මේ දවස්වල කවුරුත් කතා කරන ඇමසන් වනාන්තරය ගැන වැඩි විස්ත​ර

කාලයක් තිස්සේ සිදුවෙන පරිසර දූෂණයේ ප්‍රතිඵල විදිහට මෑත කාලෙදි අපිට අහන්න ලැබුණ පරිසරයට හානිවුන සිදුවීම් බොහොමයි. මහා බාධක කොරල් පරය මියගිහින් කියල නිල වශයෙන් නිවේදනය කළා. අයිස්ලන්තයේ ඔක්ජොකුල් ග්ලැසියරය මියගියා. ඔය ඛේදවාචකයන් අතරට අලුතෙන්ම එකතු වුන ගැටලුව තමයි පහුගිය දවස්වල සිද්ධ වුන ඇමසන් වනාන්තරය හිටිහැටියෙම දවස් ගා​ණක් තිස්සේ වේගයෙන් ගිනි ගැනීම. ඔය සිද්ධියත් එක්ක හුඟ දෙනෙක් මේ ඇමසන් ගැන අලුතෙන් කතාබහ කරන්න පටන් ගත්තා. ඉතින් අපිත් ටිකක් හොයල බැලුවා මොකක්ද මේ ඇමසන් කියන්නෙ කියල. 

 

 

1. ඇමසන් වැසි වනාන්තරය

නමෙන් කියන විදිහටම ඇමසන් කියන්නේ වැසි වනාන්තරයක්. ඒ කියන්නේ අධික වර්ෂාපතනයක් පවතින, වාර්ෂික වර්ෂාපතනය සෙන්ටිමීටර් 250 –  450 වගේ ඉහ​ළ මට්ටමක පවතින වනාන්තරයක්. ඇමසන් වැසි වනාන්තරය, ඇමසන් කැලය, ඇමසෝනියා කියන ඔක්කොම නම්වලින් හැඳින්වෙන්නෙත් මේ ඇමසන් වනාන්තරයම තමයි. මේ ඇමසන් වනාන්තරය කියන්නේ දකුණු ඇමරිකාවේ ඇමසන් ගඟ ආශ්‍රිතව විශාල ප්‍රදේශයක පැතිරුණ නිවර්තන තෙත් කලාපීය වනාන්තරයක්. 

 

 

2. පිහිටීම

කලිනුත් කිව්වා වගේම ඇමසන් කියන්නේ දකුණු ඇමරිකාවේ ලොකූ කොටසක් ආවරණය කරන වනාන්තරයක්. හරියටම කිව්වොත් ඝන කිලෝමීටර ලක්ෂ 60ක් වගේ ලොකූ ප්‍රදේශයක්, ජාතීන් 9 කට අයත් භුමි ප්‍රදේශයන් මේ ඇමසන් වනයේ සීමාවට ඇතු​ළත් වෙනවා. ඒකෙත් වැඩිම කොටසක් පිහිටලා තියෙන්නේ බ්‍රසීලයේ. ඒ කියන්නේ මුළු වනාන්තරයෙන් 60% ක් විතර ප්‍රමාණයක්. ඉතිරි 13%ක් පේරු රාජ්‍යයෙත්, 10%ක් කොලොම්බියාවෙත් තව පොඩි පොඩි කොටස් වෙනිසියුලා, ඉක්වදෝර්, බොලිවියා, ගයනා කියන රටවල් ආශ්‍රිතවත් පිහිටලා තියෙනවා. 

 

 

3. ජෛව විවිධත්වය

ජෛව විවිධත්වය අතින් ගත්තොත් ඇමසන් වනාන්තරය කියන්නේ පරිසරයට ලොකූ බලපෑමක් කරන වැදගත්ම ස්ථාන වලින් එකක්. පෘථිවියේ තියෙන වෙන කිසිම භූගෝලීය පරිසර පද්ධතියකට වඩා විශාල ගස්වැල් සහ සතුන් වර්ග ප්‍රමාණයක් මේ ඇමසන් වනය නිවහන කරගෙන ජීවත් වෙනවා. දැනට විද්‍යාඥයින් විශ්වාස කරන හැටියට මේ ඇමසන් වනාන්තරය ඇතුලේ ශාක සහ පැළෑටි වර්ග 40,000ක් පමණත්, කෘමීන් වර්ග මිලියන 2.5 වගේ ප්‍රමාණයකුත්, මාළු වර්ග 2,200ක් පමණත්, ක්ෂීරපායී සතුන් වර්ග 427ක් පමණත්, උභය ජීවීන් වර්ග 428කුත්, උර​ඟ වර්ග 378කුත් වගේ විශාල සංඛ්‍යාවක් දැකගන්න පුළුවන්. අර අපි ඉහළින් කියපු වනාන්තරයේ විශාලත්වය දැක්කම හිතාගන්න පුළුවන්නේ, මේ ඔක්කොම ගණනය කිරීම් ටක්කෙටම හරි ඒවා නෙමෙයි. දළ වශයෙන් කරපු අනුමාන විතරමයි. හැබැයි මීට වඩා වැඩි මිසක් අඩුනම් වෙන්නෙ නැහැ කීයටවත්. ඉතින් හිතාගන්න පුළුවන්නේ කොච්චරනම් වැදගත්කමක් මේ වනාන්තරය ඇතුලේ තියෙනවද කියලා. 

ඔය අපි කතන්දර වල, ෆිල්ම් වල දැකපු යෝධ ඇනකොන්ඩා ජිවත් වෙනවා කියල විශ්වාස කරන්නෙත් මේ ඇමසන් වනය ආශ්‍රිත ප්‍රදේශයේම තමයි. හැබැයි ඔය කියන තරම්ම ලොකු ඇනකොන්ඩාවෙක් නම් තාම හැබෑ ලෝකෙදි හමුවෙලා නැහැ.

 

 

4. වනාන්තරයේ වැදගත්කම

ඉතින් අපි බලමු මේ මහා විශාල භුමි ප්‍රමාණයක පිහිටපු, ඉතා විශාල ජෛව විවිධත්වයකින් යුතු ඇමසන් වනය මෙච්චරම මේ ලෝකෙට වැදගත් වෙන්නෙ ඇයි කියල. ඇයි මේ වනාන්තරය ගැන පරිසර විද්‍යාඥයින් මේ තරම්ම කතාබහ කරන්නේ. එක ලොකුම වාසියක් තමයි කලින් කියපු ජෛව විවිධත්වය. ඒ කිව්වේ අර තරම් විශාල සත්ව සහ ශාක ප්‍රමාණයකට නිවහන සැපයීම. මොකද අපි සුළුවෙන් හිතුවට, අපිට හුඟක් නොතේරුණාට ජෛව විවිධත්වය කියන්නේ ඕනෙම පරිසර පද්ධතියක ඵලදායීතාවය ඉහ​ළ නංවන්න අත්‍යවශ්‍ය අංගයක්. කොච්චර පුංචි ඇහැට නොපෙනෙන සතෙක්ගෙන් උනත් මේකට ලොකූ දායකත්වයක් තියෙනවා.

වාර්ෂික වර්ෂාපතනය ඉහ​ළ මට්ටමක පවත්වාගෙන ජල චක්‍රය හරි විදිහට පවත්වාගෙන යන්නත් මේ ඇමසන් වනාන්තරයෙන් ලැබෙන්නේ ලොකු දායකත්වයක්. ඇමසන් වනාන්තරය නිසා ඇතිවෙන වැසි ඇමරිකාවේ මධ්‍යම හා බටහිර ප්‍රදේශ දක්වාම පැතිරෙන බවයි කියන්නේ. 

ඊටත් වඩා මේ වනාන්තරයෙන් කෙරෙන ලොකුම වැදගත් කාරිය තමයි අපි විසින් මුදාහරින කාබන් ඩයොක්සයිඩ් වායුව පිරිසිඳු කරලා ලෝකයට අවශ්‍ය ඔක්සිජන්වලින් 70%ක් තරම් ලොකු ප්‍රමාණයක් නිපදවීම. ඒ කියන්නේ ඉතුරු වනාන්තර ඔක්කොම එකතු ක​ළත් නිපදවන්නේ 30%යි. ඉතින් හිතාගන්නකෝ.

