ලී බඩුවක් කියන්නෙ මිලෙන් අඩු දෙයක් නෙමෙයි. ඒ වගේම ඒක සඟවා තබන්න පුළුවන් දේකුත් නෙමෙයි. ඒ වගේම ඒක නිතර පාවිච්චි නොවෙන දේකුත් නෙමෙයි. නිතරම පාවිච්චි වෙන, දකින්න තියෙන, මිලෙන් වැඩි දෙයක් වෙන ගෘහ භාණ්ඩ මිලදී ගන්නට කලින් ඔබ මොනවාද සිතිය යුත්තේ කියන එක ගැනයි අද කියන්නෙ. ලීබඩු කඩේට ගිහින්, තියෙන දෙයක් අරන් එනවා තරං සුළුවෙන් ඒ ගැන හිතාගෙන ඉන්නවානම් ඔබ මේ ලිපිය අනිවාර්යෙන්ම කියවිය යුතුයි. ඒ, ලී බඩුවක් කියන්නෙ ඔබට කොතරම් මිල මුදල් තිබුනත් කිසිම මොහොතක හිතුමතේට මිලදී ගත යුතු දෙයක් නොවෙන නිසායි.
1. මිල

Image Source – furnituremasters.org
ලී බඩුවේ ප්‍රයිස් ටැග් එක අතිශය වැදගත්. එය ඕනෑම ගෘහ භාණ්ඩයකදී වගේම ලී බඩුවකදීත් සැළකිලිමත් විය යුතු දෙයක්. ඔබ තෝරාගන්නා ලී බඩුවේ මිල ඔබට දරන්නට හැකි එකක් විය යුතුයි. එසේම ඔබ ගෙවන මිලට ලී බඩුවේ උපයෝගීත්වය සහ ලී බඩුවේ ගුණාංග වටිනවාද? යන්නත් සිතිය යුතු කරුණක්. එසේ පෙර නිමි ලී බඩුවක් මිලදී ගැනීම සහ ලී බඩුවක් ඔබේ අවශ්‍යතාවය යටතේ නිමවීම යන ක්‍රම දෙකෙන් ඔබට වාසි කුමක්ද යන්න තීරණය කිරීමත් ඔබ සිදු කළ යුතුයි. අනෙක් අනිවාර්ය සාධකය වන්නේ ලී බඩුව සම්බන්ධයෙන් අදාළ වෙළඳසැල ලබාදෙන වගකීමයි. එහි කල්පැවැත්ම ගැන අදහසක් ගන්නට ඔබට එය ප්‍රයෝජනවත් වේවි.
2. අවශ්‍යතාවයට සරිලන්න

Image Source – artisan.ba
ලී බඩුව ඔබේ අවශ්‍යතාවයට සරිලන්නට සහ සෑහෙන්නට මිලදී ගැනීමත් යෝග්‍යයි. එය මෙසේ පැහැදිලි කළ හැකියි. බොහෝදෙනෙකු කෑම මේසයට විලාසිතා අධික පුටු තබා තිබුනත් කෑම මේසය යනු මිනිසුන් සතුටින් ආහාර ගන්නා තැනක් විය යුතු නිසා එහි තබා ඇති පුටු වඩාත් සුවපහසු විය යුතුයි. ඒ වගේම ඔබට ඇත්තේ කුඩා නිවසක් සහ ඔබේ නිවසේ සිටින්නේ තිදෙනෙකු පමණක් නම්, අමුත්තන් පැමිණි කළ ඔවුන්ටද සෑහෙන ලෙසින් හය දෙනෙකුට සරිලන කෑම මේසයක් මිලදීගැනීම ප්‍රයෝජනවත්. පිරිසුදු කරන්නට පහසු ගෘහ භාණ්ඩ තෝරාගැනීමත් අනාගතයට පහසුවක් වේවි. ඒ වගේම දුටු දුටු පමණින් පුටු මිලදී නොගෙන අවශ්‍ය ප්‍රමාණයට සාලයක පුටු තබා තිබීමත් යෝග්‍යයි.
3. විවිධ අවශ්‍යතාවලට

