පොත පතින්, ගීතයෙන් සහ සංගීතයෙන් රස මැවූ කලාකාමී බොදු කිතුණු පැවිදි හිමිවරුන්

ආගම සහ කලාව කියන්නේ අංශ දෙකක් කියලා අපිට සැකයකින් තොරව හඳුන්වන්න පුළුවන්. ඒ වුණත් මේ ලෝකේ පවතින හැම දෙයක්ම වගේම මේ දෙකත් එකිනෙක සමග බැඳිලා වෙළිලා තියෙනවා. බෞද්​ධ දම් දෙසුමක්, ජේසු තුමන්ගේ දේශනාවක් වුනත් කාව්‍යමය ස්වරූපයකින්, රිද්මයානුකූල මිහිරියාවකින් වෙළිලා තියෙන්නේ ඒ තුළත් යම්කිසි කලාත්මක බවක් ගැබ්කර ගනිමිනුයි. ලාංකීය කලා ක්ෂේත්‍රය ගත්තත් අපිට ඒ තුළ ආගමික පැවිදි උතුමන්ලාගේ සටහන් දැකගන්න පුළුවන්. ඉතින් අපේ මේ උත්සාහය ගීතයෙන්, සංගීතයෙන්, පොත පතින් සහ පද රචනයෙන් අපව සැනහූ සහ අදටත් සනහන බෞද්ධ සහ කිතුණු පැවිදි හිමිවරුන් කිහිප දෙනෙක් ගැන තොරතුරු ගෙන එන්නටයි…

 

1. ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමා

අපේ රටේ ක්‍රිස්තියානි සාහිත්‍යයේ පියා හැටියට සලකන්න පුළුවන් ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමන්වයි. උපතින් ලාංකිකයෙක් නොවන එතුමා උපදින්නේ ඉන්දියාවේ ගෝවේ ප්‍රාන්තයේ කිතුණු පවුලකයි. 1705දී ලංකාවට එද්දී සිංහල භාෂාව ගැන කිසිම දැනුමක් ගොන්සාල්වේස් පියතුමාට තිබුණේ නැහැ. නමුත් බෞද්ධ හිමිවරුන් සහ පඬිවරුන් ආශ්‍රයෙන් තමන්ගේ සිංහල දැනුම වර්ධනය කරගන්න එතුමා සමත් වෙනවා. ඒ විතරක් නෙමෙයි, ලාංකීය ජීවන රටාවේ හදගැස්ම හඳුනාගන්නත් එතුමා සමත් වෙනවා. ගොන්සාල්​වේස් පියතුමන්ගේ කෘති බොහොමයක් කිතු දහම සිංහලයෙන් පැවසීම සම්බන්ධයෙන් ලියැවුණු ඒවා වුණත් එතුමාණන් ඒ සඳහා ආභාෂය ගත්තේ ඒ වන විට සිංහලෙන් ලියැවී තිබුණු බෞද්ධ පත පොතයි. එතුමා විසින් සිංහලෙන් ග්‍රන්ථ 22ක් ද දෙමළ බසින් ග්‍රන්ථ 15ක්ද රචනා කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. ලංකාවේ සිංහල නත්තල් ගීත මුලින්ම රචනා කරන්නෙත් ගොන්සාල්වේස් පියතුමායි. ඒ 1730 තරම් ඈත් අවධියක. අදටත් අතිශය ජනප්‍රි​ය “දෙවිඳු උපන්නේය සතුනි… දෙවිඳු උපන්නේය ඔහෝ!” කියන නත්තල් ගීතය ඇතුළු නත්තල් ගී කීපයක්ම එතුමාගේ රචනාවන් වෙනවා.

 

 

2. රඹුකන සිද්ධාර්ථ හිමි

සිංහල ගීත සාහිත්‍යය ගැන කතා කරද්දී අපේ මතකයට මුලින්ම එන නමක් වෙන්නේ රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ නමයි. සමහරු මේ නම රඹුක්කන සිද්ධාර්ථ කියලා හැඳින්වුවත් ඒක වැරදියි. මේ හිමියන් උපත ලබල තියන රඹුකන නම් ග්‍රාමය නිසායි මේ නම පටබැඳිලා තියෙන්නේ. වික්ටර් රත්නායක මහතා ගායනා කරන “නිවන් දුටු හිමි” ගීතය නම් බොදු සිත් සතන් පහන් කොට සනසාලන ගීතයේ රචකයා වන්නෙත් රඹුකන සිද්ධාර්ථ හිමියි. සිද්ධාර්ථ හිමියන්ගේ ගී පද රචනාවන් බොදු බැතී ගීයට පමණක් කොටු වන්නේ නැහැ. “සඳ තරු මල් මට දන් දුන්”, “නුඹට හිතැති නුඹ හිත නැති”, “මේ ඉර හඳ යට හමුවී”, “අවුවට වැස්සට හුරු මිනිසුන්නේ” වැනි ප්‍රේමය සහ සමාජ විෂමතාවයන් ගැන කතාකරන නිර්මාණ සඳහාත් ඒ හිමියන් තමන්ගේ පන්හිඳ හසුරුවා තිබෙනවා. මේ වන විට රඹුකන සිද්ධාර්ථ හිමියන් අතින් ලියැවී ඇති පද රචනා ප්‍රමාණය සියයකටත් අධිකයි.

 

3. මර්සලීන් ජයකොඩි පියතුමා

‘පන්සලේ පියතුමා’ නමින් බෞද්ධයන්ගේත් අපමණ ගෞරවාදරයට පත්වුණු මර්සලීන් ජයකොඩි පියතුමා කියන්නේ කලාකාමී හදවතක් තිබුණු කිතුණු පූජකවරුන් අතරින් ඉහළින්ම හඳුන්වන්න පුළුවන් අයෙක්. මර්සලීන් ජයකොඩි පියතුමා හෙළ හවුලේ සාමාජිකයෙක් වී​ම නිසා එතුමාගේ සිංහල භාෂා හැසිරීම ඉතාම උසස් මට්ටමක පැවතුණා. කිතුණු බැති ගී පමණක් නොව බෞද්ධ ගීත පවා එතුමාගේ අතින් රචනා වුණා. රේඛාව චිත්‍රපටයේ අතිශය ජනප්‍රිය ගීයක් වූ “වෙසක් කැකුළු අතු අග හිඳ නටන විලාසේ” ගීතය ඇතුළුව ඒ චිත්‍රපට​යේ එන ගී සියල්ල​ම රචනා කර තිබෙන්නේත් මර්සලීන් ජයකොඩි පියතුමායි. චිත්‍රපට රැසක ගීත රචනා කොට ඇති මර්සලීන් පියතුමාට 1966 වර්ෂයේදී හොඳම චිත්‍රපට ගීත රචනය වෙනුවෙන් සරසවි සම්මානයක්ද හිමි වෙනවා. අපි මුලින් සඳහන් කරපු ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමාගෙන් පසුව කිතුණු ගීත සාහිත්‍යයට වඩාත්ම සේවාවක් කරන්නේත් මර්සලීන් ජයකොඩි පියතුමායි. එතුමා විසින් ලියූ කිතුණු බැති ගී ප්‍රමාණය පන් සියයද ඉක්මවන බවටයි වාර්තා වෙන්නේ. සංගීතය සහ ගායන අංශයෙන්ද හැකියාවන් සහිත වූ එතුමා තමන් මුල් කාලයේ රචනා ක​ළ කිතු බැති ගී ගායනා කර ඇති බවටද සඳහන් වෙනවා. ආසියාවේ නොබෙල් ත්‍යාගය හැටියට විරුදාවලිය ලත් ‘රැමොන් මැග්සයිසේ’ සම්මානය දිනාගන්නට සමත් වන පළමු ලාංකී​ය ආගමික නායකයා වන්නේත් මර්සලීන් ජයකොඩි පියතුමායි.

 

4. බිබිලාදෙනියේ මහානාම හිමි

බිබිලාදෙනියේ මහානාම තරුණ හිමියන් මේ ලැයිස්තුවේ විශේෂ වන්නේ එහිමියන් අපේ ආධ්‍යාත්මය ස්පර්ෂ කිරීම උදෙසා තෝරාගෙන ඇති කලා මාධ්‍යය සංගීතය වීම නිසායි. මෙය සමහරුන් අතරේ ආන්දෝලනයට ලක්වන නිමිත්තක්ද වුණා. ගී පබඳින, සිතුවම් අඳින, ග්‍රන්ථකරණයේ යෙදෙන යතිවරුන්ව​ම දකින අපට බිබිලාදෙනියේ හිමියන්ගේ මේ ව්‍යායාම​ය අරුමයක් වීම එක් අතකට සාධාරණයි. කොහොම වෙතත් ගීතයක වචනවලට ස්පර්ෂ කළ නොහැකි තැන් ස්පර්ෂ කරන සංගීතයක් නිර්මාණය කරමින් ශ්‍රී ලාංකික සංගීත නිර්මාණ ශිල්පීන් බහුලව අත නොගැසූ ඉසව්වක් උන් වහන්සේගේ නිර්මාණවලින් පිරවෙනවා යැයි අපි හිතනවා. Evolving in The Wind, Loneliness, Serenity in the Mist – සුඛිණෝ, The Unfelt, Religion and Violence, The Pace of Nature, Pilgrims Path, Flying in the Rain වැනි නිර්මාණ හරහා උන් වහන්සේ පෙන්වා ඇති විවිධත්වය දකින්නට, විඳින්නටනම් ඔබ උන්වහන්සේගේ Youtube චැනලයට ගොඩ වැදිය යුතුමයි. පහතින් දැක්වෙන්නේ ඒ ලින්කුව.

 

https://www.youtube.com/user/musicmahanama

 

2015 රාජ්‍ය සංගී​ත සම්මාන උළෙලේදී ප්‍රශස්තම සංයුක්ත තැටිය සඳහා වන සම්මානය දිනා ගන්නටද උන් වහන්සේ සමත් වුණා. ඒ “Share the Love” නම් සංගීත එකතුව හරහා. බිබිලාදෙනියේ මහානාම හිමියන්ගේ නිර්මාණ කාර්යයෙන් හැඩ වුණු ලංකාවේ බිහිවුණු ප්‍රථම සංගීතමය කෙටි සිනමා කෘති​ය ඔබට පහතින් නරඹන්න පුළුවන්.

 

5. බටුවන්ගල රාහුල හිමි

පොත පත කියවන්නට උනන්දුවක් දක්වන අපේ රසිකයින්ටනම් බටුවන්ගල රාහුල හිමිගේ නම ආගන්තුක එකක් වන්නට හේතුවක් නැහැ. මේ වන විට සිංහල සාහිත්‍ය කලා කෙත පෝෂණය කරන්නට කෘතීන් රැසක් දායාද කොට ඇති උන්වහන්සේ​ගේ නිර්මාණ විවිධ සාහිත්‍ය සම්මානයන්ද ජයග්‍රහණය කොට තිබෙනවා. බටුවන්ගල රාහුල හිමියන්ගේ සාහිත්‍ය ජීවිතය ඇරඹෙන්නේ බුදු සරණ පුවත්පතට කවි රචනා කිරීම මගිනුයි. ඉන් පසුව උන් වහන්සේ කෙටි කතාකරණයට යොමු වෙනවා. ‘උපන් ලපය’ සහ ‘රතු උකුස්සෝ’ කෙටි කතා සංග්‍රහ ඒ ආකාරයෙන් උන්වහන්සේ අතින් නිමවෙනවා. ඉන් පස්සේ තමයි බටුවන්ගල රාහුල හිමියන් නවකතාව වෙතට යොමු වන්නේ. උන් වහන්සේ මුලින්ම ලියන ලද නවකතාව වන්නේ ‘හරස් පාර’ නව කතාවයි. 2014 වසරේ ප්‍රකාශයට පත් කෙරුණු රන් කරඬුව කෘතිය හරහා තමයි උන්වහන්සේව ලාංකීය නවකතා රසිකයා අතර දැඩි අවධානයකට ලක් වන්නේ. එම නවකතාව වසරේ හොඳම නව කතාවට හිමි ස්වර්ණ පුස්තක සම්මානය දිනාගන්නටද සමත් වෙනවා. මේ වන විට බටුවන්ගල රාහුල හිමියන් නවකතා නවයක් රචනා කොට තිබෙනවා.

 

6. පල්ලේගම හේමරත්න හිමි

රුවන්වැලි සෑ විහාරාධිකාරී පල්ලේගම හේමරත්න හිමියන් කියන්නෙත් සිංහල ගීත සාහිත්‍යයට තමන්ගේ දායකත්වය සැපයූ ස්වාමීන් වහන්සේ නමක්. කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ “අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ” ගීතය උන් වහන්සේගේ ගී පද රචනා අතරින් වඩාත්ම හිතට දැනෙන නිර්මාණයක්. බුදු දහමේද කියවෙන අනිත්‍යය තමයි එම ගීතයට උන් වහන්සේ තේමා ​කොටගෙන තිබෙන්නේ. කවීත්වය ප්‍රිය කරන උන් වහන්සේ 1988 වර්ෂයේදී “පහන නිවී දොළොස් මහේ” නමින් තමන්ගේ පළමු ගී​ත සංග්‍රහය එළි දක්වනවා. ඉන් පසුව 2004 වසරේදී “සඳ එළිය” නම් කැසට් පටය සමග “අතීතය සිහිනයක්” ගීත සංග්‍රහය එළි දක්වනවා. චිත්‍රපට ගීත සඳහාද ගී පද රචනා කොට ඇති පල්ලේගම හේමරත්න හිමියන් ඒ සඳහා සම්මානයටද පාත්‍ර වී තිබෙනවා. 2011 වර්ෂයේ මහින්දාගමන​ය චිත්‍රපටයට රචනා කළ “සංසාරේ මහාබර පොදි” ගීතය​ට දෙරණ, OCIC ඇතුළු සම්මාන හිමි කරගන්නවා. ඉන් පසු​ව 2015 වර්ෂයේ මහරජ ගැමුණු චිත්‍රපටය වෙනුවෙන් රචිත “සඳ මඩල වී” ගීතයටද හිරු, OCIC, සරසවි සහ ජනාධිපති ආදී සම්මාන රැසක් හිමිකරගන්න උන් වහන්සේ සමත් ​වනවා. 

 

7. දොන් පීටර් පියතුමා

ඩබ්. එල්. ඒ. දොන් පීටර් පියතුමා කියන්නේ ලාංකීය ළමා සාහිත්‍ය කලාව වෙනුවෙන් අනුපමේය සේවාවක් ඉටු කළ ලාංකීය ළමා සාහිත්‍ය කථා කලාවේ පුරෝගාමියෙක්. එතුමා අධ්‍යාපනඥයෙක්, ඉතිහාසඥයෙක් වගේම විදුහල්පතිවරයෙක්ද වනවා. පෙරදිග භාෂාව සහ සංස්කෘතිය ගැනත් ශ්‍රී ලාංකීය ඉතිහාසය ගැනත් දොන් පීටර් පියතුමාට තිබුනේ හසල දැනුමක්. ඒ ඔස්සේ විවිධ පර්යේෂණ පැවැත්වීම සහ ලිපි සම්පාදනය කිරීමත් එතුමා අතින් සිදු වුණා.  ඔබ කවුරුත් ළමා හෝ නව යොවුන් වයසේදී එතුමන්ගේ එක කතාවක් හෝ කියවා හෝ අසා ඇතිවාට සැකයක් නැහැ. වනගත ළමෝ, ගැට කපන කොල්ලා, ඩිංකි, හොල්මන් දූපත, අමල්ගේ බල්ලා, වනගත විත්ති, විදුහලේ විත්ති ආදී ජනප්‍රිය ළමා නවකතා රැසක් දොන් පීටර් පියතුමා විසින් රචනා කොට තිබෙනවා. බොහොම රසවත් භාෂා ශෛලියකින් මේ කෘතීන් රචනා කර තිබෙන මේ කෘතීන් ළමා නාට්‍ය හෝ සිනමාවන්ට වුවත් පාදක කොටගත හැකි රසවත් කතන්දර වනවා. 

 

අපි ඉහත සඳහන් කරපු බොදු, කිතුණු හිමිවරුන්​ගේ නිර්මාණ ඔබ රස විඳ ඇත්නම් ඒ ගැන අපට කමෙන්ටුවකින් සටහනක් තැබීමට අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *