අද අපි කතා කරන්නේ වැඩි දෙනෙක් කතා කරන්නේ නැති අමුතුම මාතෘකාවක් ගැන. ඒ තමයි චිත්‍රපටි ඇතුළේ වැඩිපුරම මැරුම් කන නළුවෝ ගැන. මේ අයට චිත්‍රපටයක් ඉවර වෙනකන් පණ කෙන්ද රැකගෙන ඉන්න එක සෑහෙන අමාරු වැඩක්. අපි බලමු ඒ විදිහට චිත්‍රපටවල වැඩිපුරම මැරුම් කන නළුවෝ කවුද කියලා…
1. ඩැනී ට්‍රෙජෝ (Danny Trejo)
පහුගිය කාලේ ජනප්‍රිය වුණු ‘Machete’ චිත්‍රපට මාලාවේදී නම් ඩැනී ට්‍රෙජෝ තමන්ගෙ හතුරන්ව මරාගෙන, මරාගෙන යන තත්ත්වයක් තමයි තිබ්බෙ. ඒත් අවාසනාවකට ලෝක සිනමා ඉතිහාසය ගත්තහම වැඩිම වතාවක් මැරුම් කාපු නළුවෙක් හැටියට වාර්තා පොත් අතරට යන්නත් ඩැනී ට්රේජෝට සිද්ධ වෙලා තියනවා. චිත්‍රපටි ඇතුළේ ඩැනී 65 වතාවක් විතර මිය ගිහින් තියෙන බවටයි වාර්තා වෙන්නේ. 1987 තිරගත කරපු ‘Death Wish 4’ චිත්‍රපටයේදී තමයි ඩැනීගේ චරිතය මුල් වරට වයින් බෝතලයක් පිපිරීමෙන් මිය ගිහින් තියෙන්නේ. ඉන් පස්සේ පිහි ඇනුම්, වෙඩි පහර, ගුවන් අනතුරු, ලිංගික ශ්‍රමිකයින් අතින් මැරුම් කෑම් වගේ නොයෙකුත් ආකාරවලට ෆිල්ම් ඇතුළේ ඩැනීගේ චරිතය මරා දැමිල තියනවා.
2. ක්‍රිස්ටෝපර් ලී (Christopher Lee)
හොලිවුඩ් සිනමාවේ ඩැනී ට්රේජෝට කලින් වැඩිම වතාවක් මැරුම් කෑමේ වාර්තාව පවත්වාගෙන ගිහින් තියෙන්නේ ක්‍රිස්ටෝපර් ලී විසින්. ඩ්රැකියුලා චරිතය ඇතුළුව චිත්‍රපටවල දුෂ්ට චරිත රඟපෑමෙන් තමයි ක්‍රිස්ටෝපර් ලී ප්‍රසිද්ධ වෙන්නේ. දශක හතක් විතර දිගට ඇදී ගිය ඔහුගේ සිනමා දිවියේදී ක්‍රිස්ටෝපර් මුල් වරට මැරුම් කාලා තියෙන්නේ 1948 දී තිරගත කරපු ‘Penny and the Pownall Case’ නම් චිත්‍රපටයේදී පොලිස් වෙඩි පහරක් කෑමෙන්. ඉන් පස්සේ තමන්ගේ චිත්‍රපට ඉතිහාසය පුරාම පිහි ඇනුම්, වෙඩි පහර, ගිලී මියයාම්, විස තුඩුවලින් ඇනීම්, ඇසිඩ්වලින් පිළිස්සීම් ඇතුළු නොයෙකුත් ආකාරවලින් ක්‍රිස්ටෝපර් ලී ගේ චරිතය මිය ගිහින් තියනවා. 2015 වසරේදී මේ රංගන ශිල්පියා සැබෑවටම තමන්ගේ ජීවිතයෙන් සමු ගන්නවා.
3. ලාන්ස් හෙන්රික්සන් (Lance Henriksen)
‘The Terminator’, ‘Aliens’ වැනි අතිශය ජනප්‍රිය චිත්‍රපටවල රඟපා තියෙන ලාන්ස් හෙන්රික්සන් මුල්වරට චිත්‍රපටයක රඟපාන්නේ 1961 දී. විද්‍යා ප්‍රබන්ධ සහ හොල්මන් වර්ගීකරණයේ චිත්‍රපටවලට තමයි ඔහු වැඩි වශයෙන්ම රංගන දායකත්වය සැපයුවේ. 1984 ‘The Terminator’ චිත්‍රපටයේදී ආනල්ඩ් ස්වසනේගර්ගේ චරිතය අතින් ලාන්ස්ගේ චරිතය ඝාතනය වෙනවා. ඉන් පස්සේ පිහි ඇනුම්, හිරු එළියට පිළිස්සෙන වැම්පයර් චරිත, පොරෝ පහර, පිපිරීම් ආදිය මගින් නොයෙකුත් ඛේදජනක මරණවලට ඔහු චිත්‍රපට ජීවිතය පුරාම ලක් වෙලා තියනවා. ලාන්ස් ඒ විදිහට 50 වතාවකට වැඩි වාර ගණනක් චිත්‍රපට තුළදී මරණයට පත්වෙලා තියනවා.
4. ජෝන් හර්ට් (John Hurt)
ලෝක සිනමා ඉතිහාසය ගත්තොතින් වැඩි දෙනෙක්ට මතක තියන බියකරු සහ අප්‍රසන්නම මරණයක් තමයි, Aliens චිත්‍රපටයේ පිටසක්වල ජීවියෙක් ගගනගාමියෙක්ගේ පපුව පළාගෙන එළියට ඒමෙන් සිදුවන මරණය. මේ චරිතය රඟදක්වන්නේ ජනප්‍රිය හොලිවුඩ් රංගන ශිල්පී ජෝන් හර්ට් විසින්. 1962 දී තමයි ජෝන් හර්ට්ගේ මුල්ම සිනමා මරණය සිදු වෙන්නේ. ඒ උස ගොඩනැගිල්ලකින් ඇද වැටීමෙන්. ඉන් පස්සේ එල්ලා මැරීම්, නින්දෙන් හුස්ම හිරවීම්, පොලිස් වෙඩිපහරින් මරණයට පත්වීම්, සියදිවි නසාගැනීම් වගේම ස්වභාවික මරණ වලිනුත් ජෝන් හර්ට්ගේ සිනමා චරිත මිය ගිහින් තියනවා. 2017 වසරේදී ඔහු සැබෑ ජීවිතයෙන්ද සමු ගන්නවා.
5. බොරිස් කාලොෆ් (Boris Karloff)
මේ බ්‍රිතාන්‍ය ජාතික රංගන ශිල්පියා වැඩි වශයෙන්ම හොල්මන් චරිත හරහා තමයි ප්‍රෙක්ෂකයින් සමීපයට ආවේ. ඒ අතරිනුත් ෆ්‍රැන්කන්ස්ටයින් චිත්‍රපටයේ ඔහු රඟපෑ චරිතය අතිශයින්ම ජනප්‍රිය වුණා. 1931 අවුරුද්දේ The Criminal Code චිත්‍රපටයේ චරිතයකින් තමයි බොරිස් කාලොෆ් මුල් වරට මරණයට පත් වෙන්නේ. ඒ බන්ධනාගාර නිලධාරීන්ගේ වෙඩි පහරවලට ලක් වීමෙන්. ඉන් පස්සේ නොයෙකුත් සාප වලින්, ගිනි තැබීම්වලින්, කඩු පහර, වෙඩි පහර, පිපිරීම්, මරණ දණ්ඩනයට ලක්වීම් වගේ දේවල් හරහා ඔහුගේ චරිතය මිය ගිහින් තියනවා. 1969 වසරේදී බොරිස් කාලොෆ් සැබෑ ජීවිතයත් හැරගිහින් සදහටම සමු ගන්නවා. ඒ වන විට ඔහු 40කට අධික වතාවක් සිනමා ජීවිතයේදී මිය ගිහින් අවසන්.
6. වින්සන්ට් ප්‍රයිස් (Vincent Price)
වින්සන්ට් ප්‍රයිස් කියන්නෙත් බොරිස් කාලොෆ් වගේම හොල්මන් චිත්‍රපටි හරහා ජනප්‍රිය වුණු දුෂ්ට නළුවෙක්. ඔහුට තිබුණෙත් නියම දුෂ්ට චරිතයකට ගැලපෙන පෙනුමක්. චිත්‍රපට 100කට අධික ප්‍රමාණයක් රඟපා ඇති ඔහු ඉන් චිත්‍රපට 40කට අධික සංඛ්‍යාවකදී මරණයට පත් වී තිබෙනවා. 1939 තිරගත කළ ‘Tower of London’ චිත්‍රපටයෙදී තමයි ඔහු පළමු වරට සිනමාවේ මරණයක් වැළඳගන්නේ. ඒක අපූරු මරණයක්. මොකද වයින් පීප්පයක් ගිලීමෙනුයි ඔහු එහිදී මරණයට පත් වෙන්නේ. ඉන් පස්සේ වෙඩි පහර, ඊතල, ගිනි ගැනීම්, හදිසි අනතුරු වගේම හෘදයාබාධ වගේ රෝග තත්ත්වයන් හේතුවෙනුත් ඔහු සිනමාවේදී මරණයට පත් වී තිබෙනවා. 1993 දී වින්සන්ට් ප්‍රයිස් සැබෑ ලෝකයේ ජීවිතයෙන්ද සමු ගන්නවා.
7. බෙලා ලුගෝසි (Bella Lugosi)
හංගේරියානු සම්භවයක් සහිත නළුවෙක් වුණු බෙලා ලුගෝසි ගැන අපි අපේ කලින් ලිපියකත් සඳහන් කරලා තියෙනවා. ඩ්රැකියුලා චරිතයට මුලින්ම සිනමාවේදී පණ පෙවූ ලුගෝසි අවසන් ගමන් යද්දීත් ඩ්රැකියුලා ඇඳුමින්ම අවසන් ගමන් යාම ගැනයි ඒ ලිපියෙන් අපි ඔබට කිවුවෙ. හොල්මන් චිත්‍රපටවල දුෂ්ට චරිත බහුලවම රඟපෑ බෙලා ලුගෝසිට ඒ චිත්‍රපට බොහොමයකදීම මරණය වැළඳගන්නට සිදු වුණා. පිපිරීම්, ගිනි ගැනීම්, වෙඩි පහරට ලක්වීම් වගේම ගෝරිල්ලන් සහ සොම්බින් අතිනුත් බෙලා ලුගෝසිගෙ චරිත චිත්‍රපට දිවිය පුරා මරණයට පත්ව තිබෙනවා. 1956 දී සැබෑවටම දිවියෙන් සමුගන්න විට ඔහු 36 වතාවක් සිනමා දිවියේදී මරණයට පත්ව තිබෙනවා.
Leave a Reply