සෙක්ස් කියන්නේ අපි කවුරුවත් නොකරන දෙයක් නෙවෙයි. ඒකට කසාද බඳින්න හෝ නොබඳින්න ඕනැයි කියලා කියන්නත් බෑ. එකම දේ තමයි, සෙක්ස් කරන්න නීතියෙන් වයස් පිරිලා තියෙන්න ඕන.
හරි, අපි මේ කතා කරන්නේ සෙක්ස් කරන වයස ගැනවත්, සෙක්ස් කරනවද නොකරනවද කියන එක ගැනවත් නෙවෙයි. අපි මේ කතාකරන්නේ සෙක්ස් සම්බන්ධයෙන් අපි ඕනම කෙනෙක් සමහර වෙලාවට කරන වැරැද්දක් ගැන. ඒ තමයි සෙක්ස් කියන දේ යම් යම් අවස්ථාවන් වෙනුවෙන්, යම් යම් වෙනත් දේවල් වෙනුවෙන් පාවිච්චි කරන එක. එහෙම සෙක්ස් පාවිච්චි කරන එක වැරදි වෙන්නේ ඒකෙන් වෙනත් පාර්ශවයන්ට වගේම අපිටත් යම් කිසි විදියකින්, යම් තාක් දුරකට ඩැමේජ් වෙන්න පුළුවන් නිසා.
එහෙමනම් බලමු, සෙක්ස් පාවිච්චි නොකෙරෙන්නේ මොන වගේ දේවල් වලටද, මොනවගේ අවස්ථාවන් වලටද කියලා. ඒක තේරුම් ගත්තොත්, සෙක්ස් කියන එක පාවිච්චි නොකර, සුන්දර දෙයක් විදියට රසවිඳින්න පුළුවන් වෙයි!
1. ජොබ් එකෙන් ගොඩයන්න
මේක නම් කවුරුවත් නොදන්න දෙයක් වෙන්න බෑ. ජොබ් එකෙන් උඩට යන්න, ජොබ් එකක් හදාගන්න, ජොබ් එකේ වැජඹෙන්න, ජොබ් එක සුරක්ෂිතව තියාගන්න වගේ ජොබ් එක සම්බන්ධ විවිධ හේතු වෙනුවෙන් සෙක්ස් කරන එක සෑහෙන්න සාමාන්‍යකරණය වෙලා. මේකට හැබැයි කියන්නේ ලිංගික අල්ලස් දීම සහ ලිංගික අල්ලස් ගැනීම කියලා තමයි. මේක ඕන නම් ජොබ් එක නැතුව, ව්‍යාපාරික කටයුතු වලදී වාසි ගන්න ලිංගික අල්ලස් දීම කියන තැනින් ගන්නත් පුළුවන්. හරි. කොයික කොහොම වෙතත්, මේක හොඳ දෙයක් නෙවෙයි. අඩුතරමින් තමන්ගේ වෘත්තිය ජීවිතය ඉහළට යන්නේ තමන්ගේ හැකියාවෙන් කියලා සතුටු වෙන්නවත් බැරි දෙයක්. ඒ වගේම තමයි, මේ වගේ දෙයක් ලීක් වෙනවා කියන්නෙත් තමන්ගේ සේවා සගයන්ගේ විතරක් නෙවෙයි, තමන් ඉන්න ක්ෂේත්රයේම තමන් ගැන තියෙන ගෞරවය නැතිවෙලා යන එක තමයි.
2. අනාරක්ෂිත කම් වහගන්න
මේ කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. දැන් ගොඩක් මිනිස්සුන්ට තියෙනවා අනාරක්ෂිත හැඟීම්. ඒ කියන්නේ තමන් ගැන තමන්ට සෑහීමක් නැති තැන්. සමහරු තමන් මිටියි කියලා අප්සෙට් එකේ ඉන්නවා. සමහරු තමන් මහතයි කියලා අප්සට් එකේ ඉන්නවා. සමහරු තමන් කළුයි කියලා අප්සට් එකේ ඉන්නවා. මේ බාහිර පෙනුමෙන් එහාට යන අනාරක්ෂිත කම් වුනත් තියෙනවා, ඒත් අපි කතාවේ ලේසියට මේ ටික දැනට ගමු. දැන් මෙතන ප්‍රශ්නේ වෙන්නේ, මේ අනාරක්ෂිත කම් වලින් එන අප්සට් එක සංතෘප්ත කරගන්න කෙනෙක් සෙක්ස් පාවිච්චි කරන්න පුළුවන් වීම. පැහැදිලි නැද්ද? උදාහරණයක් විදියට කොල්ලා කාලේ තමන් මහතයි කියලා කෙල්ලෝ යාලු වුනේ නැති කෙනෙක්, පස්සේ කාලෙක තමන්ට ධනය හෝ බලය නිසා සෙක්ස් ලේසියෙන් හොයාගන්න පුළුවන් වෙනකොට, අර මහතයි කියන අප්සෙට් එක වහගන්න සෙක්ස් කරනවා. එතකොට එයත් එක්ක සෙක්ස් කරන්න කට්ටිය එන්නේ මිනිහට දැන් සල්ලි තියෙන නිසා වෙන්න පුළුවන්, බලය තියෙන නිසා වෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නේ, ඒකෙන් අනාරක්ෂිත භාවය නැතිවෙන්නේ නැති එක.