Image Source – nzitofurniture.com
ඔබ ගෘහ භාණ්ඩ වෙනුවෙන් වෙන් කරන මිලට අනුව වැඩි ප්‍රයෝජන ගන්නට නම් ඔබට ඒ ගෘහ භාණ්ඩවලින් වෙනත් උපයෝගිතා සිටින ලෙසින්ද භාවිතා කළ හැකියි. උදාහරණයකට ඔබේ සාලයෙන් පැරණි කාලයට අයත්, පැරණි හැඩයෙන් යුතු ශක්තිමත් ඇඳක් තැබිය හැකි නම් හදිසි අවස්ථාවකදී කෙටි නින්දකට, තරමකට ඇලවී රූපවාහිනී නරඹන්නට, නිවසට පැමිණෙන මිතුරන් සිවුදෙනෙකුට පමණ සුව පහසුව හිඳගන්නට එය ප්‍රයෝජනවත් වේවි. ඒ වගේම මේ වන විට වෙළඳපොලේ ඇති ඇකිලිය හැකි ගෘහ භාණ්ඩද එලෙස විවිධ අවශ්‍යතා වෙනුවෙන් තෝරාගත හැකියි. ඔබේ නිවස නිතර දානමානාදිය සිදුකරන තැනක් නම් එයට සරිලන ලෙස එක හා සමාන පුටු මිලදීගෙන තිබීමත් ඔබේ පහසුවට හේතුවණු ඇති.
4. හිඩැස්

Image Source – rockharddistributors.com
මෙය යම් තරමකට මනෝමූලික කාරණයක්. හිඩැස් අපේ මනසට කොතරම් සැනසීමක් ගෙනෙනවාද? ගෘහ භාණ්ඩ පිරීගත් නිවසකට වඩා දකින දකින අත ඉඩ ඇති නිවසක ඔබේ මනසට කොතරම් සුවදායක බවක් තිබෙනවාද? එනිසාම ඔබේ නිවසට ලස්සන වූ පමණින් ගෘහ භාණ්ඩ එක් කරගැනීමෙන් වැළකිය යුතුයි. ඔබ පෙර සැළසුම් කර ඔබේ නිවස ඉදිකරද්දීම හෝ පසුව ඒවා කොන්ක්‍රීට්වලින් සැකසීමෙන් (හිඳගන්නට කුෂන් දැමූ කොන්ක්‍රීට් කන්ඩි, කොන්ක්‍රීට් ඇඳක්) ඔබට මුදලත් ශ්‍රමයත් ඉතිරි කර ගත හැකියි. නමුත් එය බොහෝ දුර දිග බලා සිදු කළ යුතු දෙයක් වන්නේ ඔබට අනවශ්‍ය යැයි හැඟුණු විට කොන්ක්‍රීට් බිඳ දැමීම සුළුපටු යමක් නොවෙන නිසායි.
5. මිනුම් දෙවරක්

Image Source – drsofa.com
ඔබ මිලදීගන්නා ගෘහ භාණ්ඩයේ මිනුම් නිවැරදිව ලබාගැනීමත් වැදගත්. ඔබ ගෘහ භාණ්ඩයක් මිලදී ගන්නට ප්‍රථම ඔබේ නිවසේ ඔබ එය පිහිටුවන තැන නිශ්චය කරගත යුතුයි. ඉන්පසු එය තැබීමෙන් එය අවට අනෙකුත් ගෘහ භාණ්ඩවලට බාධාවක් නැති බව තහවුරු කරගත යුතුයි. එසේම වඩා වැදගත් දේ වන්නේ අදාළ ලී බඩුව ඔබට නිවස තුළට දොරෙන් ඇතුළු කරගත හැකි වීමයි. ඒ නිසා මේ සියළු කාරණාවලට මිනුම් නිවැරදිව ලබාගැනීම වැදගත් වනු ඇති. එනිසාම ඔබේ නිවසේ ඇති ඉඩ කඩ ප්‍රමාණයේත්, ඔබේ දොර උළුවසුවලත්, මිලදීගන්නට යන ලී බඩුවේත් මිනුම් නිවැරදිව ගැලපෙනවාද කියා බලන්න.
6. හැඩ වැඩ සහ ඉඩ කඩ

Image Source – rakuten.com
ලී බඩුවේ ප්‍රයෝජන වගේම එහි හැඩය ගැනත් සිතිය යුතුයි. ඔබේ නිවසේ ලී බඩු සියල්ල පාහේ පැරණි තාලයට යොදාගෙන ඇතිනම්, අලුතින් ලී බඩුවක් මිලදී ගන්නා විටත් එම කාරණය පිළිබඳ සැළකිලිමත් වන්න. එසේම වඩා නූතන ලීබඩු අතරේ තබන එක් පුරාතනයට අයිති පන්නයේ ලී බඩුවකින් කැපී පෙනෙන වෙනසත් හඳුනාගන්න. ඒ වගේම එය අනාගතයට ගැලපෙනවාද කියා දෙවරක් සිතන්න. ඔබේ පුතා විවාහ වී ඔබේ නිවසට එනවානම් සෝෆාවක් මිලදීගැනීමේදී නිවසේ තිදෙනා ගැන පමණක් නොව ලේලිය ගැනද සිතන්න. මේසයක් උඩ ගොඩ ගසා ඇති පොත් තබන්නට අගෝස්තුවේ පොත් රාක්කයක් මිලදී ගන්නවානම් සැප්තැම්බරයේ සාහිත්‍ය මාසයේ නිවසට එකතු වෙන පොත්වලටත් ඉඩ ඇතිවෙන ලෙස රාක්කය මිලදීගන්න.
7. ලී බඩුව ගැන

Image Source – bharatfa.com
මේ සියළු කාරණා සපුරා ලී බඩුවක් මිලට ගන්නට යන ඔබ එම ලී බඩුව තෝරාගනිද්දී වඩා සැළකිලිමත් විය යුතුයි. ඔබ මිලදීගන්නා ලී බඩුව ගැන ඔබ බොහෝ සේ සැළකිලිමත් විය යුත්තේ බොහෝ කූඨ වෙළෙඳුන් ලී බඩු ජාවාරමේ නියැලෙන නිසායි. එනිසා වගකීමක් ඇති තැනකින් ලී බඩුව මිලදීගන්නට පියවර ගන්න. පළමුවෙන්ම එය වෙනුවෙන් භාවිතා කර ඇති ලීය සම්බන්ධයෙන්. ඒ වගේම එහි ශක්තිමත් බව සම්බන්ධයෙන්. එසේම එම ලී බඩුවේ නිමාව සම්බන්ධයෙන්, එසේම එයට නොයෙක් වූ සතුන්ගෙන් එල්ල විය හැකි උවදුරුවලට අදාළ ආරක්ෂණ ප්‍රතිකර්ම සිදුකර ඇතිද යන කාරණා මෙන්ම, පෙනුම ගැනත් ඔබ සිතිය යුතුමයි. ඒ වගේම ඔබේ නිවසේ ළමුන් සිටිනවානම් උල් සහිත මුළු නොතිබෙන්නට වක්‍රාකාර වූ මුළු සහිත ලී බඩුවක් තෝරාගැනීමත් වැදගත්. මෙවැනි කාරණා ඔබට සපුරන්නට නොහැකි නම් දන්නා අන් අයෙකු හෝ සම්බන්ධ කරගැනීම වැදගත්.
Cover Image Source -bharatfa.com/fredericia.com/furnituremasters.org
Leave a Reply