දරුවෝ ඉන්න ගෙදරක් කියන්නේ ජීවයක් තියෙන තැනක්. කොච්චර හොඳ බබාලා විදියට ඉන්න කියලා දරුවන්ට කිව්වත් එයාලගේ දාංගලේ නවතින්නේ මොහොතකට විතරයි. ටික වෙලාවකින් ආයෙත් පරණ විදිහටම දැඟළිලි පටන් ගන්නවා. දරුවෙක්ට තුවාලයක් වුනාම අපි මොනවද කරන්න ඕනි? ඔව්, තුවාල වුනාම මොනවද කරන්න ඕනි කියලා අපි දන්නවා තමයි. ඒත් අපි අතින් හරියට නිවැරදිව ඒ විදිහෙ තුවාලයක් වුනාම කරන්න ඕනි දේවල් සිදුවෙනවාද කියලා ආයෙත් ටිකක් හොයලා බලමු.
1. පිරිසිදුකම
දරුවෙකුගේ තුවාලයකට බෙහෙත් කරන්නට කලියෙන් අත් දෙක හොඳට සෝදාගෙන ඉන්නට ඕනා. චිකිත්සාගාරයකදි හෝ ඉස්පිරිතාලයකදි නම් තුවාල වලට බේත් දාන්න යොදාගන්නා වෙළුම් පටි, ප්ලාස්ටර්, පුළුන් වගේම අවශ්‍ය බෙහෙත් හේත් ආදියත් හොඳට පිරිසිදුව ගබඩා කරලා තියෙනවා. ගෙදරදිත් පොඩි දරුවෝ ඉන්නවා නම් එයාලට අදින්න බැරි වෙන්න වෙනම ආරක්ෂිත තැනක පිරිසිදුව අවශ්‍ය ප්‍රථමාධාර කිට් එක ගබඩා කරලා තියන්නට ඕනි. මොකද අපිරිසිදු යමක් හරහා දරුවකුගේ තුවාලය ආසාදනය වුනොත් තුවාලය සුවකරගන්න ලේසි නැහැ.
2. ලේ නැවැත්වීම
කකුලේ එහෙම තුවාලයක් වුනොත් නිදිකරලා ටිකක් කකුල ඔසවා තබන්නට ඕනි. එතකොට ටිකක් ලේ වල වේගය අඩු වෙනවා. තුවාලය සිදුවුනේ එලිමහනකදී නම් ගොඩක් වෙලාවට තුවාලය පස් වලින්, වැලි වලින් නැතිනම් වෙනත් අපද්‍රව්‍ය වලින් වැහිලා තියෙන්නට පුළුවන්. ඒ අපද්‍රව්‍ය ටික ගලායන ජලයෙන් සෝදලා ඉවත් කරලා තුවාලයේ ලේ නවතාගැනීම මුලින්ම කළ යුතුයි. පැතලි පෘෂ්ඨයක වුනු පොඩි තුවාලයක් නම් තුවාලය අතින් වහලා පීඩනයක් යෙදුවාම තුවාලයේ ලේ නවතිනවා.
3. තුවාලය පිරිසිදු කිරීම
ඉස්සර කාලේ නම් තුවාලයක් වුනාම සර්ජිකල් ස්ප්‍රීතු, හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලින් තුවාලය පිරිසිදු කළා. ඒත් දැන් වෛද්‍යවරුන් කියන්නේ ඒ වැනි සැර දියර ජාති වලින් තුවාලයේ අවසානයේ ඇති සෛල මැරෙනවාලු. දරුවන්ගේ සම අපේ සමටත් වඩා සිනිදුයි, ළාමකයි. ඉතින් ඇල්කොහොල් හෝ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් හෝ සැර දියර වලින් දරුවන්ගේ ඒ සීරිම් හෝ කුඩා තුවාලය තවත් පෑරෙන්න පුළුවන්කම වැඩියි. ඒ නිසා ටිකක් සීතල වතුරෙන් හෝ සේලයින් වලින් තුවාලය සෝදන්න කියලා තමයි දැන් වෛද්‍යවරුන් කියන්නේ.
4. ඇන්ටිබයොටික් ක්‍රීම්
තුවාලයක් වුනාම තුවාලය සවුත්තු වෙන්න බැක්ටීරියා ආසාදන මුල් තැනක් ගන්නවා. ඒක වළක්වන්න දැන් ඇන්ටබයොටික් හෙවත් ප්‍රතිජීවක ක්‍රීම් වර්ග තියෙනවා. කුඩා දරුවන්ගේ සුළු තුවාල වලට සුදුසු ඇන්ටිබයටික් ක්‍රීම් එකක් දොස්තර මහත්මයෙකු හරහා අරගෙන නිසි තැනක ගබඩා කරලා තියාගන්න එක වැදගත්. මේ ඇන්ටිබයොටික් ක්‍රීම් එක දිනකට තුන් වතාවක් විතර පිරිසිදු තුවාලයේ ආලේප කරන එක යෝග්‍යයයි.
5. තුවාලය වැසීම
පොඩ්ඩෙක් නම් තුවාලයක් වුනා කියලා දැඟලීමේ අඩුවක් නැහැ නේ. ඒ නිසා තුවාලය හොඳින් ආවරණය කරන එක වැදගත් වෙනවා. ඒ වගේම බබාට තේරෙන විදිහට සරලව තුවාලය පෑරෙන්නේ නැතිව තියාගන්න කියලත් කියාදෙන එක වටිනවා. පරණ කාලේ වගේ දරුවාට සැර කරන්නේ නැතිව ආදරෙන් ඔහුට හෝ ඇයට ඒ තුවාලය ගැන කියාදෙන එක වැදගත්. එතකොට දරුවා තුවාලය පෑරෙන වැඩ වලින් යම්තාක් දුරකට හෝ ඈත් වෙලා ඉඳීවි.
6. ආසාදන තත්ත්වයක් තිබේදැයි බැලීම
දරුවෙකුට තුවාලයක් වුනාම ඒක හොඳ වෙනවාද නැද්ද කියලා අවධානයෙන් ඉන්නට ඕනා. සුළු සීරිමක් වුනත් කකුලක් වගේ තැනකදි නිතර නිතර ගැටෙන නිසා එය ආසාදනය වෙන්නට හැකියාව වැඩියි. තුවාලයේ පැහැය වෙනස් වෙලා ඒ අවට ඉදිමීමක් පෙන්නුම් කරනවා නම් බල බල ඉන්නේ නැතුව දොස්තර මහත්තයෙක් දකින්න යන එක තමයි හොඳම දේ. ඒ වගේම ඇන්ටබයටික් වගේ බොන බේත් ජාති දුන්නොත් ඒවා කියන මාත්‍රාවට නිසි පරිදි දරුවාට ලබාදෙන එකත් වැදගත් වනවා. තුවාලය යාන්තම් වේලෙන්න ගත්තම බොන බේත් ටික නැවැත්තුවොත් නැවතත් බැක්ටීරියා වර්ධනය වෙලා ආයෙමත් තුවාලය වැඩි වෙන්න ඉඩ කඩ තියෙනවා.
7. ලොකු කේස් එකක් නම්?
මේ ඉහත කිව්වා වගේ අපිට පිරිසිදු කරලා බේත් දාගන්න පුළුවන් සුළු තුවාල සිද්ද වුන තැනකදි වුනත් අපි අනතුර හරියට දැක්කේ නැතිනම් ටිකක් අවධානයෙන් ඉන්න එක වටිනවා. සමහර දරුවෝ උඩපැනලා පොඩියට තුවාල වුනාට ඇතුලේ අස්ථි ආදිය බිඳිලා, පේශි ඇදිලා යම් වෙනස්කම් ඇතිවෙලා තියෙන්නට පුළුවන්. සෙල්ලම් කරන තැනකදි දරුවාට තුවාලයක් වුනානම්, එහෙම නැතිනම් වෙනත් කෙනෙක් දරුවා බලනකොට තුවාලයක් වුනානම් ඒ දේ ගැන හොඳට අහලා, ඒ අනතුර පොඩි සීරීමක් තුවාලයක් පමණයිද කියලා දෙමාපියන් දැනගන්න ඕනි. මොකද දරුවන් ඇතැම් වෙලාවට දෙමාපියන්ට තියෙන බය හෝ ආදරය නිසා මේ වගේ අනතුරක් වුනත් හරියට ඒ ගැන විස්තර කියන්නේ නැහැ. “නෑ මේ පොඩ්ඩක් තුවාල වුනා විතරයි” කියලා ශේප් වෙන්න හදනවා.
පොඩ්ඩන්ට තුවාල වුනාම සාමාන්‍යයෙන් වැඩිහිටියන්ට වඩා ඉක්මනින් සුව වෙනවා. ඒත් සමහර අවස්ථාවල තුවාලයේ ස්වභාවය සහ වෙනත් හේතු මත තුවාලය සුව වෙන්න කල් ගත වෙන්න පුළුවන්. වෙන ලෙඩක් වුනා වගේ තමයි තුවාලයක් වුනාමත් සමහරු එක එක ගොඩ බේත්, අත් බේත් කියනවා. ඒත් දරුවන්ට අත් බේත් ගොඩ බේත් අත්හදා බලන්න යන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. දැන් ඉතින් ඕනිම ගමක නගරයක පවා ලේසියෙන් ඉංග්‍රීසි බේත් හොයාගන්න පුළුවන්කම තියෙනවා. සුළු මුදලකට ගෝස්, පුළුන්, ඇන්ටිබයටික් ක්‍රීම්, අලවන ප්ලාස්ටර් ආදිය ටිකක් ගෙදර ගෙනහින් පිරිසිදුවට ගබඩා කරලා තියාගන්න එක පොඩි ළමයි ඉන්න ගෙදරකට හැම අතින්ම වැදගත් වෙනවා.
Leave a Reply