3. පරණ එක්කෙනා අමතක කරන්න
මේකත් බොහොම ජනප්‍රිය අවස්ථාවක් සෙක්ස් කරනකොට. ඒ කියන්නේ අපි කියමු ඔන්න ආදර සම්බන්ධතාවයක් කැඩිලා ෆුල් අවුල් වෙලා ඉන්නවා කියලා. එතකොට ඔන්න අපි ඒක අමතක කරන්න කියලා කවුරුහරි එක්ක සෙක්ස් කරනවා. ඇත්තටම සෙක්ස් කරන එකේ මෙතන අවුලක් නෑ. අවුල තියෙන්නේ, පරණ එක්කෙනා අමතක කරන්න සෙක්ස් කළා කියලා, පරණ එක්කෙනා අමතක නොවෙන එක. ඒ වගේම සෙක්ස් කරන කෙනා අපි ගැන බලාපොරොත්තු තියාගෙන සෙක්ස් කළොත් තත්ත්වේ තවත් බරපතලයි. ආන්න ඒ නිසා ලව් කැඩුණු වෙලාවක සෙක්ස් කරනවා නම්, එක්කෝ ෂුවර් එකක් තියෙන්න ඕන තමන් සෙක්ස් කරන්නේ මොකක් නිසාද කියන එක ගැන. අනික, අනික් පාර්ශවය මේක ලිංගික සම්බන්ධයක් මිසක් ආදර සම්බන්ධයක් කියලා වරදවා වටහා ගන්නේ නැහැ කියන ෂුවර් එකත් තියෙන්න ඕන.
4. වෛරෙට කරන සෙක්ස්
මේක නම් බොහොම භයානක කාරණාවක්. ඒ කියන්නේ පළිගන්න ඕන කමට, තමන්ගේ හිතේ තියෙන වෛරයක් පිරිමහා ගන්න ඕන කමට කෙනෙක් එක්ක සෙක්ස් කිරීම. මේක පරණ ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි පරණ බෝයිෆ්‍රෙන්ඩ් හරි එක්ක සෙක්ස් කිරීමක් වෙන්න පුළුවන්. තමන් පස්සෙන් ගිහින් දාගන්න බැරි වුණු ගෑණු ළමයා එක්ක පස්සේ කාලෙක සෙට් වෙලා සෙක්ස් කිරීමක් වෙන්න පුළුවන්. තමන්ට වෛරයක් තියෙන කෙනෙක්ගේ වයිෆ් හරි හස්බන්ඩ් හරි එක්ක සෙක්ස් කරනවා වෙන්න පුළුවන්. ඔය කෝක වුනත්, සෙක්ස් කිරීමේ පරමාර්ථය වාඩුව ගැනීමක් හෝ වෛරයක් පිරිමහා ගැනීමක් හෝ පළි ගැනීමක් නම්, ඒක කිසිසේත්ම යහපත් කාරණාවක් නෙවෙයි. ඒකෙන් දෙපැත්තටම ඩැමේජ් වෙන්න තියෙන ඉඩ බොහොම වැඩියි.
5. කොල්ලෝ/කෙල්ලෝ විහිළු කරන නිසා
මේක විහිළුවක් නෙවෙයි ඇත්තටම. සාමාන්‍යයෙන් ඔය කාණ්ඩෙක ඉන්න එක කොල්ලෙක් ඇරෙන්න අනික් ඔක්කොම බොනවා නං, අර නොබොන කොල්ලට “ආපෝ ගෑණි වගේ මොකද්ද බං” කියලා කෝචොක් දාලා පොවන සීන් තියෙන්නේ. අන්න ඒ වගේ තමයි, කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි සෙක්ස් කරලා නැති නම් අනික් එවුන් කෝචොක් දාලා, සෙක්ස් කරන්න පොළඹවන්න පුළුවන්. හැබැයි මෙතනදී ප්‍රශ්නේ වෙන්නේ තමන් ඇත්තටම සෙක්ස් කරන්න සූදානම්ද නැද්ද කියන එක අර කෝචොක් දාන කොල්ලන්ගෙන් හරි කෙල්ලන්ගෙන් හරි අහන්න පුළුවන් දෙයක් නොවීමයි. උදාහරණයක් විදියට ගත්තොත්, ගෑණු ළමයෙක්, තමන්ගේ යාලුවෝ ඔක්කොටම කොල්ලෝ ඉන්න නිසා, ඒ ඔක්කොම සෙක්ස් කරලා තියෙන නිසා තමනුත් සෙක්ස් කරන්න ඕනය කියලා හිතන්න පුලුවන්. හැබැයි එයා විවාහය වෙනකල් වෙන කෙනෙක් එක්ක සෙක්ස් කරන්න ඕන නැහැයි කියලා හිතාගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට, අර යාලුවන්ගේ ප්‍රෙෂර් එක නිසා සෙක්ස් කිරීම, එයාගේ මානසිකත්වයට බලපාන්න පුළුවන්.
6. ලොකු කමට
මේකත් ගොඩක් වෙලාවට කොල්ලෝ කරන වැරැද්දක්. ඒ තමයි ලොකු කමට, තමන් හෙනම සෙක්ස් සීන් එකේ ඉන්න බුවා කියලා කියාගන්න සෙක්ස් කරන්න යන එක. හැබැයි මේ වැරැද්ද ගෑණු ළමයින්ගෙනුත් වෙන්න පුළුවන් කියන එක අමතක කරන්න හොඳ නෑ. මෙතන තියෙන තව ප්‍රශ්නයක් තමයි, මේ විදියට සෙක්ස් කරන කෙනෙක් ඉන් පස්සේ තමන් සෙක්ස් කළේ කාත් එක්කද, කොහේද, මොන පොසිෂන් එකටද වගේ කරුණු කාරණා හැම එකක්ම කියව කියවා ලොකු කම අටවන එක. අන්න ඒකෙන් එකක් තමන්ගේ ගෞරවයත් වැනසෙනවා, තමන් එක්ක සෙක්ස් කරපු අයගේ අනන්යතාවයන්ටත් හානියක් වෙනවා.
7. කාව හරි සතුටු කරන්න
මේක ගොඩක් වෙලාවට ඔය සම්බන්ධතා වලදී වෙන්න පුළුවන් දෙයක්. ගොඩක් වෙලාවට මේ වගේ අවස්ථාවකට ගොදුරු වෙන්නේත් ගැහැණු ළමයි වෙන්න පුළුවන්. දැන් තමන් කෙනෙක්ට ආදරෙන් හිටියට, තමන් තාම ලිංගික සම්බන්ධතාවයකට යන්න සූදානම් නැති වෙන්න පුළුවන්. හැබැයි අනික් පැත්තෙන් සෙක්ස් කරන්න ඕන කියලා බලපෑමක් එන්න පුළුවන්. අන්න එතකොට ආදරවන්තයාව හරි ආදරවන්තියව හරි සතුටු කරන්න සෙක්ස් කරන්න පෙළඹෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ, තමන් සෙක්ස් කරන්න සූදානම් නැති මොහොතක එහෙම දෙයක් කරන එකෙන් තමන්ගේ මනසටම හානියක් සිද්ධ වෙන්න පුළුවන් වීම.
ඇත්තටම සෙක්ස් කියන්නේ බොහොම සුන්දර දෙයක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. එකම දේ තමයි, සෙක්ස් කරන්න ඕන බොහොම සැහැල්ලුවෙන්, දෙන්නගේම කැමැත්තෙන් සහ යටි අරමුණු හෝ ඇජෙන්ඩා නැතුව වීම තමයි. අන්න එතකොට තමයි සෙක්ස් කරන එකේ නියම සතුට, සැහැල්ලුව විඳගන්න පුළුවන් වෙන්නේ.
Leave a Reply