරයි කියන සැකය තිබුණු නිසා ද මන්දා ජනාධිපතිවරණ සටනට කොබ්බෑකඩුව මහතාට නිසි සහයක් ලබා දුන්නේ නෑ. අනුර වතාවක් දේශපාලන වේදිකාවක් මත දී “අපි කොබ්බෑකඩුවට කොන්ත්‍රාත් එකක් දීලා තියෙන්නේ, එයා ජනාධිපති වුණාම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය නැවත ලබා දීලා ඇයව ජනාධිපති කරනවයි” කියලා කතාවක් කිව්වා. මේ වගේ ප්‍රකාශ කොබ්බෑකඩුව මහත්මයාගේ ඡන්ද ව්‍යාපාරයට බොහොම නරක විදිහට බලපෑවා.

 

2. කුමාර් පොන්නම්බලම් 

ලංකාවේ බොහෝ දෙනෙක්ගේ වැරදි  මතයක් තියනවා, ලංකාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන් සිංහල බෞද්ධ විවාහක පුද්ගලයෙකුට විතරයි කියලා. මේ මතය කොහොම ජනතාව තුළ පැලපදියම් වුණ දෙයක්ද කියන එක නම් ප්‍රශ්නයක්. මේ මතය බොරුවක් කියන්න හොඳම සාක්ෂිය තමයි ලංකාවේ පැවැත්වුණු පළවෙනි ජනාධිපතිවරණයට සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසය නියෝජනය කරමින් කුමාර් පොන්නම්බලම් මහතා ඉදිරිපත් වීම. ජනාධිපතිවරණයේ දී ඔහු ඡන්ද එක් ලක්ෂ සැට දහසක් පමණ ලබා ගෙන හතරවැනි ස්ථානයට පැමිණියත් ඊළඟට පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට නම් අවස්ථාවක් ඔහුට ලැබුණේ නැහැ.

 

3. ඔසී අබේගුණසේකර

ඔසී අබේගුණසේකර ඉදිරිපත් වෙන්නේ ශ්‍රී ලංකාවේ දෙවැනි ජනාධිපතිවරණයට. එහිදී ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයන් වුණේ රණසිංහ ප්‍රේමදාස මහතා සහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය. විජය කුමාරතුංග මහතාගේ සමීප සගයෙකු වුණු ඔසී අබේගුණසේකර ඔහු සමඟ නැක්සලයිට් චෝදනාවට ලක්ව සිර දඬුවම් පවා විඳි අයෙක්. විජය කුමාරතුංග මහතාගේ ඝාතනයෙන් සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ රට හැර යාමෙන් පසුව ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායකයා බවට පත් වුණු ඔහු අවුල් සහගත තත්ත්වයක් රට තුළ පැවැති කාලයක පක්ෂය ආරක්ෂා කර ගැනීමට දැඩි උත්සාහයක් ගත්තා. එක්දහස් නවසිය අනූ හතරේ ගාමිණී දිසානායක මහතාගේ අවසන් ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීම් අතරතුර එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් ඔසී අබේගුණසේකර මහතාද මිය ගියා.

 

4. ඒ. ජේ රණසිංහ 

රණසිංහ ප්‍රේමදාස මහතාගේ ළඟම හිතවතෙකු වූ ඒ. ජේ රණසිංහ මහතාව ජාතික ලැයිස්තුවෙන් මැති සබයට ගෙන ආ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඔහුට ප්‍රවෘත්ති අමාත්‍ය ධුරය ලබා දුන්නා. තමන්ට බයිපාස් සැත්කමක් කර ගැනීමට සියලු කටයුතු සකස් කිරීම නිසා තමන් මුළු ජීවිත කාලය පුරාවටම ප්‍රේමදාස මහතාට ණයගැති යැයි පැවසූ ඒ. ජේ රණසිංහ මහතා වතාවක් ප්‍රකාශ ක​ළේ ප්‍රේමදාස මහතාගේ සෙරෙප්පුවලින්  සෑදු සුප් එකක් වුවත් තමා පානය කිරීමට කැමති බවයි. ප්‍රේමදාස මහතාගේ ඝාතනයෙන් පසුව ගාමිණී දිසානායක මහතා නැවතත් එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමෙන් පසුව ඒ. ජේ රණසිංහ මහතා එතෙක් සංවිධායකවරයාව සිටි කඩුවෙල ආසනය ඔහුට අහිමිව ගියා. මීට එකට එක කිරීමක් ලෙස 1994 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඔහු ප්‍රේමදාස මහතා සමඟ බැඳුණු ඡන්ද පදනම එක්සත් ජාතික පක්ෂයට අහිමි කොට තමන් වෙතට ආකර්ෂණය කර ගැනීමටත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට වක්‍රව උදව් කිරීමටත් කටයුතු කළා.

 

5. හඩ්සන් සමරසිංහ 

අද වෙනකොට ආන්දෝලනාත්මක ගුවන් විදුලි නිවේදකයෙක් සහ පරිපාලකවරයෙක් බවට හඩ්සන් සමරසිංහ මහත්මයා පත්වෙලා තිබුණත් ඔහු නැගෙනහිර කොළඹ ආසනයට තරග කර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරපු පුද්ගලයෙක් කියන එක බොහෝ දෙනෙක්ට අමතක වෙලා තියෙනවා. රණසිංහ ප්‍රේමදාස මහතාගේ දර්ශනය අනුව කටයුතු කරපු නිසා ඒ දවස්වල ඔහුව පුංචි ප්‍රේමදාස විදිහටත් හඳුන්වා දීලා තියෙනවා. 1994 වර්ෂයේ පැවති පැවැති ජනාධිපතිවරණයට ඔහු ස්වාධීන අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වෙන්න ප්‍රේමදාස මහත්මයාට තිබුණු බැඳියාවත් එක හේතුවක් වෙන්නට වෙන්න ඇති.

 

6. වික්ටර් හෙට්ටිගොඩ

සිද්ධාලේප වෙද මහත්මයා විදිහට රටම දන්නා වික්ටර් හෙට්ටිගොඩ මහත්මයා තමන්ගේ ව්‍යාපාරික ජීවිතය පටන් ගන්නේ සිද්ධාලේප  හිසේ තියාගෙන විකුණමින්. අවසානයේ දී ඔහු ජීවිතය ජයගත්තා. තමන් ලද සාර්ථකත්වය නිසාම ඔහු රට වෙනස් කිරීමටත් හිතුවේ 2005 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙන්. එහි දී එතුමාගේ ආකර්ෂණීය පොරොන්දුක් වුණේ තමන් ජයග්‍රහණය කරොත් සෑම නිවසකටම කිරි එළදෙනක් ලබාදෙනවා කියලා. එළකිරි පරිහරණය කිරීමෙන් රටවැසියා  නිරෝගී වන බවත් අතිරේක එළකිරිවලින් චීස් සහ බටර් නිෂ්පාදනය කර පිටරට යැවීමට පවා හැකියාව ලැබෙන බවත් එතුමා ප්‍රකාශ කළා.

 

7. ආර්. ඒ සිරිසේන 

රත්නායක ආරච්චිගේ සිරිසේන ඉදිරිපත් වෙන්නේ 2015 පැවැත්වුණු ජනාධිපතිවරණයට. ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සුදුසුකම් තියෙන  ඕනෑම පුද්ගලයෙකුට ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න පුළුවන් වුණාට ආර්.ඒ සිරිසේනගේ ඉදිරිපත් වීම අතිශයින් සදාචාරාත්මක විරෝධීයි. මැතිවරණ ව්‍යාපාර​ය මුල පටන්ම ඔහු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ඩමියක් ලෙස කටයුතු කළා. එහි කූටප්‍රාප්තිය සිදුවුණේ ජනාධිපතිවරණය දා මහින්ද රාජපක්ෂ මහතා ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේදී ඔහු සමග එම ස්ථානයට යෑමත් සමග.

 

එහෙමනම් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන්න, ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *