බස්වල නිදියන මිනිස්සුන්ට ඇති ප්‍රධානම බාධා 7ක්

සමහර මිනිස්සු බස්වල යද්දි සින්දු අහගෙන යනව. සමහරු ජැක් ගහගෙන යනව. සමහරු කෙල්ලෙක් සෙට් වෙයිද කියල බලාගෙන මූණු දිහා බලාගෙන යනව. සමහරු වාඩි වෙලා ඔහේ යනව. සමහරු ෆේස්බුක් බල බල යනව. තව සමහරු මල් කඩ කඩ යනව. තවත් සමහරු කෙල්ල එක්ක ලවු කර කර යනවා. ඔය අත​රෙ තවත් සමහරු නිදියගෙන යනව. මෙන්න මේ නිදියගෙන යන ඈයොන්ට සිද්ධ වෙන ප්‍රධානම අකරතැබ්බ කිහිපය ගැනයි අපි දැන් කියන්න යන්නෙ. ඇත්තටම මේ අය නිදියගෙන යන්නෙ එයාලට නින්ද අඩු නිසානෙ. ඉතිං ඩ්‍රයිවු කරන්න ඕනෙ නැති පැය දෙකක විතර ගමනක් ඒ අය නිදහසේ නිදියගෙන යන එක කාටවත් කරදරයක් නැති, ඒ අයටත් සුවයක් දෙන දෙයක්නෙ. මෙන්න මේකට සිද්ධ වෙන බාධා ඇහුවම ලියන මට වගේම කියවන ඔයාලටත් දුක හිතෙයි.

 

1. සුවදේ‍… මට

Image Source – facebook.com

බස් අයියලත් ඉතිං අර අසෝක් ලේලන්ඩ් බස් එකට ස්පීකර් හයක් දානවනෙ. ඉතිං කොයි වෙලේ බැලුවත් සබ්වූෆර් එකක් උඩ වාඩි වෙලා යනව වගේ නස්කූනි හැඟීමක් තමයි මගියොන්ට තියෙන්නෙ. හැබැයි ඉතිං නිදියන ඈ​යොන්ට ඒක මහා අර්බුදයක් ​නොවී ෂේප් එකේ නින්ද යනවා. හැබැයි ඕකට ප්‍රශ්නයක් මතුවෙන්නෙ එක්කෙනෙක් නිසා. ඒ තමයි බ්‍රදර් ඇන්ටන් චාල්ස් තෝමස් කියන්නෙ. හම්මටසිරි පොර කවදාවත් සද්දෙ අඩුවෙන් කතා කරන්නෙ නෑ. මළවුන්ගෙන් නැගිට්ටවන්න පුළුවන් සද්දෙන් බෙරිහන් දෙන්නෙ. දෝර් දෝර් ගාලා බස් එකේ ස්පීකර් කටෙන් එයාගෙ සද්දෙ ඇහෙද්දි කිසිම මනුස්සයෙකුට ඉන්න හිටින්න බෑ. කොයි සින්දුව කියන්නෙත් එකම ටෝන් එකෙන්. කොටිම්ම ඔන්චිලිචිලි චිල්ල මලේයා සහ සුලං කුරුල්ලො කියන සින්දු දෙකම ජබං ජබං ගාලා කීමේ හැකියාව එයා සතුයි. ඊට පස්සෙ ඒකෙ විග්‍රහය කරන්නෙත් බෙරිහං දීලා. අනේ ඉතිං නිදි දෙව්දුව ලේලන්ඩ් බස් කඩාගෙන දුවන්නෙ.

 

2. ගෑනියෙක්

මේකත් ලොකුම බාධාවක්. ඒ තමයි බස් එකේ අනෙක් පස ගැහැනියක් වාඩි වීම. මේක නරකම විදියට බලපාන්නෙ පිටිපස්සෙ සීට් එකේ වාඩි වෙලා දෙපැත්තෙන්ම තරුණ පහේ ගැහැනු දෙන්නෙක් වාඩි වුනොත්. ඇයි ඉතිං නින්ද ගියාට පස්සෙ කොයි පැත්තට බෙල්ල කඩං වැටෙයිද කියන්න දන්නැහැනෙ. ඊටපස්සෙ ඕකුන් කියවන්න ගත්තම කනක් ඇහෙන්න වෙන්නෑ. ඊටත් හපං වීඩියෝ කරලා ෆේස්බුක් දැම්මොත්. හප්පෝ! ඊට හොඳයි ඇහැරගෙන යනවා.

 

3. සොර බිය

Image Source – pinterest.com

මේකත් ලොකු ප්‍රශ්නයක්. බස්වල ඉන්නවනෙ පික්පොකට් කාරයො. තුන් හතරදෙනා එකට සෙට්වෙලයි නගින්නෙ බස් එකට. මේ අය බොහෝවෙලාවට බලහත්කාරකමක් නොකර තමයි වැඩේ කරන්නෙ. ඉතිං නිදියගෙන ඉන්න මනුස්සයෙක් කියන්නෙ මෙයාලට සල්ලි උල්පතක් වගේ වැඩක්. ඇයි ඉතිං ඉවක්බවක් නැහැනෙ. ෂේප් එකේ පොකට් අතගාගන්න, බෑග් අරින්න නියමෙට ඉඩ ලැබෙනවා. ඉතිං ඔය බය හිතේ තියාගෙන කොහොමද නිදියන්නෙ කියල හිතන්නකො නිකමට.

 

4. බඩ දරු

Image Source – tinypix.com

කොහොමද නිකමට හරි නිදියගෙන ඉන්න වෙලාවක බඩ දරු අම්මා කෙනෙක් හරි වයසක අම්මා කෙනෙක් හරි සීට් එක ලඟ හිටගෙන හිටියොත්. පහුවදාට ජාත්තියන්තරේට ගිහින් නවතින්නෙ සීට් නොදුන් අමනයා කියල කාඩ් එකකුත් වැදිලා. අන්න ඒ නිසා හිතේ බයෙන් තමයි නිදාගන්න වෙන්නෙ. ඔයිට හපං ගැබිනි මාතාවන්ට වෙන්වුනු සීට් එකේ නින්ද ගියොත්. ප්‍රශ්න දෙගුණ තෙගුණ වෙන්න පුළුවන්. අන්න ඒ නිසා සෝෂල් මීඩියාවල චාටර් නොවී නිදියගැනීම කියන්නෙත් කලාවක් විත්තිය මතක තියාගත්තොත් හොඳයි.

 

5. කෙළ

Image Source – google.com

කෙළ කියන්නෙත් ප්‍රශ්නයක් තමයි. මේ කියන්නෙ කෙළ වෙනවා කියන අරුතෙන් කෙළ ගැන නෙමෙයි. මේ කියන්නෙ කටේ තියෙන කෙළ ගැන. කොහොමද කෙළ පෙරාගෙන නිදියගෙන ඇහැරෙද්දි ලස්සන කෙල්ලෙක් මූණ දිහා බලාගෙන හිටියම. ඒ ලස්සන කෙල්ල කියන්නෙ ඔයා ට්‍රයි කරන කෙල්ලනං තත්ත්වෙ ඊට හපං නේද? ඉතිං බඩ පපුව හෝස් ගාලා දාලා යන්නෙ නැද්ද කියන්නකො. මේ පැයක් නිදාගෙන කෙළ පෙරලා තමුන්ගෙ මුළු අනාගතේම නැති කරගන්නවද කියල හිතුනා නේද?

 

6. අවුව සහ වැස්ස

Image Source – buzzfed.com

මේ කියන්නෙ නරියගෙ මගුල ගැන නෙමෙයි. අවුවයි වැස්සයි කියන දෙකම නින්දට බාධාවක් නිසායි. අපි ඉතිං යන්නෙ ඒසී බස් වල නෙමෙයිනෙ. ඒ නිසා නින්ද යන්න නං උස සීට් තියෙන බස් එකක, ජනේලයක් අයින සෙට් වෙන්න ඕන. ජනේලෙ ඇරගත්තම එන හුලං පාරට තමයි සනීපෙට නින්ද යන්නෙ. හැබැයි ජනේලෙ ඇරියම හුළඟට අමතරව තව දේවල් දෙකක් එනවා. එකක් තමයි අවුව. ඉතිං මූණ කරකුට්ටං වෙන්න පිච්චිලා යනවා. අනික තමයි වැස්ස. ඇහැරෙද්දි කිරි හොද්ද වගෙයි මූන.

 

7. පසු බිය

පසු බිය කියන්නෙ පශ්චාත් බිය කියන එක නෙමෙයි. පසු බිය කියන්නෙ බස් හෝල්ට් පසු වේවි කියලා හිතට නැගෙන බියට. ඇයි හත්තිලවුවෙ සමහර වෙලාවට එකපාරට නින්ද ගිහින් ඇහැරුනාම බහින හෝල්ට් එක පහුවෙලා යනව වගේ දැනෙනව. හැබැයි ඇත්තටම හදිස්සියෙ බැහැල බැලුවම දකින්නෙ තව ගොඩක් දුර යන්න තියෙනව කියල. සමහර වෙලාවට බස් එකෙන් බහින්න ඇහැරවන්නෙ අන්තිම බස් හෝල්ට් එකේදි කොන්දොස්තර මහත්තයා. එයාටත් වෙනිං උන් බාගෙට ටිකට් ගන්නව මතකයි. අපි බහින හෝල්ට් එක තමයි මතකෙ තියාගන්න බැරි.

මෙන්න මේ වගේ විපරියාස නිසා ඔයත් බස් එකේදි අමාරුවෙන් නිදා නොගෙන යන කෙනෙක් නං මේ දුක අන් අයටත් පේන්න බෙදාහරින්න. ඔයාට මීට වඩා ප්‍රශ්න තියෙනවනං ඒවත් අපිට කියන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *