අපි කලින් ලිවුව වෙඩිමකට තෑග්ගක් දෙද්දි හිතන්න ඕන දේවල් ගැන. ඒ දේ කිවුවෙ දෙන තෑග්ග වඩා උපයෝගී වෙන විදියකට දෙන්නෙ කොහොමද? කියන එක හිතාගන්න. ඒත් අපේ අයියල ඔයිට වඩා දේවල් හිතනව. අන්න ඒ මොනවද කියල කියන්නයි මේ යන්නෙ. සමහරු මේ හිතන බහුබූත නිසා ඇත්තටම තෑග්ගක් දෙද්දි හිතන්න ඕන අපි කලින් කියපු දේවලුත් මගහැරිලා යන්න පුළුවන්. හැබැයි අපේ ඈයො මේ දේවල් හිතන එකනං නවත්තන්නෙ නෑ. ඒ නිසාමයි අපිට මෙහෙම දෙයක් ලියන්න වෙන්නෙ. ඇත්තටම මෙහෙම හිතන කිසිම දෙයක් අපි දෙන තෑග්ගට අදාළ කරගන්න එක හොඳ දෙයක් නෙමෙයි. ඒත් ඉතිං අපි මෙහෙම හිතන එක නවත්තලා ඉදිරියට යන ජාතියකුත් නෙමෙයිනෙ.
1. උන් අපිට මොනවද දුන්නෙ?
හප්පටසිරි මෙවුවනෙ මහත්තයො හිතිලි. ඔන්න මෙහෙමයි හිතන්න ගන්නෙ. අවුරුදු දහයකට කලින් අපි කසාද බඳින දවසෙ ඕකුන්ගෙ ලොකු එකා විතරක් ඇවිත් අපිට දුන්නෙ රුපියල් 1000යි. එතනත් ලොකු එකා විතරනෙ ආවෙ. මහ අම්මණ්ඩිලගෙ ලොකුකමනෙ. අපි වෙඩිම ගත්තෙ පොඩි හෝටලේක බව ඇත්ත. අවුරුදු දහයට දාහෙ වටිනාකම මහ ලොකුවට වෙනස් වෙන්නෙ නැහැනෙ. අනික උන්ගෙ ලොකු එකා බඳිද්දි අපිට කිවුවෙත් නෑ. ගලදාරි එකේ ගත්තු නිසා වෙන්නැති. අපිව ගැලපෙන්නෙ නැහැනෙ ඔය මහ ලොකු ගලදාරිවලට. මේක පොඩි හෝටලේක තියෙන නිසා ඇවිත් කිවුව. සල්ලි දෙන්නවත් වටින්නෙ නෑ ඕකුන්ට. අපේ අර මනුස්සකම නිසා අපි තුන්දෙනා ගිහින් දාහක් දීලා එමු ඔන්නොහේ.
2. අනිත් උන්?
මේ විදියට හිතන අයත් ඉන්නව. අනිත් උන් මොනවද දන්නෑ දුන්නෙ. ඇයි යකෝ කොල්ලොම කීයකට කියලද? ඕකුන් දෙදාහ ගාණෙ දුන්නත් තව තුන් දෙනෙකුට මගුල් කතෑකි ඒ සල්ලි වලින්. ඉතිං මොන බම්බුවටද මම සල්ලි දෙන්නෙ. අනික හොඳම යාලුවයි කියල කියන එකා දෙන්නෙත් දෙදාහක්ලු. මම මූ එක්ක බීලා තියෙන්නෙත් දවස් දහයක් විතර. ඉතිං මොන මගුලටද මම සල්ලි පුදන්න යන්නෙ. මූ හරිනං වෙඩිමෙන් ඉතුරු වෙන සල්ලිවලින් අපිට වෙනමම පාටියක් දෙන්න ඕන. බෑන්ඩ් එක දීලා තියෙන්නෙ කොල්ලො, බෝතල් ටික මාමාලු, හෝටලේ කෙල්ල ගාණෙ. තව ඉතිං මොනවද වියදමකට ඉතුරු.
3. තක්සේරුව
මේ අපි කියන්න යන විදියට තක්සේරු කරලා ගණං මිනුං නිර්ණය කරන කට්ටියත් මේ අතරෙ ඉන්නව. උදාහරණෙකට කිවුවොත් හෝටලේ නම මොකද්ද? ඒක ලොකුයිද? මීට කලින් ඒකෙ වෙඩින් අරගෙන තියෙන ලොකු ලොක්කො කවුද? ප්ලේට් එකක ගාණ කීයද? මස් ජාති කීයක් තිබුනද? මාළු මොන මොන විදියටද තිබුනෙ? ඉස්සො රසයිද? කකුළු අඬු විතරද? පොකිරිස්සො තිබුනෙ නැද්ද? බොන්න දුන්නද? දුන්නෙ මොනවද? බ්ලැක් නං ඩබල් බ්ලැක් නැත්තෙ ඇයි? ඩබල් බ්ලැක්නං ග්‍රීන් ලේබල් නැත්තෙ ඇයි? ආරාධනා කරේ කොහොමද? කෝල් කරලද? ගෙට ඇවිල්ලද? කී දෙනෙක් ආවද? වට්ස්ඇප් කරාද? අත්සන් කරන්නෙ කවුද? මෙන්න මේ වගේ අටෝරාසියක් දේ ගැන තක්සේරු කරලා වෙඩිමට දෙන ගාණ තීරණය කරන කෙනෙක් අපි හැමෝ අතරෙම ඉන්නවා. මෙන්ෂන් කරන්න එපා. ලැජ්ජා හිතේවිනෙ.
4. අනිත් වියදම්
තවත් සමහරු වෙඩිමට තෑග්ගක් විදියට දෙන ගාණ තීරණය කරන්න කලින් හිතනව අමතර වියදං ගැන. ඔයාලට කල්පනා වෙලත් නැත්තං ඔයාලත් හිතන්න මේ අමතර වියදං ගැන. මනුස්සයාගෙ කෝට් එක රෙන්ට් එකට ගන්න වියදම. නෝනගෙ සාරි, කරාබු, මාල වියදම. නෝනගෙ මේකප් වියදම සහ එයට අනුබද්ධිත ටැක්සි ගාස්තු. ළමයින්ගෙ ඇඳුම් වියදම. හෝටලය තිබෙන තැන අනුව ටැක්සි වියදම. හෝටලයේ තරම අනුව යන වාහනයේ ලොකු පොඩි (ත්‍රීවීල්, ඇල්ටෝ, වැගන්ආර්, හයිබ්‍රිඩ්) භාවය. මේ සියල්ල සලකලා බලලා වෙඩිමට දෙන ගාණ තීරණය කරන මිනිස්සුත් ඉන්නවා. සමහරු හිතනවා මේ ගාණ දෙනවට වඩා බොරුවක් ගහලා වෙඩිමට නොයා ඉන්න එක සැපක් කියලත්.
අඩු වියදම් ට්‍රික්ස්
අපි මේ කියන විදියෙ අඩු වියදම් ට්‍රික්ස් හිතන ඈයොත් ඉන්නවා. ඒ අය මේ දේවල් වලින් ලේසිම ක්‍රමේ ගැන හිතලා තමයි තෑග්ග මොකද්ද කියල තීරණය කරන්නෙ. එනිසා එහෙම දේවල් ටිකකුත් ලියන්නම්.
5. බයිටක් දෙමුද?
දැන් අපේ උන්දලා බයිටක් දෙන්න සෙට් වෙන්නෙ කසාද බඳින කෙනාගෙ තියෙන ෆිට් එකටම නෙමෙයි. මේවාත් බොහෝදෙනෙක් මගුලකට කලින් හිතන දෙයක්. සාමාන්‍යයෙන් වෙඩිමකදි බයිටක් දෙන්නෙ කවුද? හරිම සරළයි. වෙඩිමකදි බයිටක් දෙන්නෙ මනමාලයට ළඟම පාර්ශවය විසින්. ඊට අමතරව සුළු මට්ටමේ බයිටක් දුන්නොත් ඒ මනමාලයට කිට්ටුවන්ත අනෙක් පාර්ශවයන් විසින් තමයි. මේ කතාවෙ හැටියට මෙයාලා බයිටක් දෙන්න යන්නෙ දෙන තෑග්ගෙ වියදම අඩු කරගන්න. උදාහරණයකට විසුරුවන ලද කාන්තා සනීපාරක්ෂක තුවා පැකට්ටුවක්, හිල් කරන ලද කොන්ඩම්, රුපියල් දාහක් සත පනහෙ කාසිවලින්. වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. මේවා බයිටක් ස්වරූපයෙන් ආවට මේවා සිද්ධ කරන්නෙ වියදම අඩු කරගන්න.
6. නොදෙන විදි
තවත් කට්ටිය හිත හිත ඉන්න අඩු වියදම් ට්‍රික්ස් කිහිපයක්ම තියෙනවා. ඒ අතරින් බීලා වෙරිපිට ලියුම් කවරෙ දෙන්න අමතක වෙච්ච විදියට එන සීන් එක සුලබයි. ඒ වගේම තවත් කට්ටියට ගෙදරින් එද්දි තුන්දාහක් ගෙනාවට වෙඩිමෙදි දෙකක් දාගත්තට පස්සෙ ලෝබකම ඉහට ගහනව. ඉතිං ඒ අය කරන්නෙ එතනින් දෙදාහක් අරං පර්ස් එකේ දාගන්න එක. රුපියල් දාහා දාලා අනිත් උන්ගෙ ලියුම් කවරෙ අස්සෙන් නොදැනෙන්න පුදලා එනවා. තවත් සමහරු කරන දෙයක් තමයි හැමෝටම පේන්න හිස් ලියුම් කවරෙ දෙන එක. මේක ඇතුළෙ සල්ලි නොදා තමයි දෙන්නෙ. මනමාලයටත් මතක නෑනේ මේ ලියුම් කවරෙ දුන්නෙ මෙයා කියල.
7. කැබිනට් එකෙන්
මේ කියන්නෙ අර අපේ සල්ලිවලින් ගෙවල් අරං දෙන හිඟන්නො ඉන්න මණ්ඩලේ ගැන නෙමෙයි. මේ කියන්නෙ වෙනමම කාලකන්නි ජීවිතයක් ගැන. තවත් වියදං අඩු කරන්න කරන දෙයක් විදියට ගෙදර කැබිනට් එකේ තියෙන දෙයක් ඔතාගෙන යන කාලකන්නි ක්‍රමය හඳුන්වන්න පුළුවන්. ගෙදරටත් වැඩක් නැති බරට ලොකුවට තියෙන ඕනතරං බඩුමුට්ටු ගෙවල්වල තියෙනවා. අනේ ඉතිං ඔතාගෙන යනව වෙඩිමක් කිවුවම. දෙන සම්පූර්ණ ගාණ ඉතුරුයි වගේම ලෝකෙට උජාරුවට පේනවත් එක්කනෙ.
Leave a Reply