ඉවසීම ප්‍රගුණ කරන්න ලංකාවේ දී කළ හැකි දේ

හොසු ළඟින් මැසි සේනාවලට යන්න නොදෙන්න තරම් ඉවසීමක් නැති ජාතියක් බවට අපි පත් වුණේ කොහොමද? එයාලාත් මේ ලෝකේ ජීවත් වෙන්න ඕනි නේද? අනංමනං කතන්දර ඕනි නෑ, ඉවසීම නැතිකම නිසා තමයි වෙන තරමක් කරදර අපිට වුණේ. හැබැයි රටක් වශයෙන් ඉවසීමෙන් ස්වයංපෝෂිත වන්න නම් කරන්න පුළුවන් දේවල් අපේ වටේ තියෙනවා.

 

1. ක්‍රිකට් මැච් බැලීම

Image Source – blogs.opera.com

මේ ලැයිස්තුවේ උඩින්ම ඉන්න මීට වඩා වැදගත් සහ ප්‍රායෝගික හේතුවක් තියෙනෝ නම් ඒ සමාන්තර විශ්වයක ලංකාවක වෙන්න ඕනි. මොකද කියනවා නම් හොම්බෙන් යනවා කියලා දැන දැන දත කට මැදන් මේ බෝල පාස් කිරිල්ල බලනවා කියන්නේ අදහන්න වටින දෙයක් නිසා. හැබැයි ඉතින් ඒ දවස්වල ක්‍රිකට් කියන්නේ කොහෝමහරි හාට් ඇටෑක් එකක් එක්කම අමුතු ත්‍රිල් එකක් දුන්න ක්‍රීඩාවක්. ඒකටත් එක්ක දැන් තමයි හුදී ජනතාවගේ ඉවසීම වඩවන මලහත්තිලව්වක් වෙලා තියෙන්නේ. දේශපාලන ජවුසම්, ක්‍රීඩකයන්ගේ කෝලම් ඔක්කොම බලන එකෙන් ඉවසීම නැතුව අහවල් එකක් ප්‍රගුණ වෙන්න ද?

 

2. මෙගා ටෙලියක් බැලීම

Image Source – youtube.com

සතියකට එක දවසක් විතරක්‍ යන ටෙලියක අනික් කොටස එනකන් සතියක් බලන් ඉන්න එක ඉවසීම කියලා තමයි හිතාන හිටියේ. හැබැයි ඊට පස්සේ මේ මෙගා ටෙලි කියලා එකක් ලංකාවට පහළ වුණානේ. හැමදාම පෙන්නුවත් ඉවරයක් පේන්න නැති නිසා ඒ නොපෙනෙන අවසානේ දක්වා ඉවසන එක නම් අම්මපා හෙනට ඉවසීම පුරුදු කරවන්න පුළුවන් එකක්. බලන්න පටන් ගත්ත නිසා නොබලා ඉන්න බැරිකමට කොරනවා මිසක් මොන මගුලක් ද කියලා දමලා ගහන්නැතුව, ටීවී ඉස්සරහට වෙලා ඉවසන්න පුරුදු වෙන්න පුළුවන්.

 

3. කොට උඩ බසයක ගමනක් යෑම

Image Source – horsebreedsinfo.com

ඉවසන දනා ලංකාවේ බස් එකක කිව්වටත් වැරදි නෑ ඉතින්. ඒ තරමට ඉවසීමක් බස් එකකින් එක ගමනක් ගියාම ලැබෙනවා. නිකන්ම නිකන් බස් එකක ගියාට හම්බෙන දෙයක් නෑ ඉතින්. ගැම්ම එන්න නම් යන්න ඕනි ඩීසල් වෙනුවට ගොළුබෙල්ලෝ ගහන ඒවයේ. උදාහරණයක් දෙනවා නම් ඉතින් ලංකාවේ දෙන්න පුළුවන් හොඳම එක තමයි 154 කිරිබත්ගොඩ අඟුලාන බස් එක. සාපේක්ෂව කෙටි දුරක් යන්න මේ බස් එක ගන්න කාලයේ දී ඕනි නම් අටමස්ථාන සොළොස්මස්ථාන ටික බලාගෙන එන්නත් පුළුවනි.

 

4. රජයේ කන්තෝරුවකින් වැඩක් කරගැනීම

Image Source – horsebreedsinfo.com

මේ අනික් එක. වැඩක් කරගන්න හිතනවා නම් කුකුළත් අතේ තියාගෙන යන්න ඕනි. ඇයි ඉතින් කීයට කොහොම ඉවර කරගෙන එන්න පුළුවන් ද කියලා කවුරුත් දන්නේ නැහැ. වන්දනා ගමනක් යනවා වගේ තමයි මේක කරන්න ඕනි. ඊටත් වඩා මේ ඔපීසිවලට අලුතින් පත් වෙච්ච ළමයින්ගේ කැටයම් බල බලා ඉන්න වෙන එක. බුදු අම්මේ තණ්හා රතී රඟා වගේ තමයි. වැඩේ පැත්තක තියලා එන්න හිතෙන්නේ එහෙම නෝනා කෙනෙක් එක්ක ගනුදෙනු කරන්න ගියාමයි. හැබැයි ඉතින් ඉවසීම ප්‍රගුණ වෙන නිසා මෙත් වඩ වඩා ඉන්නවා අපිත්.

 

5. විශ්වවිද්‍යාල ප්‍රවේශය

Image Source – istock.com

ඔතන ප්‍රවේශය කිව්වට උසස් පෙළ ප්‍රතිඵල එනකන්ම ඔය සෙතේ තමයි. ජීවිතේ හොඳම කාලේ අවුරුද්දක් හමාරක් නිකරුණේ ගත වෙනවා මේ නිසා. ප්‍රතිඵල ආවා කියලා කියමු. අහවල් පාඨමාලාවට ද තේරුණේ කියලා හිතාගන්න යන කාලයේ වනගත වෙලා බවුන් වැඩියා නම් ඇත්තමයි ජීවිතේටත් විය යුත්තක් වෙනවා. ගම්වල ඉන්න රොයිටර ඇන්ටිලා, නෑදෑයෝ එක්ක හෙට්ටු වෙවී මේ ගෙවන්න වෙන දුෂ්කර කාලය ඉවසීම වැඩිදියුණු කරගන්න කියාපු එක.

 

6. ඡන්ද ප්‍රතිඵල

Image Source – reuters.com

මේකත් ඉතින් විභාග ප්‍රතිඵල එනවා වගේ තමයි. මේකේ පොඩි විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි ඡන්ද පේන්න බෑ වගේ කතන්දර කියවන අයටත් ඉවසීමේ සීමා ඉක්මවන්න මහ රෑ දොළහා පහු වෙලත් එක ප්‍රතිඵලයක්වත් ආවේ නැත්තම් පුළුවන් වෙන නිසා. දැන් එයි දැන් එයි කියලා හිතන් හිටියට නැහැ. ඇස් දෙකත් පොඩි කර කර ඇහැරගෙන ඉන්නේ ඉවසීමෙන් එක ප්‍රතිඵලයක් හරි බලලා නිදාගන්න.

 

7. අලුත් අවුරුද්දේ ෂොපින්

Image Source – 123rf.com

නත්තල් කාලෙට අලුත් අවුරුද්දට වෙන ෂොපින් කියන්නේ ඉවසීමේ නහරයක් පුපුරලා වුණත් යන්න පුළුවන් තරමේ අවදානමක් තියෙන වැඩක්. ඇඳුමක් ළඟට ළං වෙන්න, ඒක ඇඳලා බලන්න, කැෂියර් එකට ළං වෙන්න කියන මේ තුන කරන්න කල්පාවසානය වෙනකන් වුණත් ඉන්න පුළුවන්. ඒ මදිවාට කඩවල වැඩ කරන උදවියගෙන් ඉස්පාසුවක් නෑ නිදහසේ එකක් තෝරගන්න. ආපහු කාලයේ ආපස්සට ගිහිල්ලා කොළ අතු ටිකකින් විළිවහගන්න තරම් ආවේගයක් ආවත් ඉවසීම කියන්නේ මේකේම කොටසක් නිසා හැම අවුරුද්දකම ඔය ක්‍රියාදාමේ සිද්ධ වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *