මිනිස්සුන්ට වැඩි වැඩියෙන් සල්ලි ලැබෙන එක හොඳ දෙයක්. හැබැයි ලැබෙන දේ හරි විදියට පාවිච්චි කරන්න දන්නවානම් තමයි හොඳ. එහෙම නැතුව කොච්චර සල්ලි ලැබුනත් එන්නෙ කරදරම විතරයි. මේ කියන්න යන්නෙ ලැබෙන සල්ලිත් එක්ක එක්වරම තමුන්ගෙ ජීවිතේ උඩගහන්න හදන අයියලාට විඳින්න වෙන කටු ගැනයි. උඩ ගහන්න වෙනවා කියල කිවුවෙ කලින් තිබුණු නැති සැප විඳින්න යන එක සහ කලින් නොතිබුනාට වඩා සුඛෝපභෝගී බවක් අත්කරගන්න යාම ගැනයි. එහෙම සැපක් ගන්න යනවනං දැනගෙනම යන්න.
1. ගමනාගමනයේ බාධා

Image Source – regit.cars
මුලින්ම බස් එකේ ගිය මනුස්සයට ඔන්න ඔෆිස් එකෙන් ට්‍රාන්ස්පෝට් අලවන්ස් එකක් දෙනවා. ඒ නිසා පොර ට්‍රාන්ස්පෝට් අලවන්ස් එකට හම්බෙන සල්ලිවලින් ත්‍රීවීලර් එකක යන්න පටන්ගන්නව. ත්‍රීවීල් ගැස්සෙනවා. අස්සෙන් අස්සෙන් දාන නිසා නින්දක් ගහන්නත් බෑ. ඒ නිසා කැබ් එකක යන්න පටන් ගන්නව. කැබ් අයියලගෙ ලොකුවට සද්දෙ. නිකං කතා අහං යන්න බෑ කියල හිතෙනව. ඒ හින්දා අලවන්ස් එකට වඩා ටිකක් වැඩිපුර ගාණක් දීලම කාර් එකක් අරගන්නව. ඊටත් පස්සෙ කාර් එක පැදගෙන යන එක කරදරයක් කියල හිතෙනව. ඊටපස්සෙ නවතින්න වෙන්නෙ ඩ්‍රයිවර් කෙනෙක්වත් අරගෙන. ඕක නවතින තැනක් නෑ. එක්වනම ලක්ෂරියස් ජීවිතේකට හුරුවෙන්න යද්දි ඔය කියන අවුල් එනවා.
2. ඒසී

Image Source – hvac.com
ඔන්න ඒසී එකක් ගන්නෙම හිතේ බයක් සැකක් තියාගෙන. මේ ඒසී එක කැඩෙයිද? බිල වැඩිවෙයිද? බිල වැඩිවුනොත් ඕෆ් කරලා තිබ්බම ඒසී එක ගන්න වියදං කරපු සල්ලි අපරාදයක් වෙනවා නේද? ඉතිං ඒසී එකක් ගන්නෙ හිතේ සනීපෙට නිදාගන්න වුනාට ඒසී එකේ පළමු හුලං පොද වැදෙන මොහොතෙ ඉඳන් ඇඟ නිවුනට හිත ගිනිගන්නවා. පළමු මාසය සම්පූර්ණ වෙද්දි ඕක උග්‍ර අතට පත්වෙනවා. අන්තිමේදි බිල ෂේප් වග දැනුනාම හිත කූල් වෙනවා. ඒ කූල් එකත් එක්කම දෙවැනි මාසෙ පොඩ්ඩක් වැඩිපුර ඒසී දාලා තියන නිසාම දෙවැනි මාසෙ අගදි මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන් හාට් ඇටෑක් ගැන අපි දැන්මම නොකියා ඉන්නම්.
3. ආහාර

Image Source – eater.com
සල්ලි ටිකක් අතට වැඩිපුර ලැබෙනකොට වෙනදට ගෙදරට ඇවිදගෙන ආපු මීටර් පන්සීයට රුපියල් හැටක් දීලා ත්‍රීවීල් එකක එනවා වගේම, නිදහසේ ඉන්න වෙලාවෙ බලන්න ටීවී පැකේජ් එකත් ඉහළ දාගන්නවා. මේ විදියට වැඩේ ගොඩ දාගෙන ඉන්නකොට නිතර ටීවී බැලෙන නිසා ගෙදර කෑම උයන එක කම්මැලි වෙනවා. අන්න ඒ වෙලාවට තමයි කඩ කෑම කරලියට එන්නෙ. පොඩ්ඩක් හරි ඇවිදින දුරත් ත්‍රීවීල් එකක ඇවිල්ලා, තෙල් මිරිස් වගේම රසකාරක පුරවපු කෑම එකක් කාලා රෑ වෙනකං පුටුවක හරිබරි ගැහිලා ටීවී බල බල හිටියම ශරීර සෞඛ්‍යය පුදුම විදියට ඉහළ නැංවෙනවනෙ.
4. සුවපහසු ඇඳන්

Image Source – smithslawyers.com
එක පාරක් බම්ප් වුනාම පස්පාරක් උඩ යන සුවපහසු පන්නෙ ඇඳක් අරගන්නෙම වෙනදාට වඩා සුවබර නින්දක් ලබන්න හිතාගෙනයි. හැබැයි ඉතිං පුංචි පුංචි අපහසුතා විඳින්න වෙන එක නවත්තන්න බෑ. එහා පැත්තෙ නිදියගෙන ඉන්න බිරින්දෑ හරිබරි ගැහිලා වටයක් කැරකෙද්දි හස්බන්ඩ් බෙංගාල බොක්කට ඇදන් වැටුනා වගේ හැඟීමකින් ඇහැරෙනවා. හස්බන්ඩ්ට හචිං යන දවසට වයිෆ් ගැස්සි ගැස්සි ඇහැරෙනවා. වෙලාවකට සුවපහසු වැඩිවුනාමත් එන අමුතු කොන්දෙ අමාරු විඳින්න වෙනවනෙ.
5. නිවාඩුවේ විවේකයට

Image Source – tripsavvy.com
වෙනදාටත් නිවාඩුවකට පවුලේ අය එක්ක යන ගමන මේ අලුත් සුඛෝපභෝගී ජීවන රටාවත් එක්ක වෙනස් වෙලා. දැන් යන්න ප්ලෑන් කරන හෝටලේ ගැන තනි තීරණයකට එන්න බැරුව පොඩි වලියකින්මයි කතාව පටන්ගන්නෙත්. කඳු නගින්න, මූදෙ නාන්න, සත්තු බලන්න වගේ ලෙෂර් ටයිම් ඇක්ටිවිටීස් ගොඩක් සිද්ධ වෙන එක තැනක් නැති නිසා ප්‍රශ්නෙ දරුණුයි. වෙනදට නිවාඩු පාඩුවෙ නිස්කලංක පැත්තක පොඩි හෝටලේකට ගිහින් සැපෙන් සනීපෙන් ඉඳලා ආපු පවුලද මේ කියල හිතෙන තරම් තත්ත්වෙ අවුල් වෙලා. ලොකු ගාණක් වියදං කරලා ලොකු හෝටලේකට යන්නෙ පවුලෙ හැමෝම එකිනෙකාට බුම්මගෙන.
6. නව විලාසිතා

Image Source – shutterstock.com
ලක්ෂරියස් වීමත් එක්ක සමගාමීව එන දෙයක් තමයි හයි ක්ලාස් වීම කියන්නෙ. හයි ක්ලාස් බව පෙන්වන්න මේ සමාජෙ වැඩිපුරම පාවිච්චි කරන්නෙ ඉතිං විලාසිතා කියන මාධ්‍යය විතරයි. ඔය කියන හයි ක්ලාස් සමාජෙ විලාසිතා එක්වනම නුපුරුදු කෙනෙකුට පුරුදු වෙන්න පුළුවන් ඒවත් නෙමෙයි. අනිත් එක ඒ්වා පහසුවෙන් ඇඟට සරිලන්න හදාගන්න පුළුවන් ඒ්වත් නෙමෙයි. ඒක තමන්ගේ පුරුද්දෙන් එන දෙයක් විදියට වුනොත් තමයි තමුන්ට පහසු වෙන්නෙ. ඉතිං පාටියකට ගිහින් අල්ප දයන්න වගේ තමයි ඉන්න වෙන්නෙ.
7. මධුවිත

Image Source – videoblocks.com
ඉස්සරනං යාලුවො ටික සෙට් වෙනවනං වතුර වුනත් වැඩේට ඕකේ තත්ත්වයක් තිබුනෙ. ඒ හින්දා කට්ටිය සල්ලි දාලා එදා ඒ ඒ තත්ත්වෙට ඇති හැකි විදියට බෝතලයක් අරගෙන සප්පායම් වුනාට, තත්ත්වෙ ලක්ෂරියස් වුනාට පස්සෙ වැඩේ යන්නෙ එහෙම නෙමෙයි. ඉස්සර ඕන එකක් බීපු යාලුවො දැන් වොඩ්කා විතරයි. ඒකටත් නෙක්ටා නැතුව නැචුරල් ඔරෙන්ජ් ජූස් ඕනෙ. දැන් බොන්නෙ සිංගල් මෝල්ට් විස්කි විතරයි. ඒකට ඉස්සර සොසේජ් ටිකක් බැදලා කාපු, මික්ස්චර් පැකට් එකක් කඩපු යුගය නිමා වෙලා. දැන් තත්ත්වෙ වෙනස්. මේ නුහුරු නුපුරුදු ලක්ෂරියස් බව නිසාම වෙනදට සෙට්වීමක තිබුණු ආතල් එක ගිලිහිලා ගිහින්.
Cover Image Source – mycomeup.com
Leave a Reply