 

 

5. වන විනාශය

මේ ඇමසන් වනාන්තරයට අවාසනාවන්ත කාලයක් උදාවෙන්නේ 20 වන සියවසේ බ්‍රසීලයේ සීඝ්‍රයෙන් ඉහල යන ජනගහ​ණය එක්කයි. මිනිස්සුන්ට වාසස්ථාන හදාගන්න වනාන්තරය එළිකිරීම සිදුකෙරෙනවා. 1970 දී ඝන කිලෝමීටර ලක්ෂ 4 ට ආසන්න ප්‍රමා​ණයක්ව තිබ්බ කියල ගණනය කිරීම් වල සඳහන් වෙන බ්‍රසීල දේශ සීමාවට අයත් 60%ක වනාන්තර ප්‍රමාණයෙන් 2016 වසර වෙනකොට ඝන කිලෝමීටර ලක්ෂ 3.3​ක වගේ ප්‍රමාණයක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඝන කිලෝමීටර ලක්ෂෙකට ආසන්න ප්‍රමාණයක් එලි කරලා තියෙනවා. 1990 වගේ කාලේ ඉඳන් බ්‍රසීල රජය සහ තව ලෝකේ පුරා ඉන්න විවිධ සංවිධාන වල මැදිහත් වීම නිසා මේ සීඝ්‍ර වන විනාශය පුංචි ප්‍රතිශතයකින් ​මේ වෙනකොට අඩුවෙලා තියෙනවා කියල තමයි කියන්නෙ.

 

 

6. ඇමසන් ගින්න

 

ඔන්න දැන් තමයි මේ දවස්වල උණුසුම්ම මාතෘකාවක් ගැන කතා කරන්නේ. අපි කවුරුත් දන්න විදිහට පහුගිය දවස් වල මේ ඇමසන් වනය හරහා විශාල ගින්නක් පැතිරෙමින් තිබුනා. පුංචි පුංචි ගිනි ගැනීම් මේ වගේ ලොකු වනාන්තරයක සාමාන්‍ය සිදුවීම් උනත් මේ වතාවේ පැතිරුණ ගින්න සති කීපයක් තිස්සේ පැවතීමත් මැඩලන්න ගොඩක් අමාරු වීමත් නිසා මුළු ලෝකයේම කතා බහට ලක්වුණා. කොහොම උනත් මේ ගිනි නිකන් හිටපු ගමන් ඇතිවෙන්නේ නම් නැහැ. සත්ව ගොවිපලවල් හදන්න වගේ කාරණා වලට මිනිස්සු විසින්ම කැලෑ එළිපෙහෙළි කරලා ගිනි තියන බවත් ඒවගෙන් පැතිරෙන ගිනි පාලනය කරන්න අමාරු මට්ටම් දක්වා පැතිරෙන බවත් තමයි කියන්නේ. මේ වතාවේ ගින්නට හේතුව මේන්න මේකයි කියන්න හරියටම හොයාගෙන නැතත් මිනිස්සු විසින්ම සිදු කරන වන විනාශයන්ගේ ප්‍රතිඵලයක් කියල තමයි සැක කෙරෙන්නේ. 

 

 

7. ගින්නේ ප්‍රතිඵල

 

අපේ රටේ නොවෙන නිසා අපිට මහා ලොකුවට නොදැනුනාට මේ ගින්න සුළු පටු ගින්නක්නම් නෙමෙයි. ආසන්න වශයෙන් දින 17-18 අතර කාලයක් පුරා නොනවත්වා පැතිරුණ ගින්න නිසා ඇමසන් වනාන්තර භූමියෙන් අක්කර 75,000​ක විතර ලොකූ ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා කියල තමයි කියන්නේ. 

අර අපි කලින් සඳහන් කරපු දුර්ලභ සත්තු, ශාක වර්ග සැහෙන ප්‍රමාණයක් මේ ගින්නෙන් පිච්චිලා විනාශ වෙලා තියෙනවා. ක්ෂණික ප්‍රති​ඵල විදිහට මේ ගින්නෙන් පැතිරුණ දුම නිසා බ්‍රසීලයේ බොහොමයක් ප්‍රදේශයන්ගේ අහස කළු දුමෙන් වැහිලා ගිහින් රාත්‍රී කාලය වගේ තත්වයක් ඇතිවෙලා තිබුනා. 

කොහොම උනත් ස්වාභාවධර්මයා විසින්ම වැසි ඇති කරලා මේ ගින්න නිවනකන් අපිට මේක පාලනය කරන්න බැරි උනා. දැන් ඉතින් බලාගෙන ඉන්න තමයි තියෙන්නේ අපිට හුස්ම ගන්න ඔක්සිජන් ටික පවා සපයන මේ පරිසරයට හානි කරලා ඉදිරියට විඳින්න වෙන ඵල විපාක මොනවද කියලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *