බුදු දහමට අනුව ධර්ම දේශනාවක් කියන්නේ මොකද්ද?

බුදු දහම යනු හුදෙක් ඇදහීම් පමණක් ඇතුළත් ප්‍රාථමික දහමක් නොවේ. ඇතැම් ආගම්වල ඇත්තේ දෙවියෙක් හෝ දේව මණ්ඩලයක් පමණි. බැතිමතුන් ගොස් පුද පූජා පවත්වා දෙවියන් සතුටු කොට යමක් ඉල්ලා ගත යුත්තේය. එහෙත් බුදු දහම ඊට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිටී. මේ චක්‍රීය ලෝකයේ කෙළවර සොයාගන්නා හැටි කියාදේ.  බුදුදහම සිත සංසුන් කරගැනීමට අද කාලයේ බටහිර ඇත්තන් පවා භාවිතා කරන මහාර්ඝ ධර්ම භාණ්ඩාගාරයකි. එහෙත් අප රට තුළ වර්තමානයේ  පහළ වී ඇති ඇතැම් දේශකයාණන් වහන්සේලා දහම් දෙසනවාද නැතිනම් විවාද කරනවාද යන්න තෝරාගන්නට නොහේ. ඉතින් ධර්ම දේශනා කරන ආකාරය ගැන කරුණු කාරණා ටිකක් අපි සොයා බලමු.

 

1. බණ වර්ග

Image Source – youtube.com

දහම් දේශනාවද එක් එක් අවස්ථාවට අනුව වෙනස් වේ. ඒ අනුව කඨිනානිශංස බණ, යුගාසන බණ, කවි බණ, ගුණානුස්මරණ බණ, ගුවන් විදුලි බණ, රූපවාහිනී බණ ආදී වශයෙන් ධර්ම දේශනා ඒ් ඒ අවස්ථාව අනුව වෙනස් වේ. පෙර කාලයේදී ආසන කිහිපයේ බණ පැවැත්වී ඇති අතර පෙර කාලයේදී ධර්ම දේශනාව සමග එය රඟදක්වා මෙන් පෙන්වන නාටකීය අවස්ථාද තිබී ඇති බැව් ඉතිහාසයේ සඳහන්ය.

 

2. බණ දෙසීම පහසු කරුණක්ද?

Image Source – vishvaniketan.org

උදායි භික්ෂුව විනය පිටකයේ නිතර හමුවන චරිතයකි. උන්වහන්සේගේ නුගුණ අනෙක් භික්ෂූන්ට ආදර්ශ සපයා ඇත්තේය. උදායි භික්ෂුව භික්ෂූන් පිරිවරා දහම් දෙසූවැයි ඇසූ බුදුන් වහන්සේ ආනන්ද හිමිට “ආනන්දය දහම් දෙසීම පහසු කටයුත්තක් නොවන්නේ” යැයි වදාරා තිබේ. ගැමුණු රජුටද වරක් දහම් දෙසන්නට උවමනා විය. ඔහු ලෝවාමහාපායේ දහම් වේදිකාවට නැගී මංගල සූත්‍ර කොටසක් ගෙන දේශනා කරන්නට විය. එහෙත් වැඩි වේලා යන්නට මත්තෙන් ඉහින් කණින් දාඩිය දාගත් ගාමිණී එයින් බැස ගියේය. ඉන් පසු ඔහු දහම් දෙසීමේ අපහසුතාව දැන දහම් දෙසන හිමිවරුන්ට වඩ වඩාත් පහසුකම් සලසන්නට විය.

 

3. දහම් දෙසන තැන

Image Source – vishvaniketan.org

වර්තමානයේ තාක්ෂණික දියුණුව සමග යූටියුබ් වලද දහම් දෙසුම් විකාශය වේ. එදා ලංකාවේ දහම් දෙසීමට යූටියුබ් තබා ස්පීකරයක්වත් තිබුණේ නැත. එම නිසාම පිරිත් දේශනා ආදිය පැවැත්වීමට හිමිවරුන් කිහිප නමක්ම දායක විය. දහම් දෙසීමේදී වටාපතක් යොදාගැනීමෙන්ද දහම් හඬ වඩ වඩාත් ඈතට විහිදේ. ලංකාවේ වර්තමානයේ පවතින බණ මඩු හෙවත් ධර්ම ශාලා තායිලන්ත ආභාශය ගත් ඒවාය. පොළවට වඩා මදක් උසින් නිමවන ඒවා දිශා තුනකටවත් ද්වාර සහිතව නිමවා ඇත්තේය. ඒ තුළින් උපාසක ඇත්තන්ට  සතර දිශාවේම වාඩි වී දහම් ශ්‍රවණය කළ හැකිය. අද තරම් ගොඩනැගිලි පහසුව දියුණු නොවූ කාලයේ බණ මඩු මෙතරම් විසිතුරුව නොතිබෙන්නට ඇත. දේශනාවේදී භික්ෂූන් වහන්සේගේ ගෞරවය ආරක්ෂා වන පරිදි දහම් මණ්ඩප ඇතිකිරීමට එදා වැසියෝ පියවර ගත්හ.

 

4. කවිබණ සහ පොත් කියැවීම

Image Source – krayayouth.wordpress.com

දැන් ලංකාවේ සෑම කෙනෙක්ටම පාහේ අකුරු කියවිය හැකිය. එහෙත් එදා එහෙම තිබුණේ නැත. භික්ෂූන් වහන්සේලා සද්ධර්ම රත්නාවලිය, සද්ධර්මාලංකාරය මෙන්ම ජාතක පොතද සාමාන්‍ය ජනයාට ඇසෙන්නට කියවූහ. පංසල සමග නිති සමීපව සිටි උපාසක ඇත්තෝ ස්වාමීන් වහන්සේලාගෙන් ඒ පොත් වල ඇති කාරණා අසා දැනගත්හ. අද වනවිට කවියෙන් සිද්ධි කියවෙන කවිබණ කලාවක්ද පැමිණ තිබේ. ඒ ඇතැම් කවිබණ ලෝකෝත්තර දියුණුව පිණිස නොව ලෞකික ජීවිතම ඉලක්ක කරගෙන නිමැවූ ඒවා බව ඇසු පමණින්ම පැහැදිළි වේ.

 

5. බණ කියන්නාට තිබිය යුතු ගතිගුණ

Image Source – mgt.sjp.ac.lk

සැරියුත් තෙරණුවෝ දහම් දේශනාවට සුදුසු කෙනෙකැයි බුදුන් වහන්සේ දේශනා කළ සේක. “සාරිපුත්තෝ භික්ඛවේ පහොති චත්තාරි අරියසච්චානි විත්ථාරේන ආචික්ඛිතුං දෙසතුං පඤ්ඤපේතුං, පට්ඨපෙතුං, විවරිතුං විභජිතුං, උත්තානිකාතුං” යනුවෙන් සච්චවිභංග සූත්‍රයේ දී සාරිපුත්‍රයෝ ධර්ම දේශනයට අවශ්‍ය වූ සුදුසුකම් ඇති තෙරනමකැයි   පෙන්වා දී තිබේ. එහි තේරුම “මහණෙනි චතුරාර්යය සත්‍ය ධර්මය විස්තර වශයෙන් කියන්නටද, දෙසන්නටද, පනවන්නටද, පිහිටුවන්නටද, විවෘත කරන්නටද, සරල වශයෙන් විස්තර කරන්නටද සාරිපුත්‍රට හැක්කේය” යන්නයි. ඒ අනුව ධර්මය දැනගැනීම, එහි අවබෝධය මෙන්ම විස්තර කිරීමේ හැකියාවද ධර්ම දේශකයාණන් නමකට තිබිය යුත්තේය.

 

6. බණ කියන හිමිගේ දැනුම

Image Source – njbv.org

පුරාණ පාලි අට්ඨකතාවක මෙසේ දැක්වේ. අනුන් හට දම් දෙසන්නන් විසින් ධර්ම අර්ථ පැහැදිළි කොට දැක්වීමටත්, අවශ්‍ය තැන්වලදී පාලි ධර්ම කොටස් නිදර්ශන ලෙස දැක්වීමටත්, මුල මැද අග සම්බන්ධ කොට දේශනා කිරීමටත් සමත් විය යුතුය. එසේම ශ්‍රමණ ස්වරූපය රැකගෙන, ශිෂ්ට වචන භාවිතා කොට, උපමා උපමේය සහිතව දම් දෙසිය යුතු බවද එහි දැක්වේ. ඒ අනුව අනුන්ට දහම් දෙසීමේදී කුමක් හෝ සමාජ සිද්ධියක් අළලා තමුන්ගේ මතය දෙසාබෑම පමණක් දහම් දෙසීම යැයි දැක්විය නොහේ. ධර්මය නම් පාලි බසින් ලියැවී ඇති දහම් කොටස් වේ. එකල හිමිවරුන් යම් දෙසුමක් කරන්නේ නම් නිතර බුද්ධ දේශනාව අනුව එය ගලපමින් ධර්මානුකූලව දෙසුම කරන්නට වග බලාගත්හ.

 

7. බණ දේශනාවේ අරමුණ

Image Source – njbv.org

බෞද්ධයාගේ පරම අරමුණ යම් යම් දේ ආරක්ෂා කිරීම යැයි නූතනයේදී ඇතැම් ජනප්‍රිය තැන් වලද කියැවේ. එහෙත් නියම බෞද්ධයා යනු සියලු දේ බදාගන්නා අය නොවෙන අතර සියළු දේ අතහරින අයවලුන්ය. වර්තමානයේ ත්‍රිපිටකය පවා එහි අන්තර්ගතය ගන්නේ නැතිව තව තවත් වැඳුම් පිදුම් කරන දෙයක් බවට පත් කරගෙන තිබේ. වරක් අජාන් බ්‍රහම් නම් විදෙස් ජාතික බෞද්ධ හිමි නමගෙන් ධර්ම පොතක් වැසිකිළි වලකට දැම්මොත් කුමක් කරන්නේදැයි ඇසුවේය. එවිට උන්වහන්සේ එය තවත් හොඳින් වල තුළට යන්නට වතුර එකක් ගහනවා හැර වෙනත් කරන්නට දෙයක් නැතැයි සිනාමුසු මුහුණින් පිළිතුරු දුන්නේය. ඒ අනුව ධර්ම දේශනාව බුදුහිමිගේ දහම් මග වඩාත් ඉස්මතු වන පරිදි සහ බෞද්ධයාගේ සලකුණු දැක්වෙන පරිදිම සිදුකළ යුතුය.

 

8. එකල බණ දෙසුම්

Image Source – wtfdown.com

වත්මන් කාලීන බණ රැල්ලට පෙර හිමිවරුන් ත්‍රිපිටකයේ සඳහන් කතාවක් ගුරු කොට ගත්හ, නැතිනම් ධම්මපදයේ ගාථා පාඨයක් ගුරු කොට ගත්හ, එසේත් නැතිනම් අපි එතරම් අසා නොමැති ධර්මයේ සඳහන් කොටසක් ගුරු කොට ගත්හ. ඉන් පසු උන් වහන්සේ සෙමෙන් සෙමෙන් ඒ කාරණාව විස්තර කරන්නේය. ඒ තුළින් අවට ඇති කරුණු කාරණාද සමඟින් අවශ්‍ය ධර්ම කොටස අහන අයගේ සිතේ ධාරණය වීම සිදු විය. එ් බණ දේශනාවක් ඇසීම ඒ අවස්ථාවේදී පවා සිත පහදවාගැනීමට හේතු විය. ලෞකික සමාජයේ කුණු කන්දල් තෝරාගෙන ඒවාට විවරණ සැපයීමෙන් කරන ඇතැම් නූතන බණ දේශනා සිත තවත් චංචල කර වඩාත් කලකිරීම් ඇතිකරවනවා මිසෙක සිත සංසුන් කරන්නේ නැත.

දහම යනු සිතට සැනසුම ගෙනෙන මහත් වූ ඔසුවකි. මේ ලෞකික ජීවිතයේ ඇති නිසරු බව අවබෝධ කරගත් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා දහම් මග ගොස්, එයින් නිවනින් සැනහී ගියේය. ඉතින් අපිත් නිවැරදි ධර්ම දේශනා තෝරාගෙන, නිවැරදි ආකාරයට ධර්මය ඉගෙනගෙන පිළිපදිමු. එවිට අපිටත් ජීවිතයේ සැනසීම දහම තුළින්ම උදාකරගත හැකි වනු ඇත.