සුපර් මාකට්වලින් අපට හමුවෙන පූර්ණ ළමාවිය සංවර්ධනය නොවුණු අයවළුන්

හප්පේ මේකටනං කට්ටිය කමෙන්ට් කරයි ඕනතරං කට්ටිය ගැන. ඒ තරං අපිට සුපර්මාකට් ඇතුළෙදි අර්ධ පූර්ණ මානසිකත්වයන්ගෙන් යුක්ත වැඩිහිටියොන්ව හම්බෙනවනෙ. මේ කියන ලැයිස්තුවට ඇතුළු වෙන බොහෝමයක් අවුරුදු 45 පැනපු අය විත්තිය හිතේ සතුටකින් කියන්න පුළුවන්. මොකද අනාගතේ දවසක වැඩිහිටියො වෙන පරම්පරාවවත් මේ නරක පුරුදු අත්හරීවි කියන බලාපොරොත්තුව ඒ නිසා ඇති වෙනවා. හැබැයි එයාලත් අවුරුදු 45 පැන්නම මේ බෝට්ටුවටම වැටෙයිද දන්නෑ. කොහොමින් කොහොම වුනත් මේ කියන උන්දැලා නං මේ රටෙන් තුරන් වෙන්න ඕන කියලා හිතෙන තරමට පිළිලයක් වෙලා තියෙන්නෙ. මේ ලියලා තියෙන ඈයොන්ට අමතරව තවත් කට්ටියව මතක් වුනොත් කියන්නකො.

 

1. කෝ තරාදි?

Image Source – videoblocks.com

හම්මට මෙහෙම උන්දලා දෙන්නෙක් පෝලිමකට සෙට් වුනොත් ඇති සුපර්මාකට්වල අවිවේකී සෙනසුරාදාවක මිනිස්සු අටෝරාසියක් රස්තියාදු කරවන්න. ඔන්න දුවගෙන එනව පෝලිමට. පෝලිමට ගෙනල්ල කැෂියර් කවුන්ටරේ උඩට ඉවක් බවක් නැතුව අතාරිනව කාට් එකේ තියෙන ඔක්කොම. කොටිම්ම කුඩු හැලෙන පොල් ගෙඩි පවා. ඉතිං ඌ ගියාට පස්සෙ කැෂියර් පිහිදාන්න ඕන කවුන්ටරේ පණ දාගෙන. නැත්තං ඊළඟට ඇවිත් බඩු ටික තියන මනුස්සයගෙ යෝගට්වල පොල් කෙඳි. හප්පටසිරි මෙන්න බොලේ මේ කවුන්ටරේට අතෑරපු බඩු අටෝරාසියෙ තියෙන එළවළු එකක්වත් කිරලා නෑ කියහංකො. ඉතිං කැෂියර් එකේ ගෑනු ළමයි ගිහින් එකෙන් එකට කිරාගෙන එනකං පෝලිමක් පිටින් සෙත් පතනව අර බඩු ගන්න මනුස්සයගෙ දෙමවුපියන්ට.

 

2. කම්ප්ලේන්

Image Source – local.theonion.com

මෙහෙම ඇන්ටිලත් ඉන්නවා. ඇවිල්ලා බිල් කරනකං උඩ බලාගෙන ඉඳලා බිල දාලා ඉවරවුනාම යන්නෙ නැතුව බිලේ තියෙන අයිටම් එකෙන් අයිටම් එකට බඩුවෙන් බඩුව ගණං බලනව. එහෙම ගණං බලලා එයාල හොයාගන්නව එයාලට හොරයක් වෙලා තියෙනව කියල. එතන ඉඳන් දෙබස මෙහෙමයි.

එයා – ඔයාලා මාර මිනිස්සුනෙ?

කැෂියර් – ඇයි මිස්?

එ – කෝ මේ ​යෝගට්වලට අඩු වෙනවා කියල තියෙන සියේට දහය

කැ – මේ යෝගට් එකට එහෙම ඩිස්කවුන්ට් එකක් නෑ මිස්

එ – නැත්තෙ කොහෙද? චෙක් කරන්න

කැ – චෙක් කරා මිස්. එහෙම එකක් නෑ

එ – එතන ගහල තිබ්බෙ

කැ – එතන තියෙන්නෙ මැඩම් ස්ට්‍රෝබෙරි ෆ්ලේවර්ඩ් යෝගට්වලට. මේකට නෙමෙයි

එ – ඕගොල්ලො හරියට ගහන්නෙපැයි. එහෙනං මට මේ තුන නැතුව ඒකෙන් තුනක් දෙන්න

හම්මා ඉතිං ඔය දෙබස ඉවර වෙලා, කැෂියර් ගිහින් ස්ට්‍රෝබෙරි යෝගට් අරගෙන ඇවිල්ලා, අර බිල කැන්සල් කරන්න මැනේජර්ට කතා කරලා, මැනේජර් කෝඩ් ගහලා, බිල වෙනස් කරලා, අලුත් බිලක් දාලා යනකං දෙනෝදාහක් ගයනව මවු ගී.

 

3. නාකිස්ටික්ස්

Image Source – youtube.com

මේ නං ඉතිං හැටට වැඩි පිරිමි උන්දැලාගෙ වැඩ තමයි. ගෙදර ගෑනු මනුස්සයත් ධර්මෙට බර වෙච්ච වයසනෙ. ඉතිං මුං රිංගනව සුපර්මාකට්වල කැෂියර් එකේ ඉන්න කෙල්ලො බලන්න. හප්පටසිරි. එකෙක් බේරෙන්නෑ. බොරුවට අරගන්නව ක්ෂණික නූඩ්ල්ස් පැකට් එකක්. ඊටපස්සෙ කැෂියර් ගාව කවුන්ටර් එකේ වාත වෙන්න ගන්නව.

නාකිස්ටික්ස් – මේක කොහොමද හදන්නෙ?

කැෂියර් – පැකට් එකේ ගහල තියෙනව සර්

නා – ඒ විදිය රස නැහැනෙ

කැ – කොහොමත් හදන්නෙ ඒ විදියට තමයි සර්

නා – ඔයා හදන්නෙත් එහෙමද?

කැ – ඔවු සර්

නා – ඔය වයසට ගුණ දේවල් කන්නෙපැයි. අපිනං තව කමක් නෑ

කැ – (සිනා)

නා – බෝඩිමකද ඉන්නෙ?

කැ – ඔවු සර්

නා – කොහෙද බෝඩිම? දුරද?

කැ – ඔවු සර්

නා – අපේ ගෙදරට එන්න. දූගෙ කාමරේ හිස්

කැ – (සිනා)

ඉතිං ඔය නාකි හුරතල් ඉවර වෙනකල් බලං හිටපංකො පෝලිමක් පිටින්.

 

4. පහේ පෝලිම

Image Source – usatoday.com

සාමාන්‍යයෙන් තරමක් ලොකු හැම සුපිරි වෙළඳසැලක්ම වගේ භාණ්ඩ පහකට අඩුවෙන් බඩු ගන්න පාරිභෝගිකයන්ට සුවිශේෂ වූ වෙනම පෝලිමක් වෙන් කරනවා. ඒ දේ කරන්නෙ ඒ අය ගාව තියෙන බඩු ප්‍රමාණය අඩු නිසා ඉක්මනට බිල් කරගෙන ඉක්මනින් පිටවෙන්නට ඇති ඉඩ වැඩි කරගන්නයි. ඉතිං පොඩි බඩුවක් ගන්න මිනිස්සුන්ට ඒ වෙනුවෙන් ලොකු කාලයක් වැය කරන්න සිද්ධ වෙන ඉඩ අවම වෙනවා. මේකට හෙනහුරා පාත්වුනාම කේන්ති යන්නැද්ද කියනවකො. තනි කාට් එකේ කාට් දෙකක බඩු පුරවගත්තු ඇන්ටිලා ගොලුවො බීරො වගේ මේ පෝලිමට සෙට් වෙනවා. කොල්ලො කෙල්ලො මොකුත් නොකියන බව දන්න නිසාම එයාලා එයාලගෙ පාඩුවෙ ඉන්නව. ඒ ඉන්න ගමන් ඔය උඩ කියපු වැරදිවලින් සමහරකුත් කරනවා. ඉතිං එමවිට පවසනු මුවින් ඔබේ ගය ගය ඉන්නව අපි.

 

5. ගත්තා තිබ්බා

Image Source – retailgazette.co.uk

ඔන්න ගෙදරින් හදාගෙන එනව ගන්න බඩු ලැයිස්තුවක්. හදාගෙන ඇවිල්ල සුපර්මාකට් එක ඇතුළට ආවම හිතෙනව මම අදනං මේ සුපර් මාකට් එකම ගන්නව කියල. එහෙම හිතලා ගෙදර ගෑස් කුකර් එකට අලුතෙන් දාපු රෙගියුලේටරෙත් මාරු කරන්න අලුත් එකක් ගන්නව. ගෙදර නොකෑවත් මොකෝ කියල බීෆ් අරගන්නව. ගාගෙන රෝල් කන්න පුළුවන්නෙ කියල හිතල ඔයිස්ටර් සෝස් අරගන්නව. කොටිම්ම පිටින් ගන්නවට වඩා දෙගුණයක් වැඩියෙන් දීලා කොසු ඉදල් පවා අරගන්නවා. ඔන්න ඔය විදියට අනවශ්‍ය දේවල් පුරවගෙන ඇවිදිද්දි ලෝබ කම ගහනව කෝටිපතියගෙ ඔලුවට. ඊට පස්සෙ අරගත්තු බඩු ටික ආයෙ තියනව. තියන්නෙත් මුලින් තිබ්බ තැන්වලින් නෙමෙයි. එයාට ලේසි තැන්වලින්. එහෙම තියලා ගන්න ලියාගෙන ආපු බඩුවලිනුත් ඕනමයි කියලා හිතෙන ටිකක් අරගෙන යනවා. ඉතිං සැමන් ටින් ගන්න යන මනුස්සයට ඒ අස්සෙ තිබිලා කෝන් බීෆ් ටින් හම්බෙනවා.

 

6. දෙවැනි ඉනිම

Image Source – somethingswedish.wordpress

මේකත් ලොකුම නරක වැඩක්. ඔන්න කොහොමහරි ගන්න හිතාගෙන ඉන්න බඩු ටික අරගෙන ඉවර නැතත් කොට පෝලිමක් දැක්කම තන්නාසෙ ඇතිවෙලා එතනට සෙට් වෙනවා. ඊටපස්සෙ එතන කාට් එක නවත්තලා තියලා එයා ආයෙ යනව ෂොපින්. ඉතිං එයා ආයෙ ගිහින් එනකං මිනිස්සු ඉන්නෝන පණ නැති කාට් එකක් පිටිපස්සට වෙලා. බැරි වෙලාවත් ඒක පහු කරගෙන ඉස්සරහට ගියොත් පෝලිම් පැනපු උන් කියල බැනුම් අහගන්න වෙනවා. සමහරු මේක කැෂියර් ගාවටම ගිහිල්ලත් කරන හොර වැඩක්.

 

7. ජොයින්ට් ඔපරේෂන්ස්

Image Source – cheatsheet.com

මෙවුවත් ඉක්මනට බිල් දාගන්න කරන කාලකන්නි වැඩ. මෙවුව කරන්නෙත් අපි කලින් කියපු 45ට වැඩි ඇන්ටිලා තමයි. ඔන්න පෝලිමේ අංක එකට ඉන්න කෙනාව අඳුරනවා පෝලිමේ හය වෙනියට ඉන්න කෙනා. එතන ඉඳන් දෙබස මෙහෙමයි.

සෙලෙස්තිනා – ආනේ මැටිල්ඩා

මැටිල්ඩා – ආනේ සෙලේ… මෙහෙ

සෙ – ඔවු අනේ බඩු ගන්න ආව උදවුවක් කරන්නකො.

මැ – කියන්න සෙලේ

සෙ – මගේ මේ බඩු ටිකත් ඔයාගෙ බිලටම දාන්නකො

හප්පටසිරි ඔන්න ඉතිං මැටිල්ඩා විසින් සෙලෙස්තිනාට තමුන්ගෙ මල්ලටම රිංගන්න ඉඩ දෙන දිහා පෝලිමේ අනිත් මිනිස්සු බලාගෙන ඉන්නව. කාලා වරෙන්කො ඉතිං. අන්තිමටම සෙලෙස්තිනා ගිහින් ඔය මගේ ටික වෙනම බිලකට දාන්න කියල කැෂියර්ට කිවුව ගමන්ම සෙලෙස්තිනාගෙ අම්මා හචිං අරිනව ඇරිල්ලක් සේලයින් නහයට දාලාවත් නවත්තගන්න බැරිවෙන්න.

මේ වැරදි කරන වගේම මේ වැරදි කිහිපයක්ම එකවර කරන බොහෝදෙනෙක්ව ඔයාලත් දන්නවා. ටැග් කරන්න බැරි වුනත් ඒ අයගෙ කතාත් අපිට කියන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *