පොඩ්ඩන්ට ලේසියෙන්ම ස්මාට්ෆෝන් වල වැඩ කරගන්න පුළුවන් ඇයි ?

“බලන්න මේ අපේ දරුවට ඕනි ෆෝන් එකක් විනාඩි දෙකෙන් අල්ලගන්න පුළුවන් නේ?” කියලා දෙමාපියන් කියනවා. ඒ වගේ ස්මාට්ෆෝන් එක පාවිච්චි කරන්න දරුවන් හොඳින් හුරු වීම දෙමාපියන් ආඩම්බරයක් විදිහට දකිනවා. එහි යම් වාසියක් තියෙනවා තමයි. ඕනිම තාක්ෂණික දෙයක් හුරු වීම හොඳයි. ඒත් ස්මාට්ෆෝන් කියන්නේ ඉගෙනගන්න අමාරු දෙයක් නෙමෙයි. ඒක අපේ ගෙවල්වල ඉන්න අවුරුදු හැත්තෑව, අසූව වෙන ආච්චිලා සීයලාටත් හසුරුවන්න පුළුවන් වෙන්න හදන බඩුවක් නිසා ඒ ස්මාට්ෆෝන් හැසිරවීම ගැන අමුතුවෙන් පුදුම වෙන්න දෙයක් නැහැ.

 

1. හාඩ්වෙයාර් සියළු දේ එකම තැන

මීට අවුරුදු විස්සකට ඉස්සර පරිගණක යන්ත්‍රයක් එකලස් කරන එක ගේම් එකක් වගේ දෙයක්. ඒකට ටිකක් දැනුම ඕනි. ඒත් ෆෝන් එකක් කියන්නේ හොඳට ගාණට උයලා පිළිගන්වලත් තියෙන කෑම වේලක් වගේ. ඕනි කරන හැම දේම තියෙන එක බොත්තමකින් පණ ගන්වන්න පුළුවන් පොඩි උපාංගයක්. ඉතින් සයිස් එකෙන් පොඩි වීම සහ හාඩ්වෙයාර් අනුව හසුරුවන්න පහසු වීම මේ ස්මාට්ෆෝන් හිට් වෙන්න බලපෑවා.

 

 

2. මොබයිල් ඕඑස් ගාණ අඩු වීම

මොබයිල් ඕඑස් මුළු ලෝකෙටම තියෙන්නෙ දෙකයි. වර්ෂන් අතර සුළු වෙනස්කම් තිබුණත් ගොඩක් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් අනෙකට ආසන්නව සමානයි. ෆෝන් වර්ගය අනුවත් මේ ඕඑස් වෙනස් වෙන්නේ අඩුවෙන්. කොටින්ම අපි රූපවාහිනී දුරස්ථ පාලකයක් ගත්තා වුණත් ඒකේ බොත්තම් තියෙන විදිහ, ඒකේ මෙනු එක තියෙන විදිහ ටීවී වර්ගයෙන් වර්ගය ගොඩක් වෙනස්වෙනවා. වෙනත් ගෙදර දොර උපකරණ වුණත් එහෙමයි. ඒත් මොබයිල් ෆෝන් ඇපල් සහ ඇන්ඩ්‍රොයිඩ් යන මූලික මෙහෙයුම් පද්ධති වලින් එන නිසා එකක් යාන්තමට හුරු වුණ කෙනෙක්ට තව එකකට හුරු වෙන එක කජු කනවා වගේ ලේසියි.

 

 

3. හිර වෙන්නේ, නවතින්නේ නැහැ

මුල් කාලේ ආපු ස්මාට්ෆෝන් නම් ටිකක් වැඩ කරන්න අමාරු නවතින ඒවත් වුණා. ඒවායේ තිබුණ රැම්, ප්‍රොසෙසර් සහ අනෙකුත් හාඩ්වෙයාර්, සොෆ්ට්වෙයාර් වල දෝෂ තිබුණ නිසා සමහර ස්ටෙප් වලදි හිර වුණා. ඒත් දැන් ගොඩක් බේසික් ස්මාට්ෆෝන් වල පවා ක්වඩ් කෝ සහ ගිගාබයිට් කිහිපයක රැම් එකක් එනවා. ඒ එක්ක ෆෝන් එක ලොවෙත් හිර වෙන්නේ නම් නැහැ. ඒ කියන්නේ පොඩි කෙනෙක් ඇවිත් ෆෝන් එක අන්ලොක් කරාට පස්සේ මොනවා එබුවත් ආයේ ඒක හිර වෙලා නවතින කේස් එක අඩුයි… 

 

 

4. යූසර් ෆ්‍රෙන්ඩ්ලි වීම

මොබයිල් ෆෝන් එකට ගේම් එකක් දාගන්න එක පරණ කම්පියුටරයට ගේම් එකක් දාගන්නවාටත් වඩා සරලයි. ඒක ඒ ආකාරයට සරල වෙන්න හදලා තියෙන්නේ ඕනිම යූසර් කෙනෙක්ට පහසුවෙන් පාවිච්චි කරන්න හැකි වෙන්න. පරිගණක වලින් පොටෝ හදන්න, වර්ඩ් වැඩ කරන්න, එක්සෙල් වලට එහෙම ඒ හැකියාව ලබාගන්න පංති පැවැත්වෙනවා. ඒත් මොබයිල් ෆෝන් එකක් යූස් කරන්න කොහෙවත් පංති නැහැ. මොකද ඒක ඒ තරමට සරල දෙයක් බවට මොබයිල් නිෂ්පාදකයින් විසින් පත් කරලා තියෙනවා. කීමට විතරක් නෙමෙයි, ඇත්තටමත් වයස තුන හතර වෙන පොඩි එකෙක්ටත් ෆෝන් එකක් අතට අරගෙන හසුරුවන්න පුළුවන් මට්ටමට ඒක භාවිතාවට පහසුයි.

 

 

5. කාලය අනුව දැනුම ලැබීම

මේ කාලයේ කම්පියුටර්, ස්මාට්ෆෝන් කියන්නේ මැජික් නෙමෙයි. යූ ටියුබ් එකේ වීඩියෝ එකක් හොයාගන්න හැටි, වෙබ් එකකට යන හැටි වගේම ගේම් එකක් ඩවුන්ලෝඩ් කරගෙන ඒක ෆෝන් එකට දාගන්න හැටි පොඩ්ඩන්ට පොඩි පංතිවල පාසැල් මිතරන්ගෙනුත් දැනගන්නට පුළුවන්. තාක්ෂණය ගැන නිතර උනන්දු සෙට් එකක් හැම පොඩි කාණ්ඩයකම ඉන්නවා. ඉතින් නොදන්නා අයත් ඒ අයට සෙට් වෙලා ඒ කරුණු දැනකියා ගන්නවා. ස්මාට්ෆෝන් කියන්නේ හැම දෙමාපියෙක්ම අතේ තියෙන බඩුවක් නිසා බහුතරයක් දරුවන්ට ෆෝන් හැසිරවීම ගැන හොඳ දැනුමක් තියෙනවා.

 

 

6. පොඩ්ඩන්ව ගයිඩ් කිරීම

අන්තර්ජාලයේ වගේම ස්මාට්ෆෝන් වලත් දරුවන්ට නුසුදුසු දේවල් තියෙන තැන් තියෙනවා. ඒ වගේම ගේම් වලට හුරු වීම දරුවන්ගේ කාලය අපතේ යෑමක්. ඒත් දවසේ යම් නියමිත වේලාවක් පමණක් ගේම් වලට හුරු වුණාට ලොකු අවුලක් නැහැ. කොහොම වුණත් “අපේ පුතා අපිට වඩා ෆෝන් ගැන දන්නවා. මෙන්න එයා ඒක පාවිච්චි කරනවා” කියන්නේ තව දුරටත් මහා මැජික්ස් එකක් නම් නෙමෙයි. ඒ නවීන කාලයට අනුව දෙමාපියනුත් අප්ඩේට් වන්නට ඕනි. දරුවන් බලන්නේ මොනවාද? කරන්නේ මොනවද කියල ෆෝන් වල ඇප් වල හිස්ට්රි එකෙන්, බ්‍රවුසර් හිස්ට්රි එකෙන් බලන්න පුළුවන්. ඒ වගේම දැන් කුඩා දරුවන්ටම හැදුන යූ ටියුබ් කිඩ්ස් වගේ විශේෂාංග වලින් ඔවුන්ට වෙනමම වැඩසටහන් සකස් කරලාත් තියෙනවා. ඒවා අනතුරුදායක බවින් අඩුයි.

 

 

7. ෆෝන් එකෙන් ඉගැන්වීම

මේකට නම් අපිටත් ටිකක් දැනුමක් තියෙන්නට ඕනි. ෆෝන් එකෙන් වීඩියෝ එකක් හදාගන්න, ෆොටෝ එකක් සකසා ගන්න විවිධ ආකාරයේ ඇප්ස් තියෙනවා. ඒවා හරහා දරුවන්ට ඒවා සකසාගන්නට සෙමෙන් සෙමෙන් කියාදෙන්නට පුළුවන්. ඒ වගේම විවිධ ආකාරයේ ගණිතය, විද්‍යාව විතරක් නෙමෙයි, වෙනත් විෂයයන් පවා කියාදෙන නවීන ආකාරයේ ඇප්ස් තියෙනවා. ඒවා හරහාත් දරුවන් ආසාවෙන් ඉගෙනුමට හුරු කරනවා. ඒ වගේම යූ ටියුබ් වගේ දේකට හුරු වෙච්චි දරුවන්ට නම් නිතරම කාටූන් සහ විවිධ ඇක්ෂන් ෂෝ විතරක්ම බලන්න දෙන්නෙ නැතුව අධ්‍යාපනික වටිනාකම් තියෙන චැනල් ඔහුට හඳුන්වා දීමත් දෙමාපියන්ට කරන්නට පුළුවන්.

 

ලෝකය නවීන වෙද්දි අපි නවීන නොවී හිටියොත් අපිව කැපෙනවා. පහුගිය කාලේ කොරෝනාවට පෙර රූපවාහිනී කතා බහ බණ වැඩසටහන් වල පඬිතුමාලා ඇවිත් ස්මාට්ෆෝන් දරුවන්ට දෙන්න එපා කියලා පොළවේ හැපුනේ නැති ටික විතරයි. එත් කොරෝනා කාලේ දරුවන්ට යම් තරමකින් හෝ අධ්‍යාපන කටයුතු කරගන්න මේ ෆෝන් එක වැදගත් බඩුවක් වුණා. ඉතින් ස්මාට්ෆෝන් කම්පියුටර බිල්ලෙක් විදිහට දකින්නේ නැතුව දරුවන්ට ඒවා ඇසුරෙන් ඉගෙනගන්න, ඒවා පාවිච්චි කරලා අලුත් ලෝකය දකින්නට මග විවෘත කරලා දෙන්නට ඕනි.