ඇතුළුවීම අතිශයින්ම කොල්ලන්ට පමණයි! තමන්ටම කියලා වෙනම ස්පේස් එකක් හදාගන්නේ මෙහෙමයි

දැන් පිරිමියෙක් ගත්තහම තමන්ටම කියලා වෙනම ඉඩක් තියෙන්න ඕන නැද්ද? එතකොට අහන්න එපා ඇයි ගෑණු අයට එහෙම වෙනම තැනක් ඕන නැද්ද කියලා. ඔව්, ගෑණු අයටත් වෙනම ඉඩක් ඕන. හැබැයි අපි අද කතා කරන්න යන්නේ පිරිමියෙක්ට වෙනම තියෙන ස්පේස් එකක් හදාගන්න එක ගැන. ඔය මෑන් කේව් (Man cave) කියන්නේ. අන්න ඒකක්.

 

දැන් ඇත්තටම ඇයි පිරිමියෙක්ට එහෙම විශේෂයෙන් තැනක් අවශ්‍ය වෙන්නේ? සමහර වෙලාවට පිරිමින්ට තනියෙන් තමන්ගේ ගල්ගුහාවට වැදිලා තනියෙන් ඉන්න අවශ්‍යතාවයක් මතුවෙනවා. සමහර වෙලාවට පාලුවට. සමහර වෙලාවට තරහ නිවාගන්න. ඔය වගේ ඕනම දේකට. එතකොට තව කාරණාවක් තියෙනවා. සමහර වෙලාවට පිරිමි ආස කරන රගර් මැච් බලන ඒවා, වීඩියෝ ගේම් ගහන ඒවා වගේ සීන් වලට ගැහැණු උදවිය ආස නෑනේ. ආන්න ඒ නිසා ඒ වගේ වැඩවලට ඔය මෑන් කේව් එකක් තියෙන එක හොඳයි. ඊට අමතරව ඔය සමහර කොල්ලන්ට තියෙන විනෝදාංශ වලටත් වෙනම ස්පේස් එකක් ඕන. ඒ කියන්නේ ලී වැඩ, මැටි වැඩ, ලෝහ වැඩ වගේ ඒවලට. 

 

හරි, කොහොමද ලේසියෙන් මෑන් කේව් එකක් හදාගන්නේ? අන්න ඒකට ටිප්ස් ටිකක් තමයි මේ. ඒ ටික කියවන්න කලින් මේ වීඩියෝ දෙකත් බලලම එන්ඩ.

 

 

 

 

 

1. කොහේද කොහේද තමන්ටම තැනක්?

මේක තමයි වැදගත්ම කාරණාව. ඇත්තටම කොහේද තමන්ටම ස්පේස් එකක් හදාගන්නේ? ඇත්තටම මෙහෙම තැනක තියෙන්න ඕන එක විශේෂත්වයක් තමයි, අනික් හැමෝටම හිතෙන හිතෙන වෙලාවට යන්න එන්න බැරි, තමන්ටම විශේෂ වුණු තැනක් වීම. ඒ නිසා ඕන නම් ගෙදර කාමරයක් මේකට තෝරගන්න පුළුවන්. තමන්ගේම කාමරේ කොටසක් වුනත් මෑන් කේව් එක විදියට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැතුව ඉඩ කඩ තියෙන ඉඩමක් නම්, තමන්ටම පොඩි කොටසක් වෙනම හදාගන්නත් පුළුවන්. ඕන නම් අර ගස් උඩ හදන ට්‍රී හවුස් එකක් මෑන් කේව් එක විදියට යොදාගත්තත් ප්‍රශ්නයක් නෑ!

 

2. මොනවද ඒකේ තියෙන්නේ?

මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න නම්, ඇත්තටම හිතලා බලන්න ඕන තමන්ගේම අවකාශයක තමන්ට කරන්න ඕන මොනවද කියලා. සමහරුන්ට ඒ වගේ ස්පේස් එකක් ඇත්තටම ඕන ඔෆිස් වැඩ කරන්න. සමහරුන්ට ගේම් ගහන්න. සමහරුන්ට ලී වලින් එක එක දේවල් විනෝදාංශයක් විදියට හදන්න. සමහරුන්ට ෆිල්ම් බලන්න. අන්න ඒ වගේ තමන්ට වුවමනා මොනවද කියලා තේරුම් ගත්තට පස්සේ පුළුවන්, ඒ වුවමනාවන්ට හරියන විදියේ දේවල් මෑන් කේව් එක ඇතුළට ගේන්න. දැන් පොත් කියවන හාදයෙක්ට ඕන නම් මෑන් කේව් එක ඇතුළේ පුස්තකාලයක් පවත්වා ගන්න වුනත්, එහෙම නැතිනම් ගෙදර පුස්තකාලය මෑන් කේව් එකක් කරන්න වුනත් පුළුවන්.

 

3. තේමාවකට කරමු

නිකම්ම රූම් එකක ගේමින් කොන්සෝල් එකකුයි, ටීවී එකකුයි තියලා මෑන් කේව් කිව්වට වැඩක් නෑ. ඊට වඩා ඒකේ තියෙන්න ඕන වෙනම එකක්. අඩු ගාණේ තමන්ට ඒක ඇතුළට ගියහම ඒක තමන්ගේම ලෝකයක් විදියට දැනෙන්න වත් ඕන. අන්න ඒකට කරන්න පුළුවන් සාර්ථක දෙයක් තමයි තේමාවකට අනුව තමන්ගේ අවකාශය ඩිසයින් කරන එක. ඒක ගෙදර අනික් ගෘහ නිර්මාණය, ගෘහ අලංකරණය සහ තේමාව එක්ක ගැලපෙන්න ඕන නෑ. ඕන නම් කෙලින්ම පරණ තාලේ -ඒ කියන්නේ රෙට්රෝ- තීම් එකකට මෑන් කේව් එක හදාගන්න පුළුවන්. ඒ කියන්නේ පරණ තාලේ කුෂන් පුටුවක්, පරණ තාලේ බාර් ස්ටූල් එක්ක, බිත්තියේ පරණ පෝස්ටර් එල්ලලා හදාගන්න පුළුවන්. ඕන නම් ගේමින් පෝස්ටර් එල්ලලා, LED ලයිට් බිත්ති වලටත් සෙට් කරලා සම්පූර්ණයෙන්ම ගේමින් තීම් එකකට යන්නත් පුළුවන්. මේ තේමාව තීරණය කලාට පස්සේ වැඩේ ලේසියි.

 

4. ලක්ෂරි දේවල්ම තියෙන්න ඕනෙද?

ඇත්තටම ඔය යූටියුබ් එකේ එහෙම මෑන් කේව් කියලා සර්ච් කළහම එන්නේ ගොඩක් වෙලාවට මාර සුඛෝපභෝගී විදියට හදාගත්තු තැන්. හැබැයි ඇත්තටම මෑන් කේව් එකක් කියන්නේ තමන්ගේ අවකාශයක් මිසක්, සුඛෝපභෝගී අවකාශයක් කියන එක නෙවෙයි. සරල උදාහරණ කීපයක් ගමු. මෑන් කේව් එකක් ටයිල් කරන්න ඕනම නෑනේ. රතු සිමෙන්ති පොළවට ඕන නම් කාපට් දැම්මත් කමක් නෑ. වියදම හිතනවට වඩා අඩුයි. ගේම් ගහන්න ලොකු සයිස් එකේ මොනිටර් එකකට සල්ලි යට කරන්නම ඕන නෑ. කොන්සෝල් එකක් තියෙනවා නම්, අඟල් 32 ටීවී එකක් ගත්තත් කමක් නෑ. සුවපහසු ලෙදර් පුටුවක් ගන්න සල්ලි නැති නම් වේවැල් වලින් හදපු පැද්දෙන පුටුවක් ගත්තත් කමක් නෑ. තමන්ගේ සුවපහසුව විතරයි මෙතනදී වැදගත් වෙන්නේ.

 

5. බොට්ල් ෆ්‍රිජ් එකක්? මිනි බාර් එකක්?

සාමාන්‍යයෙන් අපි යූටියුබ් එකේ එහෙම දකින මෑන් කේව් වල ඇත්තටම ඔය බොට්ල් ෆ්‍රිජ්, මිනි බාර් එහෙමත් දකින්න පුළුවන්. එතකොට ඔය බියර් එකක් කාරිය බොන ගමන් මැච් එකක් බලන්න එහෙම පුළුවන් නිසා. හැබැයි එහෙම අත්‍යාවශ්‍ය නැහැනේ. තමන්ට බියර් එකක් ඕන නම් ගෙදර ෆ්‍රිජ් එකේ දාලා, තමන්ගේ මෑන් කේව් එකට යනකොට අරගෙන යන්න පුළුවන්. මෑන් කේව් එකේ බොට්ල් ෆ්‍රිජ් එකෙන් අරගෙන බොන තරම් ඒකේ ගතියක් නෑ තමයි. ඒත් වැඩේ කෙරෙනවනේ. 

 

හැබැයි ඇත්තටම තමන්ට ඕන නම්, මෑන් කේව් එකේ ඔය වයින් සෙලර් එකක්, සුරුට්ටු තියාගන්න තැනක් එහෙමත් හදාගන්න පුළුවන්.

 

6. යටිතල පහසුකම්

ඒ කියන්නේ දැන් මෑන් කේව් එක ගෙදර ඇතුළේ තිබුණත්, ගෙදරින් එළියේ තිබුණත් ඒකට හොඳ වාතාශ්‍රයක්, සිසිලසක් එහෙම අවශ්‍යයි. ඕන නම් කෙනෙක්ට ඒක ඒසී කරන්නත් පුළුවන්. එහෙම නැතිනම් එයාර් කූලර් එකක් දාලා තියන්නත් පුළුවන්. එහෙමත් නැතිනම් ෆෑන් එකක් දැම්මත් කමක් නෑ. හැබැයි ඉතින් පොඩ්ඩක් වාතය පිටවෙන්න සහ පිරිසිදු වාතය ඇතුළට එන්න ක්‍රම සහ විධි ගැනත් හිතන්න ඕන.

 

ඊලඟට විදුලිබලය. සාමාන්‍යයෙන් ඔය වගේ තැනක් හදාගත්තට පස්සේ තමන් කරන කියන කටයුතු එක්ක විදුලි බලය ටිකක් වැය වෙන්න පුළුවනි නේ. අනික ගැජට් බැජට් ගණනාවක් විදුලි සැපයුමට සම්බන්ධ කරන්නත් සිද්ධ වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවන් ගැන හිතලා, එහෙන් මෙහෙන් අටවන්නේ නැතුව හොඳ බල සැපයුමක්, කනෙක්ටර්ස්, මල්ටි ප්ලග්, එක්ස්ටෙන්ෂන් කෝඩ් එක්ක හරියට ප්ලෑන් කරලා සිස්ටම් එකක් හදාගන්න ඕන. 

 

තුන්වෙනුව ඔය ලී කපන යන්ත්‍ර, ඩ්‍රිල් වගේ එව්වා පාවිච්චි කරනවා නම්, ඒකට වෙනම වයරින් සිස්ටම් එකක් එක්ක ප්‍රධාන විදුලි සැපයුමට හානි නොවෙන විදියේ පද්ධතියක් සකස් කරගන්න වෙනවා. ඒ ඇරෙන්න වැහුණු අවකාශයක ඔය ලී වැඩ, ලෝහ වැඩ කරන එකත් නුවණට හුරු නෑ.

 

7. තමන්ට විතරයිද?

මෙහෙමයි. දැන් විවාහක මනුස්සයෙක් තමන්ගේ මෑන් කේව් එක තමන්ට විතරයි කියලා තියාගෙන හිටියොත් රෑ කෑම නැතිවෙන්නත් පුළුවන්. ඒ නිසා වයිෆ්ටත් ඇක්සෙස් දුන්නට කමක් නෑ. හැබැයි ඉතින් තියෙන්න ඕන නීතිය තමයි මේක පුරුෂයාගේ අවකාශය කියන එක. ඒ කියන්නේ වයිෆ්ට හිතූ හිතූ හැටියට ඒකට එන්න බෑ. පිරිමියා ආරාධනා කලොත් තමයි එන්න පුළුවන්. ළමයි එහෙම නම් ඈත් කරලා තියෙන එක නුවණට හුරුයි.

 

ඒ ඇරෙන්න ඉතින් ඔය පිරිමි යාලුවන්ට ආරාධනා කළාට එහෙම කමක් නෑ තමන්ගේ මෑන් කේව් එකට. ඕන නම්, තමන්ගේ මෑන් කේව් එක ඇතුළට එන කෙනෙක් පිළිපදින්න ඕන නීති රීති පද්ධතියක් හදලා දොරේ එල්ලලා තිබ්බත් කමක් නෑ!

 

දැන් වැඩේ පැහැදිලියිනේ. එහෙමනම් අපිත් හදාගමුද අපේ විදියට නිදහසේ ඉන්න පුළුවන් අපේම මෑන් කේව් එකක්? 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *