කොකා කෝලා විසින් වර්තමාන පෙනුම නිර්මාණ​ය කළ නත්තල් පප්පා ගැන විස්තර

නත්තල් ළං වෙනකොට පුංචි පැංචියන්ට නම් ජේසුතුමාටත් වඩා මතකෙට නැගෙන චරිතය තමයි සැන්ටා ක්ලෝස්, එහෙමත් නැත්නම් නත්තල් පප්පා කියන්නෙ. කොච්චර වැඩිහිටියො වුණත්, තවමත් පුංචි කාලේ නත්තල් පප්පාගේ තෑගි බලාපොරොත්තුවෙන් ගෙවුණු නත්තල් කාලය ගැන මතක් කරද්දි හිත මොකක්දෝ අමුතු සතුටුදාය​ක හැඟීමකින් පිරෙන එක වළක්වන්න බැහැ.

ඉතින් මේ නත්තල් දවසේ අපි හිතුවා අපි කවුරුත් ආදරයෙන් බලාපොරොත්තු වුණු නත්තල් පප්පා ගැන අපූරු තොරතුරු ටිකක් ඔබට කියන්න​ට.

            

1. නත්තල් පප්පා චරිතයට පාදක වුණු ශාන්ත නිකොලස්

අනුන්ගේ සතුට වෙනුවෙන් තෑගි බෙදන නත්තල් පප්පා සංකල්පය බිහිවෙන්න හේතු වුණ පුද්ගලයා හැටියට සැලකෙන්නේ නිකොලස් නම් ශාන්තුවරයෙක්. ක්‍රිස්තු වර්​ෂ 3 වෙනි සියවසේ ජීවත් වුණු ග්‍රීක බිෂොප්වරයෙක් තමයි මේ නිකොලස් නම් ශාන්තුවරයා හැටියට පසුව හැඳින්වෙන්න ගන්නේ. මෙතුමා දුගී දුප්පතුන්ට උදවු පදවු කරන්නට කැමති බොහොම ත්‍යාගශීලී මනුස්සයෙක්. මෙතුමාගේ ත්‍යාගශීලීබව ගැන නොයෙකුත් කතාන්දර තියනවා. ඉන් එකක් තමයි දෑවැද්දට මුදල් නොමැති නිසා තනිකඩව ජීවත් වෙමින් ගණිකා වෘත්තිය වෙත ඇද වැටෙන්න ඉඩ තිබුණු තරුණි​යන් තිදෙනෙක්ව බේරාගැනීමේ කතාව. කාලයක් ධනවත්ව හිටපු මේ පවුලේ පියා පසුව දුගී බවට ඇද වැටෙනවා. දියණියන් තුන් දෙනාව විවාහ කරගන්න කෙනෙක්ට දෙන්නට දෑවැදි මුදලකුත් නැහැ මේ පියාට. මේ අයගේ දුක්ඛිත ජීවිතය දකින ශාන්ත නිකොලස් තුමා කරන්නේ රාත්‍රී තුනකදී රහසිගතව මේ අයගේ නිවසේ ජනේලයෙන් රත්තරන් මළු තුනක් නිවස තුළට විසි කිරීමයි. මේ විදිහට ත්‍යාගශීලීව දුප්පතුන්ට උදවු උපකාර කරපු ශාන්ත නිකොලස් චරිතය ඇසුරින් තමයි පසු කලෙක නත්තල් පප්පා බිහිවුණා යැයි කි​යන්නෙ.

 

2. නත්තල් පප්පාව උත්තර ධ්‍රැවයට යැවූ තෝමස් නෑස්ට්

නත්තල් පප්පා බිහිවෙන්න හේතු වුණු ශාන්ත නිකොලස් හිටියේ උත්තර ධ්‍රැවයේ නොවුණට, අපි දන්න නත්තල් පප්පා වාසය කරන්නේ හිමෙන් පිරී ගිය උත්තර ධ්‍රැවයේ තමයි. එහෙම වෙන්න හේතුව වෙන්නේ එකදාස් අටසිය ගණන්වල අග භාගෙදි තෝමස් නෑස්ට් කියන කාටූන් ශිල්පියා විසින් නත්තල් පප්පා ගැන කරන ලද කාටූන් මාලාවක්. ඒ කාටූන් නිර්මාණවලට අනුව නත්තල් පප්පා උත්තර ධ්‍රැවයේ ජීවත් වෙන බවකුත්, නත්තල් පප්පාට සෙල්ලම් බඩු හදන ෆැක්ටරියක් තිබෙන බවකුත් කියවෙලා තියනවා ඒ කාලෙ වෙද්දි උත්තර ධ්‍රැවයේ නොයෙකුත් විද්‍යාත්මක පරීක්ෂණ බෙහෙවින් පවත්වලා තියන නිසා අමුතුම මායාකාරී තැනක් හැටියටයි ඒ ප්‍රදේශ ගැන මිනිස්සු හිතන් ඉඳලා තියෙන්නේ. ඒ නිසයි තෝමස් නෑස්ටුත් තමන්ගේ නිර්මාණය මගින් නත්තල් පප්පාව උත්තර ධ්‍රැවයට ගෙනිහින් පදිංචි කරවන්නේ.

 

3. නත්තල් පප්පාගේ වර්තමාන හැඩයට අඩිතාලම දැමූ වොෂින්ටන් අර්වින්

ඇමරිකානු කෙටි කතා රචකයෙක් වුණු වොෂින්ටන් අර්වින් තමයි නත්තල් පප්පාගේ වර්තමාන ශරීර ස්වභාවයට අඩිතාලම දමපු පුද්ගලයා වෙන්නේ. එක්දාස් අටසිය ගණන්වල විවිධ නිර්මාණවල නත්තල් පප්පාව වෙනස් වෙනස් ආකාරයෙන් විස්තර කරලා තිබ්බා. කොහොම වුණත් ඒ හැම නිර්මාණයකම වගේ නත්තල් පප්පාව බොහොම කුඩා ශරීරයක් තියන කෙනෙක් හැටියට හරි කෙට්ටු උස පුද්ගලයෙක් හැටියට හරි තමයි විස්තර කරල තිබ්බේ. සමහර නත්තල් පප්පලාට රැවුලත් නෑ. හැබැයි වොෂින්ටන් අර්වින් 1809 දී ලියපු ‘A History of New York’ කථාවට අනුව නත්තල් පප්පාට දීල තිබ්බෙ වෙනස් ස්වරූපයක්. කෙට්ටු නත්තල් පප්පා වෙනුවට මහත දෙහෙත, වවාගත් රැවුලක් සහිත නත්තල් පප්පෙක්ව තමයි අර්වින් විස්තර කළේ. නත්තල් පප්පාව මුල් වරට චිමිනියක් දිගේ යැවුවෙත් අර්වින්ගේ මේ කතාවේ තමයි.

 

4. වර්තමාන නත්තල් පප්පාගේ හැඩ රුව නිර්මාණ​ය කළ ​කොකා කෝලා දැන්වීම්

නත්තලේ සංකේතයක් වුණු නත්තල් පප්පාටත් මාර්කටින් උගුල් වලින් ගැලවෙන්න බැරි වුණා. අන්තිමේදී කොකා කෝලා ආයතනයේ වෙළඳ ප්‍රචාරණ ව්‍යාපෘතියකින් මේ නත්තල් පප්පාට දීපු නව පෙනුම, නත්තල් පප්පාගේ අද දක්වා නොවෙනස්ව පවති​න පෙනුම බවට පත්වුණා. මුල් කාලෙදි නත්තල් පප්පා බිෂොප් ලෝගුවකින් සැරසිලා තමයි නිරූපණය වුණේ. මේ ලෝගුවට නිශ්චිත වර්ණයක් තිබ්බෙ නැහැ. කොළ, රතු, දුඹුරු, නිල් වගේ විවිධ වර්ණයන්වලින් සැරසුණු නත්තල් පප්පලා ඉඳලා තියනවා. කොහොම හරි 1931 දී සුප්‍රසිද්ධ කොකා කෝලා ආයතනය විසින් වෙළඳ දැන්වීම් කිහිපයක් හදන්න සැලසුම් කරනවා නත්තල් පප්පා සහ නත්තල ඉලක්ක කරගෙන. අන්න ඒකට නිර්මාණ ශිල්පී හැඩන් සන්බ්ලොම් විසින් නත්තල් පප්පාව චිත්‍රයට නගන්නේ අද අපි දකිනවා වගේ හිම වගේ සුදුපාට දාර සහිත රතු පාට ලෝගුවක් හැඳගෙන, සුදු රැවුල වවාගත් මහත නත්තල් පප්පෙක් විදිහටයි. එදා පටන් අද දක්වා මේ නත්තල් පප්පා ආකෘතිය තමයි ලෝකයේ භාවිතා වෙන්නේ.

