දැන් ඔය ටුක් ටුක් නැතිනම් ත්‍රීවිල් කියන්නේ ලංකාවේ මනුස්සයෙක්ට නම් නොදන්න දෙයක් වෙන්න විදියක් නෑ. ජීවිතේ එක පාරක්වත් ටුක් ටුක් එකක ගිහිල්ලා නැතිනම් ඒත් ළදරුවෙක්ම වෙන්න ඕනෑ. හැබැයි පොදුවේ ගත්තහම බාගෙට බාගයක් ටුක් ටුක් රියැදුරු මහත්තුරු සහ ටුක් ටුක් මගියෝ අතර ඒ තරම් හොඳ සම්බන්ධතාවයක් නෑ. දැන් වෙනකොට නම් ඒ තත්ත්වය සෑහෙන්න දුරට වෙනස් වෙලා කියන්න පුළුවන්. අපි මීට කලින් කතා කරලා තියෙනවා ලංකාවේ ඉන්න විවිධාකාරයේ ටුක් ටුක් අයියලා මල්ලිලා ගැන.
කොහොම වුනත්, හැමෝම සාමාන්‍යයෙන් වැරදි කියනකොට කියන්නේ ටුක් ටුක් රියැදුරු මහත්තයාගේ වැරදි තමයි. හැබැයි ටුක් ටුක් එකකට නගින මගියෙක් දැන දැනම හෝ නොදැනුවත්වම කොයි තරම් වැරදි කරනවද? ආචාර විධි කඩ කරනවද? අන්න ඒ දේවල් ගැනත් අපි කතා කරන්න ඕන. ආන්න ඒ නිසා තමයි අපි හිතුවේ ටුක් ටුක් එකකට නගින මගියෙක් ගාව තියෙන්න ඕන යහපත් ආචාර විධි ගැනත් පොඩ්ඩක් කතා කරන්න.
1. යන්නෙ කොහාටද?
මෙන්න මේක හැම ටුක් ටුක් මගියෙක්ම මතක තියාගන්න ඕන දෙයක්. ටුක් එකට නගින්න කලින් යන්නේ කොහාටද කියලා කියන්න. ඇප් එකකින් ටුක් එකක් දානකොට වුනත් යන්න ඕන අන්තිම ගමනාන්තය දාන්න. ඒ මැද්දේ වෙන කොහේ කොහේ හරි යන්න තියෙනවා නම්, ටුක් ටුක් අයියට කෝල් කරලා කියන්න යන්න තියෙන රූට් එක. එතකොට එයාට මුලින්ම තෝරගන්න පුළුවන් යන්න තියෙන දුර ඕකේද නැද්ද කියලා.
සාමාන්‍යයෙන් සමහරු ඉන්නවා, යන්න ඕන කොහේ කොහේද, කොයි තරම් වෙලා යනවද කියලා ටුක් එකකට ගොඩවෙනකොට කියන්නෙ නෑ. මේ අය ඉන්න ආකල්පය තමයි, අපි දෙන සල්ලි වල අච්චු තියෙනවා නම්, අපිත් එක්ක හඳට වුනත් යන්න ටුක් ටුක් අයියා එන්න ඕන කියන එක. හැබැයි එහෙම හිතන එක අසාධාරණයිනේ. ඒ මනුස්සයාටත් පුද්ගලික කටයුතු තියෙන්න පුළුවන්. ගොඩක් දුර යන්න බැරි වෙන්න පුළුවන්. හයර් දුවන්න තියෙන කාලවේලාව සීමිත වෙන්න පුළුවන්.
2. ආචාරශීලී!
මේක ඉතින් පොදුවේ ගොඩක් මිනිස්සුන්ට පොවන්න සිද්ධ වෙන දෙයක්. ඒ තමයි ආචාරශීලී කමක් නැති කම. ටුක් එකකට නැග්ගහම ටුක් ටුක් රියැදුරු මහත්තයාටත් දෙකේ කොළේට දාලා සලකන්නේ. වචනයක් ඇහුවොත් ඔරවනවා, පුප්පනවා. හෙනම සීන්. අපි කියන්නේ එහෙම එපා කියලා තමයි. මනුස්සයෙක් විදියට මනුස්සකමට ඉන්න ඕන ටුක් ටුක් එකකට නැග්ගම වුනත්.
සමහර වෙලාවට ටුක් ටුක් ඩ්‍රයිවර් මහත්තයා වාත වෙන්න පුළුවන්. ගෑණු ළමයෙක් නම්, පොඩ්ඩක් ඇහැ දාන්න, කතාවට අල්ල ගන්න ට්‍රයි කරන්න පුළුවන්. එහෙම වෙලාවට ආචාරශීලී විදියට මග අරින්න පුළුවන් කියන්නෙත් හැකියාව තමයි. එහෙම නැතුව ගේම ඉල්ලන එක නෙවෙයි.
හැබැයි තව දෙයක්. ආචාරශීලී වෙනවා කියන්නේ පඹයෙක් වෙනව කියන එකත් නෙවෙයි. තමන්ට අල්ලන්නෙ නැති දෙයක් සිද්ධ වෙනවා නම්, වහාම ඒකට විරුද්ධව කතා කරන්න ඕන. ඒක වෙනම දෙයක්.
3. හලන්න එපා!
මේකත් ගොඩක් ටුක් ටුක් මගියෝ සුලභව කරන වැරැද්දක්. ඒ තමයි, ටුක් එකට නැගලා, ටුක් එක වනසන එක. දැන් සමහරු බ්‍රෙක්ෆස්ට් ගන්නේත් ටුක් එකට නැගලා. තව සමහරු ඔය කඩල ටිකක්, රටකජු ටිකක් එහෙමත් ටුක් එකේ ඉඳන් කන්න පුළුවන්. කන එකට අපි අවුලක් කියන්නෙ නෑ. හැබැයි ඉතින් එහෙම ටුක් එක ඇතුළේ කෑම කන ගොඩක් දෙනෙක්ට අමතක වෙනවා, තමන් බැස්සට පස්සෙත් මිනිස්සු ටුක් එකේ යන්න ඕන කියන එක. ඉතින් අර කන බොන එව්වා හලාගෙනම තමයි කන්නෙ බොන්නෙ. රටකජු පොතු ටික වුනත් කෙලින්ම පිහිදන්නේ ටුක් එකේ බිමට. සමහරු නම් කෑම තිබුණු පොලිතින් කොලේ පවා ටුක් එක ඇතුළේ දාලා යන්නේ. අන්න ඒවා අන්තිම කැත ගති සිරිත්. කවදාවත් එහෙම වෙන්න එපා!
4. අතන නවත්තන්න, මෙතන නවත්තන්න
මේක ගොඩක් වෙලාවට ප්‍රශ්නයක් වෙන්නේ ඔය මීටර් නැති ටුක් එකකට නැග්ගහම. ඔන්න දැන් මුලින්ම ටුක් එකට නගින්නේ යන්න ඕන තැන කියලා ගාණ කතාකරගෙනනේ. ඉන් පස්සේ ඉතින් යන ගමන් කියනවා “අනේ අර ෆාමසිය ගාව පොඩ්ඩක් නවත්තන්න” කියලා. එහෙම නවත්තලා ඉක්මනට මොනවා හරි අරගෙන ආවා කියලත් සාමාන්‍යයෙන් හිත හොඳ ටුක් ටුක් අයියා කෙනෙක් වැඩියෙන් ගාණ කපන්නෙ නෑ. හැබැයි ඉතින් ඒක වාසියට අරගෙන යන ගමන අතරතුර ටුක් ටුක් ඩ්‍රයිවර් මහත්තයව අතනයි මෙතනයි පැය, දෙක රස්තියාදු කරවන එක නම් වැරදියි. එහෙම තැන් තැන් වල නවතින්න තියෙනවා නම්, ඒ තැන්වල වෙලාවත් යනවා නම් එක්කෝ කලින් කියලා ටුක් එකට නගින්න ඕන. එහෙම නැතිනම් අවශ්‍ය තැනින් බස්සගෙන, වැඩේ ඉවරවෙලා වෙන ටුක් එකක් ගන්න ඕන.
5. අනවශ්‍ය ගේම
දැන් අපි හැමෝම මනුස්සයොනේ. ඒක කොයිම මොහොතකවත් අමතක කරන්න නරකයි. එතකොට ටුක් ටුක් ඩ්‍රයිවර් කෙනෙක් අතින් වුනත් වැරැද්දක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට පාර හොයාගන්න බැරුව අපි ඉන්න තැනට එන්න පරක්කු වෙන්න පුළුවන්. යන්න ඕන තැන හොයාගන්න බැරුව අපිව පොඩ්ඩක් වාත වෙන්න පුළුවන්. මගදි පැට්රල් ගහගන්න ඕන වෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ මානුෂීය වැරදි ගණයට වැටෙන වැරැද්දක් ටුක් ටුක් ඩ්‍රයිවර් මහත්තයෙක් අතින් වුණු ගමන් සමහරු ඉන්නවා ගේම ඉල්ලන. ඒක හරි නැහැ නේද? දැන් කාලේ මේ මානුෂික වැරැද්දකට වුනත් ගේම ඉල්ලන ජනප්‍රිය ක්‍රමය තමයි පොඩ්ඩ බැරිවුණු ගමන් ටුක් ටුක් ඇප් එකේ අදාළ ඩ්‍රයිවර් මහත්තයාට අඩුම රේටින්ග්ස් දෙන එක. අපි සමහර නෝනලා එහෙම දැකලා තියෙනවා, ට්‍රැෆික් නිසා ඇප් එකේ පෙන්නන එස්ටිමේට් වෙලාවට විනාඩි පහක් පරක්කු වුණු නිසා ඕන නෑ කියලා ටුක් එක හරවලා යවනවා. නැත්තං අඩුම රේටින් එක දෙනවා.
6. වැරදි කරන්න පොළඹවන්න එපා
මෙන්න මේක ටුක් ටුක් ඩ්‍රයිවර් මහත්තයගේ විතරක් නෙවෙයි, තමන්ගේත් ශරීර සෞඛ්‍යයට ඉතාම හොඳ දෙයක්. දැන් ඔන්න අපිට කොහේ හරි යන්න පරක්කු වෙලා. ටුක් එකක අපි නැගලා යනවා. පරක්කු වෙලා නිසා අපි ටුක් එකේ ඩ්‍රයිවර් මල්ලිට කියනවා කොහොම හරි මේ වෙලාවට මෙතනට යං කියලා. මල්ලිත් ආයෙ නෑ ලෑල්ලටම තියලා පාගනවා. එතකොට රෙඩ් ලයිට් එකක් එහෙම තිබුණොත් ඒත් අපි කියනවා හදිසියට “ඔහොමම ඇරලා යං” කියලා. ටුක් ටුක් මල්ලිත් දුර දිග නොහිතන හාදයෙක් නං ඒ විදියටම ඇරලා යයි. හැබැයි ඔය විදියට මාර්ග නීති කඩලා පොලිසියට අහුවුනොත් ඒක විඳින්න වෙන්නේ ටුක් ටුක් මල්ලිට. අනතුරක් වුනොත් ඒක දෙන්නටම විඳින්න වෙනවා. ආන්න ඒ නිසා තමන් නගින ටුක් එකේ රියැදුරු මහත්තයා මාර්ග නීති කඩනවා නම්, එයාට ඒ ගැන අවවාදයක් කරනවා මිසක්, තමන් වෙනුවෙන් මාර්ග නීති කඩන්න කොහෙත්ම පොළඹවන්න එපා.
7. ගාණ හරියට
ටුක් එකෙන් අදාළ ගමන ගිහින් අපි ගමනාන්තයට එනවනේ. ආන්න එතකොට එනවා තව ප්‍රශ්නයක්. ඒ තමයි ගාණ. දැන් ඔය අපිව අන්දන්න බලාගෙන ඉන්න ටුක් ටුක් අයියලාගෙන් බේරෙන්න තමයි අපි කියන්නේ හයර් එක යන්න කලින් ගාණ කතා කරගන්න කියලා. ඊට පස්සේ ඉතින් තමන්ගේ අවශ්‍යතාවයක් වෙනුවෙන් වැඩිපුර වෙලාවක් කොහේ හරි ඉන්න, අමතර දුරක් යන්න එහෙම වුනා නම්, ඒකට හිතලා මතලා සාධාරණ ගාණක් දෙන එක තමන්ගේ යුතුකම. සාමාන්‍යයෙන් මීටර් ටුක් එකක ගියත් මීටරේ වැටුණු අන්තිම සතේටම ගාණ බේරන්නෙ නැතුව, අතේ කීයක් හරි තියේ නං රවුම් ගාණක් දෙන එකත් තමන්ගේ හිත හොඳ කම.
හැබැයි ඔය එකක්වත් නැතුව පොරොන්දු වුණු ගාණත් බැස්සට පස්සේ හෙට්ටු කරලා අඩු කරන්න හදනවා නම්, ටුක් ටුක් එකේ හරි හයර් එකට නියමිත ගාණ නොදී මොකක් හරි කියලා ඩ්‍රයිවර් මහත්තයාට හොර කරන්න හදනවා නං, අන්න ඒක හරි හැදියාවක් නැති කම. ඒවා නරකයි.
Leave a Reply