 

5. නත්තල් පප්පාට සහාය වන අප්‍රකට, භයානක පුද්ගලයා – Père Fouettard

වැඩි දෙනෙක් නොදන්නවා වුණාට සමහර කතාවලට අනුව නත්තල් පප්පා​ගේ තෑගි බෙදන වැඩවලට උදවු දෙන Père Fouettard නම් පුද්ගලයෙකුත් ඉන්නවා. Father Whipper නමින් හඳුන්වන මේ පුද්ගලයා ගැ​න ප්‍රංශය ඇතුළු රටවල් සමහරක පුරාණ කතා වල සඳහන් වෙනවා. හොඳට හිටපු ළමයින්ට නත්තල් පප්පා තෑගි දෙද්දී නරකට හැසිරුණු ළමයින්ට මේ Père Fouettard විසි​න් කස පහර ගහනවලු. මේ පුද්ගලයා එක වතාවක් ළමයි තුන් දෙනෙක්ව පැහැරගෙන, මරලා, අන්තිමට එයාලගේ මස් කන්නත් උත්සාහ කළා කියලා එක් අඳුරු කතාවක සඳහන් වෙනවා. අන්තිමේදී ශාන්ත නිකොලස් තුමා ඒ ළමයින්ට නැවත පණ දීලා, Père Fouettard කරපු වරදට දඬුවමක් හැටියට තමන්ගේ නත්තල් තෑගි බෙදීමේ චාරිකාවට උදවු පදවු කරන්න නියම කළා කියලත් ජනප්‍රවාදයක සඳහන් වෙනවා.

 

6. නත්තල් පප්පා​ගෙ හාමිනේ

නත්තල් පප්පාගේ බිරිඳ ගැන මුල් වරට සඳහනක් දකින්න ලැබෙන්නේ 1849 දී ලියවුණු නත්තල් කෙටි කථාවකයි. ක්ලෝස් මහත්මිය කියලා සාමාන්‍ය ව්‍යවහාරෙදි හඳුන්වන නත්තල් පප්පා​ගේ බිරි​ඳගේ මුල් නම ‘මාර්තා’ හැටියටයි බොහොමයක් තැන්වල සඳහන් වෙන්නේ. නත්තල් පප්පාත් එක්ක එකතු වෙලා සෙල්ලම් බඩු හදන එක, කුකීස් හදන එක සහ නත්තල් පප්පාගේ රථය ඇදගෙන යන පිණි මුවන්ව බලා කියා ගන්න එක තමයි නත්තල් හාමිනේගේ රාජකාරි වෙන්නෙ.

 

7. ශාන්ත නිකොලස්ගෙයි රූඩොල්ෆ්ගෙයි අමුතු නාසයවල්

නත්තල් පප්පාගේ චරිතය නිර්මාණය වෙන්න මූලික වෙච්ච ශාන්ත නිකොලස් තුමාගේ පැරණි චිත්‍ර සම්බන්ධයෙන් පර්යේෂණ කරපු විද්‍යාඥයොන් එක අපූරු දෙයක් නිරීක්ෂණය කළා. ඒ තමයි එතුමාගේ නාසය තරමක් ඇද ගැහුණු විරූපී ස්වභාවයකින් පැවතීම. මේ සම්බන්ධයෙන් වැඩිදුර පර්යේෂණ සිදු කරපු ඒ අය තීරණය කළේ ශාන්ත නිකොලස්තුමාගේ නාසය බරපතල අන්දමේ අනතුරකින් බිඳුණු එකක් බවයි. 

මේ වගේම නාසයක් සම්බන්ධව තවත් ප්‍රසිද්ධ නත්තල් චරිතයක් තමයි රූඩොල්ෆ් කියන රතු නාසයක් සහිත පිණිමුවා. රූඩොල්ෆ්ගෙ විතරක් රතු නාසයක් ආවේ කොහොමද කියලා සමහර විට නත්තල් සින්දු, කතා අහපු ඔයාටත් ප්‍රශ්නයක් තියෙන්න ඇති. ඔන්න දැන් ඒකටත් විද්‍යාවෙන් පිළිතුරු දීල හමාරයි. ඔවුන් කියන්නේ රූඩොල්ෆ්ගේ නහය ඇතුළේ පරපෝෂිත ජීවීන් පැතිරිලා තිබීම නිසා වෙන්න පුළුවන් නහය ඒ තරම් රතුවෙලා තියෙන්නේ කියලා.

 

එහෙනම් නත්තල් පප්පා සම්බන්ධ මේ රසබර කතන්දර අනිත් අයට කියවන්නත් එක්ක ෂෙයාර් කරගන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඒ වගේම උදා වූ නත්තල ඔබ සැමට ප්‍රීතිමත් එකක් වන්නටය කියලා ලයිෆී අපි ප්‍රාර්ථනා කරනවා!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *